BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ඉන්දියාවේ ළමා විවාහවලට තිත තැබූ රාජස්ථානයේ ලක්ෂ්මිය

ඇය විවාහ විය යුත්තේ කා සමගදැයි තීරණය වී තිබුණේ ඇයට වයස අවුරුද්දක් ව තිබියදී ය. මේ, ඉන්දියාවේ ඉතිහාසය වෙනස් කළ ඇගේ කතාවයි. 

අවුරුද්දක දැරියක් යනු කිසි සැකයක් නැතිව දණ ගාන වයසයි. එහෙත් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ලක්ෂ්මී සර්ගාරා දැරියට ඒ නිදහස් ජීවිතය උරුමව තිබුණේ නැත. ළදරු වියේදී ඇයව කැන්දාගෙන නොයාමට තරම් මනුස්සකමක් තිබූ බව සැබෑවකි. ඇයට විවාහ කර දුන් මනාලයා ද තුන් හැවිරිදි වීම ඒ මනුස්සකම පිටුපස තිබූ නියම හේතුව විය හැකි බව ඊටත් වඩා සැබෑවකි. අද ලක්ෂ්මී 18 හැවිරිදි ය. මනාලයා බවට පත් වූ රාකේෂ් විසි හැවිරිදි ය. යුවතිය සිය අනුදැනුමෙන් තොරව සිදු වූ පතිකුලය එපා යැයි කීවා ය. නීතිය ඉදිරියට ගොස් එය නිෂ්ප්‍රභා කර ගත්තා ය. ඉතිහාස ගත වූවා ය. ඉන්දියාවෙන් ළමා විවාහ සංසිද්ධිය මුලිනුපුටා දැමීම සඳහා මුලපිරූ අපේ කාලයේ වීරවරියක ලෙස ඇය ජාත්‍යන්තර පුවත් සේවා මගින් හඳුන්වා දී තිබේ.

‘දුවේ හොඳට ඉගෙන ගනින්. . . සුදු අශ්වයෙක් පිටේ නැඟලා උඹව ගෙනි යන්න කුමාරයෙක් එයි’ ලක්ෂ්මී සර්ගාරාගේ මව කිසි දිනෙක එසේ කීවේ නැත. මේ. නියඟය සේ ම, වියලුණු හදවත් ඇති ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයයි. එපිටින් කාන්තාරය ය. මෙපිටින් ද කාන්තාරය ය. ඒ මැද ජීවත්වීමේ මහා අරගලය ගෙන යන ගම්මු, ළමා විවාහය ජීවිතයෙන් ගොඩ ඒමේ පුංචි ලොතරැයියක් සේ දකිති. එය නීතියෙන් තහනම් බව සැබෑ ය. එහෙත් ඒ ගැන වද වෙන්නේ කවුද? නීතියෙන් ඔවුන්ට සුණු සහල් බිඳක්වත් නොලැබෙයි.

ලක්ෂ්මී ඉපදුණු විගස ගෙදර මහා කලබලයකි. සැවොම සොවිනි. ‘අපේ කරුමෙ’ යැයි පියා නුරුස්නා සිතින් මුමුණයි. කෙල්ලක් ඉපදිලා . . . දැන් ඉතින් දෑවැද්ද හොයාපල්ලා . . .

එනිසා ළඟම විසඳුමෙන් ප්‍රශ්නය නිරාකරණය කෙරිණි. ඒ ගමේම දන්නා හඳුනන පවුලක උපන් රාකේෂ් පොඩි කොල්ලාට ද වයස අවුරුදු 3 කි. දෙදෙනාම කිරි බොන වයසේ හෝ දණගාන වයසේ බව සැබෑය. එහෙත් මනාලියට හා ඇගේ පවුලට බඩසයින් පසුවන්න සිදු නොවනු ඇත. කසාදය තීන්දු ය. කොල්ලා පොඩි හෙයින් මල්වර වන තෙක් කෙල්ලට මාපියන්ගේ නිවසේ සිටිය හැකි ය. නිසි කල වයස පැමිණි පසු මනාලයාගේ පැත්තෙන් පැමිණ ඇයව උත්සව මැදින් කැන්දා ගෙන යනු ඇත. දෙදෙනාම එකට ජීවත් වුණාවේ. දරු මල්ලන් හදා ගත්තාවේ. දෙදෙනාගේ වයස් පරතරය තුන් වසරක් පමණි. ඒ නිසා දෙදෙනාම සම වයස් අය වැනිය. දැරියට අවුරුදු හතෙන් අටෙන් වයසක පිරිමියෙක් සමඟ ඇය යහන්ගත කළා වැනි ළමා විවාහවලදී ඇසෙන සම්ප්‍රදායික අවලාදවලින්ද ලක්ෂ්මී ගේ මවුපියන්ට ගැලවීමක් ලැබේ.

ඒ දුෂ්කර සහ ග්‍රාමීය කාන්තාරබද ප්‍රදේශවල දැරියෝ වයස අවුරුදු 10 න් 12 න් මල්වර වන්නේ කලාතුරකිනි. යොවුනුදාව ලක්ෂ්මී වෙත පැමිණියේ වයස අවුරුදු 18 දීය. එදා සිට දින කිහිපයක් ගත විය. මනාලයා රාකේෂ් දැන් විසි හැවිරිදි බර වාහන රියැදුරෙකි. සිය මනාලිය යහනට කැන්දාගෙන ඒම තවත් ප්‍රමාද කළ නොහැක්කක් සේ ඔහුට දැනෙයි. ළමා වියේ සිටම කෙල්ලක ‘ස්ටෑන්ඩ් බයි’ වී සිටීම ඔහුගේ මිතුරන් නිරන්තරයෙන් කියූ පරිදි ‘බෝනස්’ එකකි. දැන් ඒ පාරිතෝෂිකය ලැබෙන්නට යයි. වහාම කැන්දාගෙන එන උත්සවය ලක ලැහැස්ති කරන්නැයි රාකේෂ් සිය මාපිය ඥාතීන්ට දැනුම් දුන්නේ ය. ලක්ෂ්මී මල්වර වීමෙන් දින කිහිපයකට පසු ඇයට මවුපියෝ මෙසේ කීහ. ‘උඹ දැන් ලොකුයි. සැමියගෙ ගෞරවය ආරක්ෂා වෙන විදිහට ජීවත් වෙන්න ඕනෙ . . . තේරුණාද?’ දහ අට වසරක් මුළුල්ලේ සඟවා ගෙන සිටි ප්‍රවෘත්තියෙන් පියා ඈට දමා ගැසුවේය. ‘උඹට අපි කසාදයක් තීන්දු කරලා හමාරයි. ඒක තීන්දු වුණේ උඹට වයස අවුරුද්දෙදි.’

කෙල්ලගේ හිස අබියස දහසක් හෙණ ගෙඩි පුපුුරා ගියේදැයි අපි නොදනිමු. එහෙත් ඈ පරළ වූවාය. උරණ වූවාය. තමා සමඟම තරහ වූවාය. කැඩපතෙන් පෙනෙන යෞවනත්වය සිහිනෙනුදු නොපැතූ සැමියකුට පූජා කරන්නේ කෙසේදැයි කෙල්ල සිතුවාය. එය මල් පූජාවක් වේවි ද? නැතිනම් බිලි පූජාවක් වේවිදැයි දන්නේ කවුරුන්ද? කෙසේ නමුත් මවුපියන් පවසන පරිදි ඇය දැනටමත් කසාදයෙන් බැඳුණු ගැහැනියකි. තනි තීරණ ගැනීමට ඉඩ නැත. කැන්දාගෙන යාමේ පෙරහර ළඟ ළගම එන සෙයකි.

ඇයට රාකේෂ් මුණ ගැසිණි. ඇයට ඔහු ප්‍රියමනාප නොවූව ද රාකේෂ්ට කසාදය පවත්වාගෙන යන්නට වුවමනා විය. ඒ අසා ඇය සැපින්නියක සේ කිපුණු බව ජෝද්පූර් හි ක්‍රියාකාරීහු කියති. අවසානයේ ඇය ළමා විවාහවලට එරෙහිව ළමා විවාහවලින් බැඳුණු දරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ක්‍රියා කරන සංවිධානයක් සොයා ගියාය. ජෝද්පූර් හි ‘සාරතී භාරය’ වෙත ඇය යොමු වුණේ එලෙස ය.

