පාරක්-තොටක් නැති ගමක් යන්න ලංකාවේ අපට අලුත් කතාවක් නොවේ. නිසි මාර්ග සංවර්ධනයක්, යටිතල පහසුකම් කිසිවක් නොමැති ගම්මාන රාශියක්ම ලංකාවේ හද්දා පිටිසර, රට හදන කිසිවෙකුගේ ඇස නොගැටී අපමණ තිබේ. නමුත්, නෙදර්ලන්තය, නොඑසේ නම් ඕලන්දය වැනි සංවර්ධිත සහ මානව සංවර්ධන දර්ශකයේ ඉහළින්ම තිබෙන රටකින් ‘පාරක් නැති ගමක්‘ ගැන වාර්තා වීම නම් හැබෑම ප්‍රවෘත්තියකි.
නෙදර්ලන්තයේ මේ ‘පාරක් නැති ගම‘ අති දුෂ්කර එකක් නම් නොවේ. අති සුන්දර දියුණු ගමකි. ගමේ නම ‘ගිතූන්‘ ය. මේ ගමට පාරවල් නැත්තේ මිදුලට බැස්සත් එය වටවී තිබෙන්නේ වතුරෙන් වන නිසා ය. ඒ නිසාම එයට අන්වර්ථ නාමයක් ද පටබැඳී ඇත. ඒ, ‘නෙදර්ලන්තයේ වැනීසිය‘ යන්නයි. වැනීසිය ද සහමුලින්ම පාහේ ජලයෙන් වටවී ඇති ඉතාලි නගරයක් බව ඔබ දන්නවා ඇත.
අතිශය සුන්දර නිසාම මේ ගම සංචාරක පාරාදීසයකි. නමුත් එහි යන එන කිසිවෙක් එහි නිකැළැල් කම පළුදු කරන්නේ නැත.
වැනීසියේ ජනතාව ගොන්ඩෝලා බෝට්ටුවලින් දිය අගල දිගේ එහා මෙහා යන ආකාරයටම මේ ගමේ උදවියද එහා මෙහා යන්නේ බෝට්ටු සේවාවක පිහිටෙනි. ඒවා ගොන්ඩෝලා බෝට්ටු මෙන් බාහු බලයෙන් ක්‍රියාකරන ඒවා නොව විදුලි බලයෙන් ක්‍රියා කරන වේගවත් බෝට්ටු වේ. මේ ගමේ ගොඩබිම පිහිටා තිබෙන්නේ කුඩා දූපත් සමූහයක් ලෙස ය. ඒ දූපත් හැම එකක්ම පාලම්වලින් එකිනකෙට සම්බන්ධ වෙයි.
ඒ නිසා මේ ගමේ බැලූ බැලූ අත පාලම් ද අඩු නැතිව තිබේ. සොබා සෞන්දර්යයෙන් අනූන මේ ගම, පාපැදි සංචාර සඳහා ඔබින පටු මාවත්වලින් ද සුසැදී ඇත. සියවස් ගණන් පැරණි පියැසි සහිත නිවාස ද එහි නොවරදින ලකුණකි. එහි තිබෙන ඇතැම් නිවාසයක් හොබිට් කතාමාලාවේ හොබිට් නිවස සිහිගන්නවිය. අතිශය සුන්දර නිසාම මේ ගම සංචාරක පාරාදීසයකි. නමුත් එහි යන එන කිසිවෙක් එහි නිකැළැල් කම පළුදු කරන්නේ නැත.