BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

‘ප්‍රතිශක්තිකරණ ජාතිකත්වය‘ – ‘‘Vaccine Nationalisation‘‘ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අලුත් යෙදුමක් – අලුත් අනතුරු ඇඟවීමක් !

COVID-19 vaccine nationalization හෙවත් කොවිඩ්-19 ‘ප්‍රතිශක්තිකරණ ජාතිකත්වය‘ක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටියි.

ප්‍රතිශක්තිකරණ ජාතිකත්වය හෙවත් ‘එන්නත් ජාතිකත්වයෙන්‘ අදහස් කරන්නේ තමන්ගේ රට පමණක් කොවිඩ්-19 සඳහා වැක්සිනයක් සොයාගැනීමෙන් වසංගතයෙන් සුරක්ෂිත වේවි යන මිත්‍යාවයි.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන මෙම නවතම යෙදුම මගින් ඔවුන් කරන අනතුරු ඇඟවීම මෙසේ ය.

‘‘ලෝකයේ දුප්පත් රටවල් කොරෝනා වෛරසයට නිරාවරණය වන විට වැක්සිනයක් සොයාගත් පමණින් ධනවත් රටවල් රෝගයෙන් බේරෙන්නේ නැත..‘‘

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩ්හනම් ගේබ්‍රියසිස් මේ බව අවධාරණය කළේ පසුගියදා පැවැත්වූ ඇස්පන් ආරක්ෂක සංසද රැස්වීමේදී ය.

මේ වන විට ලෝකයේ ධනවත් රටවල් ගණනාවක් වෙන වෙනම එන්නත් තරගයකට අවතීර්ණ වී සිටියි. කොවිඩ්-19 වසංගතය සඳහා ප්‍රතිශක්තිකරණය ලබාගැනීමට නම්, එනම් රෝගී නොවීමට නම් විසඳුම ලෙස ඉදිරිපත් වී තිබෙන්නේ එන්නත් මගින් එම ප්‍රතිශක්තිකරණය ලබාගැනීමයි. නමුත් මේ කිසිදු රටක් මුළු ලෝකයටම එන්නත් බෙදාදීමේ වැඩපිළිවෙළක් ගැන හෝ, සාමූහිකව ලෝකයේ ධනවත් රටවල් සතු තාක්ෂණය එක් තැන් කර එන්නත් නිපදවීමක් ගැන කල්පනා කරන්නේ නැත.

එන්නත් තරගයෙන් කප් එක රුසියාවට

එන්නත් තරගයේ සාහසිකත්වය සහ ආත්මාර්ථකාමීත්වය පිළිබඳ හොඳම උදාහරණය රුසියාවයි. 2020 අගෝස්තු 11 දා, රුසියාව ලෝකයේ කොවිඩ් වසංගතය සඳහා ‘අනුමැතිය ලත්‘ වැක්සිනයක් නිපදවූ ලෝකයේ ප්‍රථම රට බවට පත් විය.

මේ ‘අනුමැතිය‘ ඔවුන් ලබාගත්තේ කොහෙන්ද සහ එහි ප්‍රමිතිය පිළිබඳ පවතින්නේ දැඩි ප්‍රශ්නකාරී බවකි. උදාහරණයක් වශයෙන් මෙම එන්නත නිපදවා තිබෙන්නේ මොස්කව් හි වසංගතවේදය සහ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ ගමාලයා ජාතික මධ්‍යස්ථානය (Gamaleya National Center of Epidemiology and Microbiology) විසිනි.

එය අනුමත කළ බව පවසන්නේ අන් කිසිවෙකු නොව රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ය. ‘‘මම දන්නවා මේක හොඳට වැඩ කරනවා. මේක අවශ්‍ය කරන සියලු පරීක්ෂණවලින් සමත් වෙලා තියෙනවා‘‘ යැයි ඔහු පැවසුවේ කැබිනට් රැස්වීමකදී ය.

සෝවියට් යුගයේ අජටාකාශ වැඩසටහන සිහිගැන්වීම සඳහා එයට නම් තබා තිබෙන්නේ Sputnik V යනුවෙනි.

