×

තිරුවානා සහ පළිඟු පිරුණු ලෝකයේ පැරණිම උල්කාවෙන් අබිරහස් රැසක් හෙළි වේ.‍

'Northwest Africa (NWA) 11119 ලෙස හඳුන්වන, වයඹ දිග මොරිටේනියාවෙන් හමු වු කොල පාට උල්කාවෙන් හෙළිවන රහස් අතිශය තීරණාත්මක ය.


අවුරුදු බිලියන 4.565 ක් පැරණි මේ උල්කාවේ නම ‘Northwest Africa (NWA) 11119 හෙවත් ‘වයඹදිග අප්‍රිකාව 11119‘ වේ. අජටාකාශයේ සිට වයඹදිග අප්‍රිකාවේ මොරිටේනියාව වෙතට පතිත වු මේ උල්කාව හෙවත් ‘උල්කාශ්මය‘ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ උපත පිළිබඳ රහස් රැසක් දරා සිටියි.

මෙය සොයාගැනුණේ මොරිටේනියා (Mauritania) දේශයේ මහා වැලි කන්දක් (sand dune) තුළිනි. බේස්බොලයක් තරම් විශාල මෙය දළ වශයෙන් සෞරග්‍රහ මණ්ඩලය තරම්ම පැරණි ය. එනම්, විද්‍යාඥයන් විශ්වාස කරන ආකාරයට සෞරග්‍රහ මණ්ඩලය හට ගැනුණේ මෙයට වසර 4.6කට පමණ පෙර, යෝධ තාරුකාවක හෝ සුපර්නෝවාවක මහා පිපිරුමක් සමග වායු සහ දුහුවිලි වළාකුලක් ගුරුත්වාකර්ෂණය යටතේ කඩා වැටීම හේතුවෙනි. මෙම වළාකුළ හේතුවෙන් සූර්යයා කේන්ද්‍රකරගෙන භ්‍රමණය වන දුහුවිලි පීරිසයක් ඇති වූ බවට විශ්වාස කෙරේ.

එම විශ්වාසය, නොඑසේ නම් විද්‍යාත්මක කල්පිතය සනාථ කර ගැනීමට මෙම උල්කාව යොදාගත හැකි වේ යැයි ඔවුහු සිතති.

www.msn.com

සියල්ලටම වඩා වෙනස්!

‘‘මේ උල්කාශ්මය, මීට පෙර අප විසින් අධ්‍යයනය කළ සියලුම උල්කාවන්ට වඩා වෙනස්.“ ඇරිසෝනා ජනපද සරසවියේ උල්කා අධ්‍යයන මධ්‍යස්ථානයේ ඩැනියෙල් ඩන්ලැප් කියයි. ‘‘එය තමයි අපිට හමුවුණු, සිලිකා වැලි අති බහුල, පුරාණතම උල්කාව. එය ආග්නේය පාෂාණයක්‘ යැයි ද ඔහු කියයි.

ඇරිසෝනා ජනපද සරසවියේ උල්කා අධ්‍යයනය කේන්ද්‍රයේ පිහිටා තිබෙන අති නවීන විද්‍යාගාරයේ සිට ඔවුන් උත්සාහ කරන්නේ එම උල්කාවේ වයස නිවැරදිව ම හඳුනා ගන්නට ය. එ් සමගම එහි ඇති අති අසාමාන්‍ය සංයුතියට හේතු ද පැහැදිලි කර ගැනීමට ඔවුන්ට හැකි වනවා ඇත.

ලෝකය බිහිවන අවස්ථාවේ බිහි වූ පාෂාණයක්

තිරුවානා සහ කොල පාට පළිඟු | Associated Newspapers Limited

නේචර් කමියුනිකේෂන්ස් ජර්නලයේ ඊයේ (අගෝස්තු 05) පළ වූ ලිපිය මගින් මුල්වරට හෙළිවන ආකාරයට මෙම උල්කාව ‘රසායනික‘ වශයෙන් පරිණාමය වූවකි. එනම්, සූර්යග්‍රහ මණ්ඩලයේ මුල් වසර මිලියන 10 ක කාලය තුළ, ග්‍රහලෝක භෞමික වශයෙන් හට ගැනීමට පෙර හෙවත් Planetesimal (ග්‍රහලෝකය බිහිවන අවස්ථාවේ) අවස්ථාවේදී හටගත්තකි.

එසේම නාසා ආයතනයේ ජොන්සන් අජටාකාශ මධ්‍යස්ථානයේදී සිදුකළ පර්යේෂණවල පෙරමුණ ගෙන සිටින්නේ ඉන්දීය සම්භවයක් ඇති පූර්ණා ශ්‍රීනිවාසන් ය. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය සහ CT ස්කෑන් පරීක්ෂණවලට උල්කාව ලක් කිරීමෙන් අනතුරුව ඇය වටහා ගත්තේ අසාමාන්‍ය – ලා කොල පාට පිටත වැස්මක් මෙම උල්කාවට ඇති බවයි. එසේම ක්වාට්ස් හෙවත් තිරිවානාවලට සමාන විශාල සිලිකා පළිඟු තිබෙන බව ද එහිදී පැහැදිලිව පෙනී ගියේය.

එසේම මෙය මේ තාක් කල් හමු වූ සෙසු උල්කාවන්ට වඩා සැහැල්ලු ය. එසේම ළා පාට ය. කොල පාට පළිඟු, කුහර මෙන්ම නිවී ගිය ලෝහ ඒ තුළ බහුල ය. මෙම පාෂාණ ව්‍යූහය මගින් ඉඟි කර සිටින්නේ එය වේගවත් සිසිල්කරණයකට ලක් වූ බවයි. එසේම අජටාකාශයෙන් පතිත වන උල්කාපාතවල නොව, පොළොව මත ඇති යමහල් වලින් පමණක් හමුවන ආග්නේය පාෂාණ සංයුතියක් ද මේ තුළින් දැකිය හැකි විය. ට්‍රිඩිමයිඩ් නමැති එම පාෂාණයේ සංයුතිය, වෙනත් කිසිදු උල්කාවක දැකිය නොහැකි තරම් ඉහළ අගයක් හෙවත් සමස්ත බරෙන් 30% ක් විය.

එදා මහා පිපිරුම සිදුවීමෙන් අනතුරුව හටගත් මහා දහන ක්‍රියාවලිය තුළ ඌෂ්මක පුපුරා යන්නා සේ ලෝහ උණුවෙමින් සිදුවූ මහා විපරිතය විසින් පෘථිවිය ඇතුළු සෞර ග්‍රහ මණ්ඩලය බිහි වූ ආකාරය පිළිබඳව මේ මව්රිටේනියා උල්කාවෙන් තවත් තොරතුරු ඉදිරියේදී ලැබීමට නියමිත ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි