ලුගු විල තිබෙන්නේ චීනයේ සිචුවාන් සහ යුනාන් ප්‍රාන්ත සීමාවන්වලට බරව ය. මොසුඕ ප්‍රජාව ජීවත් වන මේ පරිසරය ඉතාමත් රමණීය ය. ගම්මානය වටා සිව් දෙසින්ම ඇත්තේ කඳු වළල්ලකි. මුහුදු මට්ටමේ සිට මීටර 2700ක් පමණ උසකින් ජීවත්වන නිසාත්, ඔවුන්ගේ ගම්මාන ආසන්නයට වන්නට නගරයක් නැති නිසාත් මොසුඕ ප්‍රජාවගේ සංස්කෘතික අනන්‍යතාවන් බොහෝදුරට ඒ අන්දමින්ම රැකි පවතී. වාර්තාවන්හි දැක්වෙන අන්දමට ඔවුන් ජීවත්වන ගම්මානයට ආසන්යෙන් ඇති නගරයට පිවිසෙන්නට ඔවුන් පැය හයක කාලයක්වත් ගත කළයුතුව ඇත. Mosuo ethnic
“ඇවිදින විවාහ” චාරිත්‍ර මොසුඕ ප්‍රජාව අතරේ කැපී පෙනෙනම අංගයකි. නිසි වයසට එළඹුණු පසු කාන්තාවන්ට තමන්ගේ අභිමතය පරිදි පෙම්වතුන් සොයා ගන්නට පුළුවන. එක් යුවතියකට පෙම්වතින් කිහිපදෙනෙකු වුව තෝරාගන්නට මේ සංකෘතිය තුළ නිදහස තිබේ.
විවාහ උත්සවය පැවැත්වෙන අවස්ථාවේදී ඒ සියලු පෙම්වත්හු යුවතියගේ නිවෙසට පැමිණෙති. ඔවුන් නිවෙසට ළඟා වන්නේ ඔවුන් වෙත කෙරෙන ආරධනාවන් පරිදී ය. මේ තරුණයන් එදින රාත්‍රියෙහි ලැගුම් ගන්නේ “ෆ්ලවර් රූම්” හෙවත් “මල් කාමරය” වශයෙන් නම් කර ඇති විශේෂයෙන්ම සකසන ලද කාමරයක බව සඳහන් වේ. දිනක් එහි ගත කිරීමෙන් පසු මේ ආදරවන්තයෝ තම නිවෙස් බලා පිටත්ව යති. කිසිදු තරුණියක, කිසිදු පෙම්වතකු සමඟ එක වහලයක් යට ජීවත් වීම අරඹන්නේ නැත. එසේ වුවත් ඒ කිසියම් තරුණයකු නිසා ඈ ලබන දරුවන් හදා වඩා ගන්නේ යුවතියගේ පාර්ශ්වයේ ඥාතීන් ය. ඒ නිසා ඒ දරුවන්ට මවගේ සහෝදරයන්ගේ සහ සහෝදරියන්ගේ සෙනෙහස නොඅඩුව ලැබේ. පියාගේ සෙනෙහස සහ අඩුව පිරිමැසෙන්නේ මාමලාගෙනි.
පිරිමි මේ සමාජය තුළ ඉතා වැදගත් කාර්යයක් ඉටු කරති. ගමෙන් බැහැරට ගොස් ජීවත්වීම ඔවුන්ට සම්ප්‍රදායෙන්ම නම නියම කර තිබේ. ගමෙහි නිෂ්පාදනය කෙරෙන දෑ ඔවුහූ වාහනවල පටවාගෙන ගොස් අලෙවි කරති. ඒ හැරුණු විට ගොඩනැඟිලි ඉදිකිරිම, මස් පිණිස සතුන් මැරීම මෙන්ම ධීවර කර්මාන්තයේ යෙදීමත් ඔවුන්ගේ සාමාන්‍යය ජීවනෝපායන් ය. කෙසේ වුවත් තමන්ට දාව ඉපැදුනු දරුවන්ගේ කිසිදු කටයුත්තක් සඳහා පිරිමින් වග කියනු නොලැබේ. තම නිවෙස්වල වසන සොයුරියන්ගේ දරුවන් හෙවත් තම බෑණාලාගේ සහ ලේලිලාගේ වගකීම් දැරීම සහ උදව් කිරීම නම් පිරිමින් මත පැටවෙන වැදගත් කාර්යයකි.
