මෙය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් දියත් කර ඇති, රට පොසිල ඉන්ධනවලින් මුක්ත කිරීමේ පරිසර හිතකාමී වැඩපිළිවෙළට සමගාමීව සිදුවන්නකි. රටේ ප්‍රවාහන පද්ධතිය හරිත පද්ධතියක් බවට හැරවීම නරේන්ද්‍ර මෝදි විසින් 2015 වසරේදී ලබාදුන් එක් පොරොන්දුවකි. ඉදිරියේදී ඉන්දියාව 100%ක් විදුලි බලයෙන් වැඩ කරන ප්‍රවාහන පද්ධතියක් බවට පත් කිරීම ඔහුගේ ඉලක්කයයි.
මේ අනුව වරණාසි (පුරාණ බරණැස) නුවරදී ප්‍රථම ඩීසල් එන්ජිම විදුලි බලයට හැරවීම, දින 69 ක් තුළ සිදුකිරීමට Diesel Locomotive Works (DLW) සමත් වී තිබේ. මේ සඳහා ඉන්දීය රුපියල් කෝටි 2.5 ක් වැය කර ඇත. 2,600 HP බල ධාරිතාවකින් යුක්ත මෙම ඩීසල් එන්ජිම 2018 පෙබරවාරි මාසයේදී ධාවනයට එක් කිරීමට නියමිත ය. ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස් වාර්තාවක සඳහන් වන්නේ ලෝකයේ මෙම පරිණාමනය සිදුකරන ප්‍රථම අවස්ථාව මෙය වන බවයි.
ඉන්දීය ගමනාගමන ඇමති පියුෂ් ගෝයල් (Piyush Goyal) මේ පුවත සනාථ කරමින් ට්වීට් පණිවුඩයක් ද නිකුත් කර තිබේ.
අගමැති නරේන්ද්‍ර මෝදි 2015 වසරේ බලයට පැමිණීමෙන් පසු ඉන්දීය දුම්රිය පද්ධතියේ විශාල වෙනස්කම් සිදුව ඇත. ඒ අනුව අධිවේගී දුම්රිය, බුලට් දුම්රිය හඳුන්වා දීම, දුම්රිය මැදිරි තුළ ජීව වැසිකිළි ස්ථාපිත කිරීම ප්‍රධාන තැනක් ගනියි.
ඉන්දියාවේ දුම්රිය ස්ථාන 7500 ක් තිබේ. මේ වන විට සේවකයන් මිලියන 1.6 ක් දුම්රිය පද්ධතිය තුළ සේවය කරති.
ඉන්දියාවේ ප්‍රධානතම ගමනාගමන මාර්ගයක් වන දුම්රිය මාර්ගවල විශාලත්වය කොතරම් ද යත්, ඉන්දියාව පුරා ඇති දුම්රිය මාර්ගවල දිග, සමකය වටේ ඇති දිග ප්‍රමාණය මෙන් එකහමාර ගුණයක් ආවරණය කරයි. ඉන්දියාව ලෝකයේ විශාලතම දුම්රිය මාර්ග ජාලවලින් එකකි. එහි රේල් පීලිවල දිග ප්‍රමාණය පමණක් කිලෝමීටර 115,000 ක් වේ.
දිනකට ඉන්දියාවේ දුම්රිය ධාවනය වන දුර ප්‍රමාණය එකතු කරන්නේ නම්, එම දුර සමාන වන්නේ පෘථිවියේ සිට හඳට ඇති දුර මෙන් තුනහමාර ගුණයකට ය.
දිනකට ඉන්දියානු දුම්රියවල ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව මිලියන 25කට අධික ය. වෙනත් වචනවලින් පවසන්නේ නම්, ඔස්ට්‍රේලියාවේ ජනගහනයටද වඩා වැඩි ජනතාවක් ඉන්දියාවේ දිනපතා දුම්රියෙන් යති.
ඉන්දියාවේ ද පවතින්නේ ලංකාව මෙන්ම යටත් විජිත සමයේදී බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ස්ථාපිත කරන ලද දුම්රිය මාර්ග හා දුම්රිය පද්ධතියයි. ඒවායේ වැසිකිළි පහසුකම් ස්ථාපිත කෙරුණේ වසර 50කට පසුව ය. නමුත් කාලයත් සමග ලංකාවට වඩා ඉන්දීය දුම්රිය සේවය දියුණු තත්වයකට පත්වූ අතර, 1984 වසරේ පටන් දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීම පරිගණක හරහා සිදුකරයි. එසේම 2014 වසරේදී දුම්රිය මගීන් සඳහා වෙනම මොබයිල් ඇප් එකක් ද හඳුන්වා දෙනු ලැබීය.
කෙසේ නමුත් ලංකාවේ දුම්රිය මාර්ග සහ දුම්රියවල අදටත් යටත් විජිත ලක්ෂණ ඒ අන්දමින්ම තිබේ. ඒවා සැලකිය යුතු අන්දමින් දියුණු වී නොමැත. ලංකාව, කළ යුතු වැඩ නොකර, පටු දේශපාලන අරමුණු පසුපස යද්දී අපේ අසල්වැසියා කළ යුතු දේ නොපමාව කරමින් සිටින බවට ඉන්දීය දුම්රිය පද්ධතියේ අලුත්ම ජයග්‍රහණය කදිම නිදසුනකි.