මේ අතර, ඇමරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය (US Food and Drug Administration (FDA)) සහ යුරෝපියානු ඖෂධ ඒජන්සිය (European Medicines Agency) පවසන්නේ ඔවුන් එන්නතේ සාර්ථකත්වය ගැන දක්වන මිණුම් දඬු විශ්වීය ඒවා නොවන බවයි.

‘‘We have no idea whether this vaccine is safe or whether it works. It is really worrying when people start to bypass the standard process we have for vaccine development.”
– Ashish Jha, Dean of the Brown University School of Public Health (Providence, RI, USA)

මේ සියල්ල තිබියදී දැන් පුටින්ගේ වැක්සිනය ලෝකය පුරාම බෙදා හරින්නටත් සූදානම් ය. එය මුලින්ම බෙදා හැරෙනු ඇත්තේ රුසියානු හිතකාමී රටවලට ය.

පිලිපීනයේ ආඥාදායක පාලක ඩුටර්ටේ මෙයට දින 4කට පෙර කියා තිබුණේ පිලිපීන ජාතිකයන් මේ වැක්සීනය ස්වෙච්ඡාවෙන් ගත යුතු බවයි!

චීනය බලෙන්ම ජනතාව එන්නත් කරවනවාද?

මීට අමතරව චීනය ද කොවිඩ් වැක්සීනය නිපදවා ඇති නමුත්, ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර තිබෙන්නේ හදිසි අවස්ථාවන් හිදී පමණක් එය භාවිතා කරන්නට ය.

චීනයේ කොවිඩ් වැක්සීන වැඩසටහන ගැන ලෝකය දන්නේ ඉතාම ස්වල්පයක් බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.

මේ අතර විදෙස් වාර්තා සඳහන් කරන්නේ චීනය දහස් ගණන් වූ ජනතාවට තවමත් සායනික පරීක්ෂාවන් සම්පූර්ණ කර නැති, සහ ඒ අනුව ප්‍රතිඵල අවදානම් වන එන්නත් ලබාදෙමින් සිටින බවයි. මෙම එන්නත් ලබාගන්නා චීන පුරවැසියන් සහ චීන රජය අතර ‘හෙළිනොකරන ගිවිසුම්‘ තිබෙන බවට ද වාර්තා තිබේ.

https://www.nytimes.com/2020/09/26/business/china-coronavirus-vaccine.html

ඔක්ස්ෆර්ඩ් කොවිඩ් වැක්සිනයට මොකද වුණේ?

අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව අත්හදා බැලෙන බවට සැලකෙන AstraZeneca සහ ඔක්ස්ෆර්ඩ් සරසවියේ කොවිඩ්-19 වැක්සීනය මේ වන විට අවසන් සායනික පරීක්ෂණවලට බඳුන් කර තිබේ. එහි ප්‍රතිඵල ලැබෙන්නට නියමිතව තිබෙන්නේ ලබන මාසයේදී ය. නමුත් මේවායේ සායනික අත්හදාබැලීම්වලට ලක්වන්නන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් (අතුරු ආබාධ ද සමග) ගැටළු මතු වූ නිසා මෑත කාලයේ දින 6කට ඔවුන්ට සියලු කටයුතු නතර කර දැමීමට සිදුව තිබිණි. මේ වන විට දකුණු අප්‍රිකාවේ සහ බ්‍රසීලයේ දී මෙම වැක්සිනයේ සායනික පරීක්ෂාවන් සිදු කෙරෙන නමුත් ඇමරිකාවේ FDA, ඔක්ස්ෆර්ඩ් සරසවියට මෙම 3 වන අදියරේ සායනික පර්යේෂණ නැවත පටන් ගන්නට යැයි තවමත් කොල එළියක් දල්වා නැත.

මෙයට දින 2 කට පෙර පළ වී ඇති CNN වාර්තාවකට අනුව මෙම වැක්සිනය භාවිතා කළ අය ‘අබිරහස් රෝග තත්වයන්ට‘ ගොදුරු ව තිබේ.

රෝගීන්ගේ ආරක්ෂාව ගැන මෙන්ම වැක්සිනය නිපදවීමේ ක්‍රමවේදයේ විනිවිදභාවය ගැන ද බොහෝ ගැටළු මේ වන විට මතු වී තිබේ.

මේ අතර, ජනාධිපතිවරණය ගැන පුදුමාකාර ආතතියකින් පසුවන ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා තිබුණේ නොවැම්බර් ජනාධිපතිවරණයට පෙර තමන්ට කෙසේ හෝ ඔක්ස්ෆර්ඩ් වැක්සිනය අවශ්‍ය කරන බව ය!

ඇමරිකාවේ එන්නත් තරගය – Operation Warp Speed

රෝගය උත්සන්න වත්ම හයිඩ්‍රොක්ලෝරොක්වීනීන් (මැලේරියා ඔසුව) (hydroxychloroquine) සහ convalescent plasma යන කොවිඩ් ප්‍රතිකාරයන් දෙක අනුමත කළේ EUA හෙවත් ඇමරිකාවේ ‘හදිසි භාවිතයන් පිළිබඳ වරලත් අධිකාරිය‘ විසිනි. මේ තීරණ දෙකම FDA විසින් දැඩි සේ විවේචනය කළ අතර, පසුව හයිඩ්‍රොක්ලෝරොක්වීනීන් තහනම් කෙරිණි.

මේ අතර ඇමරිකානු ජනපතිවරයා අවධාරණය කරන්නේ නොවැම්බර් 3 ජනාධිපතිවරණයට කලින් කෙසේ හෝ කොවිඩ්-19 වැක්සිනයක් ඇමරිකාවේ ප්‍රචලිත කරන්නට ය. ඔක්ස්ෆර්ඩ් වැක්සිනය සාර්ථක නොවුණහොත් ඔහුට විකල්ප තිබේ. ඒ අනුව COVID-19 vaccine EUA නමින් ඇමරිකාව තුළ ඔහු බෙදා හරින්නට සැලසුම් කරන්නේ ඔක්ස්ෆර්ඩ් වැක්සිනය ද නැතිනම් රුසියානු වැක්සිනය ද යන්න පැහැදිලි නැත.

ඇමරිකාව තුළ සිදුකෙරෙන ඇතැම් කොවිඩ් වැක්සීන් පරීක්ෂාවන් ද ‘අබිරහස් අතුරු ආබාධ වාර්තා කරන බව‘ විදෙස් මාධ්‍ය පවසයි.

මේ අතර, චීනය සහ රුසියාව දැනටමත් ඇමරිකාවට කියා තිබෙන්නේ සායනික පරීක්ෂාවලින් එපිට තමන්ගේ රටවල නිපදවා ඇති වැක්සීනයන් පාවිච්චි කළ යුත්තේ සීමාසහිතව බවයි. මේ දෙරට ම ඇමරිකාව සම්බන්ධයෙන් වඩාත් ප්‍රවේශම් වන බව පැහැදිලි ය.

Operation Warp Speed යනුවෙන් ට්‍රම්ප් තමන්ගේම රටේ වැක්සීනයක් නිපදවා ගැනීමේ තරගයක් පටන් ගෙන තිබෙන්නේ දැන් මාස කිහිපයක පටන් ය. එනිකෙකට වෙනස් වැක්සීන 8 ක් නිපදවීම සඳහා දැනටමත් ට්‍රම්ප් පරිපාලනය සහ අදාළ ආයතන විසින් ඇමරිකානු ඩොලර් බිලියන 10කට වඩා වියදම් කර තිබේ.

ඔක්තෝබරය මුල වන විට එහි පළමු මාත්‍රාවන් මිලියන 300 බෙදා හරින්නටත් නියමිත ව තිබේ.

මොකක් වෙයිද – දෙයියො දනියි!

ලෝකයේ රටවල් දෙසියකට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් වැක්සීන තරගයට අවතීර්ණ වී සිටිති. ඔවුන්ගෙන් සමරෙක් උමතුවෙන් මෙන් වැක්සිනයක් සොයාගෙන එය ජනතාවට එන්නත් කිරීමට වලි කති. ඒ ජනතාව ගැන ආදරයෙන්ද? නැත. තමන්ගේ රට පමණක් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමේ පටු මානසිකත්වයෙනි. නමුත් දුප්පත් රටකින් කොවිඩ්-19 වසංගතය හිස ඔසවන විට ලෝකයේ කිසිදු රටක් වසංගතයෙන් ආරක්ෂා නොවන්නේ ය යන සරල යථාර්ථය පවා මේ තරගයේදී ඔවුන්ට අවබෝධ වන්නේ නැත.

වැක්සින තරගයේ පොදු ලක්ෂණ

මේ වැක්සින තරගයේ දැකිය හැකි පොදු ලක්ෂණයක් වන්නේ එහි දීර්ඝ කාලීන අතුරුආබාධ ගැන කිසිවෙකු දැඩි සැලකිල්ලක් නොදැක්වීමයි. බොහෝ විට ඒවායින් අවධානය යොමු කරන්නේ කොරෝනා වෛරසය නිසා හටගන්නා උග්‍ර ශ්වසන අපහසුතා මගහැරේද යන්න ගැන ය.

නමුත් මේ වැක්සින තරගයේ, එසේත් නැතිනම් ප්‍රතිශක්තිකරණ තරගයේ පොදු ලක්ෂණ කිහිපයක් අපට දැකගත හැකිය. ඒ අතරින් ප්‍රධාන වන්නේ, දුප්පත් රටවලට වැක්සිනය අලෙවි කර මුදල් උපයා ධනවත් වීමේ තරගයයි.

ඒ නිසා නූතන ලෝකයේ අලුත්ම සටන් පාඨය බවට පත් වී තිබෙන්නේ “Equal access to a COVID-19 vaccine‘‘ හෙවත් ‘‘කොවිඩ්-19 වැක්සිනයක් සඳහා සම ප්‍රවේශය‘ යි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා මෙසේ ද කියයි.

‘‘ලෝකය වේගයෙන් සුවපත් වෙන්නට නම්, ලෝකය එකමුතුව සුවපත් විය යුතුයි. සාමූහිකව සුවපත් විය යුතුයි. මන්ද මෙය ගෝලීයකරණය වූ ලෝකයක්. ආර්ථිකයන් එකිනෙකට වෙළී පවතිනවා. ‘‘

ලෝකෙන් එක වීමේ උමතුවෙන් මිදෙන තාක් කල් මේ ලෝකයට සාමූහික කොවිඩ් වැක්සිනයක් නිපදවීමට හැකියාව ලැබේද යන්න සැක සහිත ය. දැනටමත් කොවිඩ් වැක්සීන 200කට ආසන්න සංඛ්‍යාවක් ලොව පුරා තරගයට අත්හදා බැලෙමින් තිබෙන්නේ ඒ නිසා ය.

ඒ අනුව අපට පැහැදිලි වන්නේ No collaboration – Only competition යන්න (සාමූහික බවක් නැත – තරගය පමණි) පවතින තාක් කල් සහ ප්‍රතිශක්තිකරණයේදීත් ජාතිකවාදය ඉස්මතු කරතාක් කල් මේ ලෝකයට කොවිඩ් වසංගතයෙන් මිදී ගතනොහැකි වනු ඇති බවයි.


මහම්මත්තුමාගේ කාටුන් පෙන්වූයේ යැයි ප්‍රංශ ගුරුවරයෙකුත් මරා දමලා!

ඇමරිකාව, ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් සුඩානය ඉවත් කරයි

වනුෂි වෝල්ටර්ස් – නවසීලන්ත පාර්ලිමේන්තුව ජයගත් පළමු ශ්‍රී ලාංකිකයා

MURALI 800: මුරලිගේ චරිතය රඟපෑමට සිටි විජේ සේදුපති ඉවත් වෙයි

ලොව වැඩිපුරම LGBT ප්‍රජාවේ සාමාජිකයන් සිටින පාර්ලිමේන්තුව බවට නවසීලන්ත පාර්ලිමේන්තුව පත් වේ

‘‘අපි නුඹව ගෙදර යවනවා!‘‘ – ට්‍රම්ප්ගේ ජනපතිකම අවසන් කිරීමට කාන්තාවෝ වීදි බසිති

ඇමරිකානු ජනාධිපතිවරණය නිසා ෆේස්බුක් නීති දැඩි වේ – ප්‍රචාරණ දැන්වීම් ලක්ෂ 22 ක් ඉවතට

වසංගතයක් අවසාන වන්නේ කොහොමද? කෝවිඩ්-19 කවදා අවසන් වේවිද?

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
error: Content is protected !!