×

‘මී හරක් සෙල්ෆියකින්‘ ඔබ්බට ගොස් ජීවිතයක් ආලෝකමත් කළ සුරත්

තායිලන්තයේ ගොවිතැනේ නිරත තරුණයෙකු තමන්ගේ හොඳම මිතුරා වශයෙන් තෝරාගෙන තිබෙන්නේ මී හරකෙකි.


සුරත් පාව්කතේ (Surat Paewkate) නමැති මේ තරුණයා, තමන්ට මේ සත්වයා මෙතරම් ආදරය වේ යැයි මුලින් නිකමට හෝ සිතුවේ නැත. ඇත්තෙන්ම එය හෙමින් වර්ධනය වූ සුමිතුරු කමකි.

මේ මී හරකාට නමක් ද තිබේ. එය තොම් කාම් (Thong Kham) ය.

මේ සමග පළ වන්නේ සුරත්, තොම් කාම් සමග ගත් සෙල්ෆි ඡායාරූපයන්ය. ඒවාට සුරත් සමග පෙනී සිටින තොම්ගේ මුහුණේ තිබෙන්නේ සිනාවක් යැයි කිව නොහැක්කේ කාටද? සැබවින්ම මේ සත්වයා මහත් ආදරයෙන් හා සතුටෙන් යුතුව සුරත් සමග සිනා සෙමින් සිටියි.

එයින් සමහරක් ඡායාරූපවල තොම් කාම් සිටින්නේ හරකෙක් ලෙස නොව සුරතල් බල්ලෙකු හෝ පූසෙකු මෙනැයි ද කියන්නට පුළුවන. තොම් කාම් ඒවායේදී සුරත්ගේ හිස මත ආදරයෙන් හිස තබාගෙන සිටියි. තවත් ඡායාරූපයකදී සුරත් ව තොම්කාම්, බල්ලෙකු මෙන් ලෙවකන ආකාරය ද දැකගන්නට පුළුවන.

මෙය නම් අපූරු ආදර කතාවකි.

එය සිදුවූ ආකාරය ද සුරත් මේ අන්දමින් විස්තර කරයි. ‘‘සෙල්ෆි දෙකක් විතර ගත්තට පස්සෙ මට තේරුණා, තොම් කාම් මාව අනුකරණය කරමින් මුහුණ හදාගන්නව කියලා. මම හිනාවීගෙන ඉන්නව දැකල තොම් කාම් ඒ විදිහටම හිනාවෙන්න උත්සාහ කළා.. එයා කෙළින්ම ෆෝන් එක දිහා බලලා මූණ හදා ගන්නවා..“

සැබවින්ම මී හරකෙකුගෙන් මේ අන්දමේ ප්‍රතිචාරයක් බලාපොරොත්තු විය හැකිදැයි ඔබ ප්‍රශ්න කිරීමට පුළුවන. නමුත් මෙය සත්‍ය කතාවකි.

‘‘එයා හරිම හොඳයි.. එයා මාව පිට උඩ තියාගෙන කුඹුර වටේ එක්කරගෙන යනවා..“ යැයි සුරත් බීබීසී පුවත්සේවය සමග පැවසුවේය.

සුරත් සහ තොම් කාම්ගේ සෙල්ෆි ඡායාරූප මුලින්ම පළ වුණේ ෆේස්බුක් හි ය. සුරත් ඒවා පළ කළේ සිය මිතුරන් ට පෙනෙන්නට මිසක්, ඒ හරහා මෙතරම් දුරක් එන්නට සිතාගෙන නොවේ. නමුත් ඉක්මනින්ම අන්තර්ජාලයේ වේගයෙන් පැතිර යන්නට පටන් ගත්තේය. එනම් ඒවා වයිරල් විය. ෂෙයාස් 32,000 ද ඉක්මවා ගියේය. තොම් කාම් සමග තව තවත් ඡායාරූවලට පෙනී සිටින ලෙස කරන ලද ඉල්ලීම් ද රාශියක් සුරත් වෙත ලැබෙන්නට පටන් ගත්තේය.

තායිලන්තයේ අන්තර්ජාලය තුළ ජනප්‍රිය චරිත දෙක බවට මේ දෙදෙනා ඉක්මනින්ම පත් වුණේය.