ලක්ෂ්මී ඔවුන් වෙත සිය අකමැත්ත නොවළහා ප්‍රකාශ කළාය. සාරතී භාරයේ නීති නිලධාරීහු සහ ක්‍රියාකාරීහු වහාම ක්‍රියාත්මක වී ලක්ෂ්මී සහ රාකේෂ් යන දෙදෙනාගේම පවුල්වල අය කැඳවා උපදෙස් ලබා දුන්හ. ලක්ෂ්මී විවාහයට අකමැති බවත් ඇයට මේ විවාහය නීතිය ඉදිරියේ බල ශුන්‍ය කර ගැනීමට අවශ්‍ය වී තිබෙන බවත් එය ඔවුන්ට පැවසිණි.

මේ සංස්කෘතිය තුළ ජයග්‍රහණයක් ලැබීමට නම් කළ යුත්තේ එය හොඳින් හෝ නරකින් කර ගැනීම නොවේ. එනිසා ලක්ෂ්මීට මේ තීරණයේ පිහිටා කටයුතුª කිරීමට දෙපාර්ශ්වයේම වැඩිහිටියන්ගේ සහයෝගය අවශ්‍යය. රාකේෂ්ට විශේෂ උපදේශන මාලාවකට යොමු කෙරුණේ කෙසේ හෝ විවාහය සිදු කර ගත් පසුව කෙල්ල තමන්ට කැමැති වන බවට හෝ බැරිම වුණොත් බලහත්කාරයෙන් කැමැති කරවා ගන්නා බවට ගෝත්‍රික පිරිමි විශ්වාසයේ, ඔහු එල්බගෙන සිටි නිසාය. අවසානයේ රාකේෂ් ද ලක්ෂ්මීව බන්ධනයෙන් මුදා හරින්නට කැමැති විය.

ඉන්දියාවේ පළමු වතාවට ළමා විවාහයෙන් බැඳුණු කෙල්ලක් අපායේ යහනට ගොඩ නොවී යහන පාමුලින් හැරී ආවාය. ලක්ෂ්මී බොහෝ පැතිවලින් වාසනාවන්තය. ඇගේ මනාලයා ඇයට වඩා බොහෝ වැඩිමල් පිරිමියකු වී නම් තත්ත්වය වෙනස් වන්නට ඉඩ තිබිණි. ඇතැම් අන්ත දරිද්‍ර පවුල් පරිසරවලදී සිදු වන්නා සේ ඇය මල්වර වීමට පෙර කැන්දාගෙන ගියා නම් එවිට තත්ත්වය වෙනස් වන්නට ඉඩ තිබිණි.

ලක්ෂ්මී ගෙයි මුල්ලේ හඬා වැටී ‘මේක තමයි මගේ උරුම කරුමේ’ කියා රාකේෂ් සමඟම ගියා නම් මෙය නූල් බෝලයක් වන්නටත් ඉඩ තිබිණි. එහෙත් මේ කිසිවක් සිදු නොවූ නිසා ඇය දැන් නිදහස් ගැහැනියකි. තවම යුවතියකි. තම සිත්ගත් පෙම්වතකුට ආලය කිරීමේ ප්‍රාථමික මිනිස් වුවමනාව සමඟ ඇය දැන් නිදහසේ සිනාසෙන්නීය.


මරණයෙන් පසුත් සති 3 ක් කෝච්චියේ ගිය දේශපාලඥයා: ඒබ්‍රහම් ලින්කන්

මනුස්සකම කළු-සුදු‌ නොවේ යැයි ලොවට කියා දුන් ඩෙස්මන්ඩ් ටුටූ

‘රත්තරන් කෙල්ල’ට 100 යි – සාදයට ඔබත් එන්න!

FW ඩි ක්ලාක් ඔව්, ඔහු නෙල්සන් මැන්ඩෙලාට වඩා ශ්‍රේෂ්ඨයෙකි!

පිළිකාව නිසා සුළු විරාමයක් ගන්නා BBC රූපවාහිනිය හෙල්ලූ ‘අපේ‘ අලගෙයියා

එංගලන්තයේ අධ්‍යාපන ලේකම් බවට පත්වූ ඉරාක සරණාගත කොලුවා – නදිම් සහවි

ඒකාධිපති ප්‍රජා පීඩකයෝ – හිට්ලර්ගේ නැගීම

ඒකාධිපති ප්‍රජා පීඩකයෝ – Introduction

error: Content is protected !!
error: Content is protected !!