මේ ප්‍රජාව තුළ දේශපාලන බලය පවතින්නේ පිරිමින් අතය. එසේ වුවත් පවුල්වල ප්‍රධානීන් ලෙස කටයුතු කරන්නේ මාගමුන් මිස පිරිමින් නොවේ. පවුලේ දේපළ සහ වත්කම් උරුම වන්නේ මවගෙන් දරුවන්ට ය. එලෙස දේපළ පැවරීමේ බලයත්, සමාජය තුළ කටයුතු කිරීමේ නිදහසත් කාන්තාවකට නිරායාසයෙන්ම හිමිව තිබීම මේ සමාජයේ සුවිශේෂත්වයකි.
යැන්ග් චැක්සි තරුණ සංගීතඥයෙකි. හෙතෙම මේ සම්ප්‍රදායික මොසුඕ සමාජ ක්‍රමය තුළ හැදී වැඩුණේ මවගේත් මවගේ සොයුරියගේත් රැකවරණය මධ්‍යයේ ය. එසේ වුවත් තමන්ට ජීවය දෙන්නට හවුල් වුණු පියා කවරකුදැයි කියා ඔහු සිය ළමා අවධියේ සිටම දැන සිටියේය. තමන් කුඩා අවධියේදී පියා සමඟ හතු සහ දර එකතු කරන්නට ගිය හැටි යැන්ග් චැක්සිට අදටත් අමතක නැත. මේ පිය පුතු දෙදෙනා එදා සිටම ජීවත් වන්නේ එකම ගමෙහිය. ඔවුහු ඉතා හොඳ සබඳතාවයක් පවත්වාගෙන යති.
සමාජයේ සෙසු විවාහයන් හා සසඳන විට මොසුඕ විවාහයන් කැපී පෙනෙන්නේ ගැහැනුන්, පිරිමින් මත ආර්ථිකමය වශයෙන් යැපෙන්නට නොයෑම යන කාරණය නිසයි. යැන්ග් චැක්සිගේ මවගේ සොයුරිය – යැන්ග් කොන්ග්මු, යැන්ග් චැක්සිලාගේ පවුලේ ප්‍රධානියා හැටියට කටයුතු කළාය. නිවසේ ගබඩාවේ යතුරු පැවැතියේත් යැන්ග් කොන්ග්මු අතෙහිය. ඇයත් මේ අමුතු තාලයේ විවාහයක් භුක්ති වින්ඳ ගැහැණියෙකි. ඇගේ පළමු සැමියා වඩු කාර්මිකයෙකි. ඇයට ඔහු හමුවුණේ ඇගේ නිවාස තනන්නට පැමිණි අවස්ථාවේදීය. යැන්ග් කොන්ග්මු තම පෙම්වතාට ආදරය ප්‍රකාශ කළේ ඔහු වෙනුවෙන් ඉණ පටියක් ගොතා තිළිණ කිරීමෙනි. මේ සම්ප්‍රදාය එදා සිටම මොසුඕ සමාජය තුළ තිබිණ. එහෙත් දැන් දැන් එවැනි සම්ප්‍රදායන් සමාජයෙන් ගිලිහෙමින් පවතී. නූතන තරුණ තරුණියන් ඔවුනොවුන් කෙරෙහි ඇති ප්‍රේමය ප්‍රකාශ කර ගන්නේ ත්‍යාග හුවමාරු කර ගැනීමෙනි. සමහර අවස්ථාවලදී ඉතා වටිනා කියන ත්‍යාග පවා ඔවුන් අතර හුවමාරු වේ. බටහිර සම්ප්‍රදාය තුළ කෙරෙන්නාක් මෙන් මෙහි පෙම්වතුන් ද මල් හුවමාරු කර ගන්නා අවස්ථා දැන් හිඟ නැත.
සුළුතරය හැටියට පිළිගැනෙන කණ්ඩායම් 55කට අයත් ප්‍රජාව චීනයෙහි වාසය කරති. එසේ වුවත් මොසුඕ ප්‍රජාව සුළුතර කණ්ඩායමක් හැටියට චීනයේ පිළිගැනෙන්නේ නැත. එයට හේතුව මොසුඕ ප්‍රජාවට අයත් සාමාජිකයන් සංඛ්‍යාව බෙහෙවින්ම අල්ප වීමයි. ජාතක හැඳුනුම්පතට අනුව යැන්ග් චැක්සි, මොන්ගෝලියා ජාතිකයකු මිස චීන ජාතිකයකු ද නොවේ.
අතීත මොසුඕ ප්‍රජාවේ ජනයා තුළ පැවැතියේ ප්‍රාණවාදී ඇදහීමකි. මව් දෙවඟනක පිළිබඳ විශ්වාසය ඔවුන් තුළ නිරන්තරයෙන්ම ඇත. අද වනවිට මේ ආගමික විශ්වාස ඔවුන් කෙරෙන් අඩු වැඩි වශයෙන් වෙනස් වී යමින් තිබේ. ඔවුන්ගේ විශ්වාස ටිබෙට් බුදුදහම සමඟ මිශ්‍රව ඇති බව විචාරකයෝ පෙන්වා දෙති. සමහර පවුල්වල පිරිමින් භික්ෂුත්වයට පවත්වන අවස්ථාත් ඇති බව වාර්තාවන්හි සඳහන් වේ. එසේ වුවත් ඔවුන්ගේ සම්ප්‍රදායික විශ්වාස සමාජය තුළින් මතුවන අවස්ථා එමටය.
සුනඛයන්ට ගරු කරමින් සුනඛයන් කෙරෙහි ඇති අසාමාන්‍යය විශ්වාසය ඉන් එකකි. ඉතා ඈත අතීතයේදී සුනඛයන් වසර 60කට ආසන්න ආයු ප්‍රමාණයක් භුක්ති විඳි බව මොසුඕ ප්‍රජාව විස්වාස කරති. එකල මිනිසුන් ජීවත් වී තිබෙන්නේ වසර 13ක් වැනි කෙටි කාලයකි. සුනඛයන් සහ මිනිසුන් අතර ඇති වුණු එකඟතාවයක් නිසා මිනිසුන්ට සුනඛයන්ගේ ආයු කාලය භුක්ති විඳින්නට ඉඩ ලැබී ඇත. සුනඛයන් මේ එකඟතාවයට ප්‍රවේශ වී තිබෙන්නේ මිනිසුන් සුනඛයන්ට ගෞරව කරන්නේ නම් පමණෙකැයි කියාත් ජනප්‍රවාදයේ සඳහන් වේ. ඒ අනුව සුනඛයන් කෙරෙහි විශ්වාසය තබාගැනීම, සුනඛයන්ට ගරු කිරීම ආරම්භ වී ඇත.
මොසුඕ ප්‍රජාවගේ නිජ බිම්වලට ආසන්නයෙන් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වීම මේ ප්‍රජාවගේ සංස්කෘතික අනන්‍යතාව පවත්වාගෙන යෑමට බාධාවක් වී තිබේ. මහා මාර්ග පද්ධතියක් සහ ගුවන්තොටුපොළක් එහි ඉදි කිරීම 2015දී ඇරඹිණි. මේ සංවර්ධන ව්‍යාපෘතිත් සමඟ නවීන සමාජයේ අංගෝපාංග මොසුඕ ප්‍රජාව අතරට රිංගා ගනිමින් ද ක්‍රියාත්මක වෙමින් ද තිබේ. එය වඩාත් වේගවත් වී තිබෙන්නේ ලුගු වෙරළ තීරයට සංචාරකයන් පැමිණෙන්නට පටන් ගැනීමත් සමඟයි.
“… ලුගු විල ආසන්නයේ ජීවත්වන අය සංචාරක හෝටල් පවත්වාගෙන යන්න පුරුදු වෙලා. සමහරුන් මේ නිසාම ඉතා ධනවත් තත්ත්වයටත් පත් වෙලා. ප්‍රවාහන සහ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති නිසා අපේ සමාජය බාහිර ලෝකයට විවර වෙමින් තිබෙන්නේ. ඒ නිසා ඒ තුළට නව අදහස් පැමිණෙන්න පටන් ගෙන තිබෙනවා. ….” කියා යැන්ග් චැක්සි පවසයි.
මොසුඕ ප්‍රජාවේ සංස්කෘතිය වෙනස් වීම හේතුවෙන් එහි මෙතෙක් පැවැති සම්ප්‍රදායික විවාහ චාරිත්‍ර පවා අතුරුදහන් වෙමින් ඇත. මොසුඕ සමාජයේ තරුණ තරුණියෝ දැන් සාමාන්‍ය චීන සමාජයේ පවත්නා විවාහ ක්‍රමයට අනුගත වෙමින් සිටිති. ඒ මදිවාට ඔවුන්ගේ විවාහ සම්ප්‍රදායන් අතරට බටහිර සම්ප්‍රදායන් ද පැමිණෙමින් ඇත. යැන්ග් චැක්සි පවා විවාහ වී සිටින්නේ තම ප්‍රජාවෙන් බැහැර කාන්තාවක සමඟය. හෙතෙම දරුවා සහ බිරිඳ සමඟ ගත කරන්නේ ද සාමාන්‍ය විවාහ ජීවිතයකි. එහෙත් සම්ප්‍රදාය රකින තම සොයුරියන්ගේ දරුවන්ගේ වගකීම්වලින් නිදහස් වෙන්නට ඔහුට තවමත් බැරිව ගොස් ඇත.