‘‘සමහරු මට කිව්වා, තොම්කාම් සහ මගේ ඡායාරූප දකිද්දී එදිනෙදා ජීවිතයේ දුක් කරදර අමතක වෙනවා කියලා..“ යැයි සුරත් කියයි.

මේ අන්දමින් කාලය ගෙවුණේය. මේ අතර, අන්තර්ජාලය හරහා සුරත් හෙළිදරව් කරසිටියේ තොම් කාම් ව වෙනත් අයෙකු වෙත විකුණා දමන්නට සිදුවී ඇති බවයි. එනම්, තොම් කාම් ව සුරත්ට භාර දී තිබුණේ බලා කියා ගැනීම සඳහා ය. ඒ අනුව සුරත් යනු තොම්කාම්ගේ හිමිකරු නොවේ. තොම්කාම් ගේ හිමිකරු විසින් මේ සිනාසෙන සගයා ව වෙනත් අයෙකුට මුදලට විකුණා දමන්නට තීරණය කර තිබිණි.

ඒ, තායි භාත් ලක්ෂයකට ය.

මේ බව ද සුරත්, සමාජ ජාල ඔස්සේ හෙළිදරව් කළේ වෙනත් කළ හැකි දෙයක් නොමැති තැන ය.

‘‘මට සමහරු කිව්වා, අපි සල්ලි දෙන්නම් ඔයා මෙයාව විකුණන්න දෙන්න එපා කියලා.. ඒ නිසා මම අරමුදල් එක්රැස් කරන්නට හිතුවා.“ යැයි සුරත් කියයි.

අවසානයේදී දින 2 ක් ඇතුළත ඔහු බලාපොරොත්තු වූ මුදලටත් වඩා වැඩි මුදලක් එනම් තායි භාත් 135,969 ක මුදලක් සුරත්ගේ ගිණුමට බැර වී තිබිණි.

සුරත් සිය බැංකු පොතේ ඡායාරූප පවා ෆේස්බුක් හි පළ කළේය. එපමණක් නොව, ‘ඉතිරි සල්ලි‘ වලින් කළ හැකි දේවල් තමන්ට යෝජනා කරන ලෙසට ද ඔහු සිය ෆේස්බුක් මිතුරන්ගෙන් ඉල්ලීමක් කළේය.

අවසානයේ පසුගිය බ්‍රහස්පතින්දා, ලස්සන උත්සවයක් පවත්වා සුරත්, තොම් කාම්ගේ හිමිකරු බවට නීතියෙන් පත් විය.

‘‘මම හැම දෙනෙකුටම ස්තූතිවන්ත වෙනවා. මම තොම් කාම් ව මුළු ජීවිත කාලය පුරාම සතුටෙන් තියනවා. මම දිගින් දිගටම ඔහුත් එක්ක ගන්න ෆොටෝස් ෆේස්බුක් එකට අප්ලෝඩ් කරන්නත් බලාපොරොත්තු වෙනවා. මම මේ සල්ලිවලින් කරන හැම දෙයක් ගැනම විනිවිදභාවය තියාගන්නවා.,“ යැයි ද සුරත් කියයි.

* අද දිනයේම අප පළ කළ තවත් ලිපියක දැක්වෙන්නේ බටහිර සුඩානයේ පියෙකු ෆේස්බුක් හරහා සිය දියණිය වෙන්දේසි කළ ආකාරයයි. නමුත් මේ කතාවේදී මේ තරුණයා, තමන්ට මහත් සේ ආදරය කරන අපූරු සගයෙකුට නැවුම් ජීවිතයක් ලබාදීමට වේදිකාව වශයෙන් පාවිච්චි කළේ ද ෆේස්බුක් ය. තාක්ෂණය අප යොදාගන්නේ හොඳ දෙයක් වෙනුවෙන් ද නරක දෙයක් වෙනුවෙන් ද යන්න මත එහි ප්‍රතිඵලය රඳා පවතින බවත්, සියල්ල පවතින්නේ මිනිසා විසින් එය යොදාගන්නා ආකාරය මත බවත් සුරත් සහ තොම් කාම්ගේ කතාන්දරයෙන් අපට පැහැදිලි වේ. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි