×

බුත්තල SI එංගලන්තයේත් හොල්මන් කරයි

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේ මෙට්‍රොපොලිටන් පොලීසියේ සේවයේ නියුතු පොලිස් නිලධාරියකු කාන්තාවක පැහැර ගෙන ගොස් ඝාතනය කර ඇති බවට චෝදනා ලබා තිබේ.


සේරා එවරර්ඩ් නම් අලෙවිකරණ විධායක නිලධාරිනිය ලන්ඩන් වීදියේ සිය නිවෙස් බලා ගමන් ගනිමින් සිටින අතරවාරයේදී ඈ පැහැරගෙන ගොස් ඝාතනයට ලක්කළ බවටයි මෙට්‍රොපොලිටන් පොලිස් කොස්තාපල්වරයකු වන වෙයින් කෞසෙන්ස් වෙත චෝදනා ගොනු වී තිබෙන්නේ.

මාර්තු 3 වන දින සිට තිස්තුන් හැවිරිදි සේරා පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නොතිබූ අතර, ඈ අතුරුදන්ව ඇති බවයි පූර්ව නිගමනය වී තිබුණේ.

ඈ අවසන් වරට නිරුපද්‍රිතව සිය නිවෙස් කරා ගමන් ගන්නා අයුරු අසල නිවසක දොර සීනුවේ සවිකළ කැමරාවක සටහන් වී තිබේ. ඒ පස්වරු 9.30 ට පමණ ය.

කෙසේවෙතත්, ඉකුත් බදාදා දින සේරා ට අයත් යැයි මෙට්‍රොපොලිටන් පොලීසිය විසින් තහවුරු කරගත් මනුෂ්‍ය කොටස් කෙන්ට් හි ඇෂ්ෆෝර්ඩ් නගරයේ වනාන්තරයක තිබී හමුවී ඇත.

පොලීසිය සේරා ගේ අතුරුදන් වීමට සැකපිට අත්අඩංගුවට පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පවසා තිබුණ ද, එවකට මිනීමැරුම් චෝදනා ගොනුකිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි හමුවී නොතිබිණි.

එහෙත්, සේරා එවරර්ඩ් ගේ මරණය සම්බන්ධව මෙට්‍රොපොලිටන් පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශනයන්ගෙන් හෙලිදරව් කරගන්නා ලද සාක්ෂි මත පදනම් ව මෙම පොලිස් කොස්තාපල්වරයාට මීනීමැරුම් සහ පැහැරගැනීම් සම්බන්ධයෙන් නඩුපැවරීමට තීරණය කළ බවට බ්‍රිතාන්‍යයේ එංගලන්තයේ සහ වේල්සයේ අපරාද නඩු පැවරීමට අවසර ලබා දෙන ක්‍රව්න් ප්‍රොසිකියුෂන් සර්විස් (සීපීඑස්) සංවිධානයේ විශේෂ අපරාධ අංශයේ ප්‍රධානී රෝස්මරි එයින්ස්ලි පැවසුවාය.

ඒ අනුව, පැහැර ගැනීම සහ මනුෂ්‍ය ඝාතනය යන චෝදනාවන් සම්බන්ධයෙන් වෙයින් පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව අපරාද නඩු පැවරීමට සීපීඑස් සංවිධානයේ නීතීඥයින් විසින් කටයුතු යොදා ඇත.

වෙයින් ට අදාළ නඩුකරය මේ වන විට දියත් වෙමින් පවතී. ඒ අතරවාරයේ මනුෂ්‍ය ඝාතන චෝදනා වලට අදාළව නඩු පැවරීම මත අදාළ පොලිස් කොස්තාපල්වරයා සියදිවි නසා ගැනීමට පවා තැත්කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මනුෂ්‍ය ඝාතන සිදුවීමට තම පොලිස් ස්ථානයේම සේවය කරන කොස්තාපල්වරයකු අත්අඩංගුවට පත්වීම පිළිබඳ අදහස් දක්වමින් මෙට්‍රොපොලිටන් පොලීසිය ප්‍රකාශ කර සිටියේ වෙයින් කෞසෙන්ස් ඔවුන් සමඟ ඉකුත් වසර දෙකකට අධික කාලයක පුරා සේවයේ නියුතු නිලධාරියකු බවයි.

වෙයින් පළමු වරට බ්‍රොම්ලි ප්‍රදේශය ආවරණය කරන පොලිස් කණ්ඩායමක් වෙත අනුයුක්ත කළ නිලධාරියකු වන අතර, පසුව පාර්ලිමේන්තු සහ රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂක අණදෙන ඒකකයට අනයුක්ත කර ඇත. වෙයින් ගේ මූලික කාර්යභාරය වී තිබෙන්නේ තානාපති කාර්යාල පරිශ්‍රයන්හි නිල ඇඳුම් රහිත මුර සංචාර සේවාව ය.

මේ අතර කාන්තා හිංසනය පිටු දැකීමට බ්‍රිතාන්‍යයේ සිවිල් ක්‍රියාකාරීන් දැනටමත් ව්‍යාපාර දියත් කර ඇති අතර, සේරාට යුක්තිය ඉල්ලමින් ඔවුහු හඬනැගීම ද සිදුකරති.

සේරාගේ ඝාතනයට දැඩි මාධ්‍ය ආවරණයක් ලබා දීමට බ්‍රිතාන්‍ය මාධ්‍ය කටයුතු කර තිබිණි. මීට සති එක හමාරකට පමණ ඉහත දී ශ්‍රී ලංකාවේ ද මේ හා සමානම සිදුවීමක් වාර්තා වූ සැටි ඔබට මතක ඇත. එම සිදුවීමේදී අදාළ උප පොලිස් පරීක්ෂකවරයා අතින් පැහැරගෙන ඝාතනයට ලක්වූ තරුණියගේ හිස වෙන්කර කවන්ධය ගමන් බහාලනයක දැමීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවූ අතර, සිදුවීමට අසාමාන්‍ය මාධ්‍ය ප්‍රචාරයක් ලබාදීම හරහා අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමට ප්‍රථම සියදිවි හානිකර ගත් බවද පසුව අසන්නට ලැබිණි.

සිදුවීම් දෙක සැසඳීමේදී ඝාතනයට ලක්වන වින්දිතයින් ගේ ශරීර කොටස් විකෘති කිරීම, සිදුවීමට පොලිස් නිලධාරියකු සම්බන්ධ වීම, පැහැර ගැනීමකින් අනතුරුව ඝාතනයන් සිදුවීම, ඝාතනයට ලක්වන පාර්ශවයගේ ශරීරය මඟ දමා යෑම, කැලෑවක් සම්බන්ධ වීම (බුත්තල උප පොලිස් පරීක්ෂකවරයා අපරාධයෙන් පසුව අසල වනාන්තරයක සැඟවී සිට ඇති බවට විමර්ශන වලින් හෙලිවිය, ලන්ඩනයේ ඝාතනයට ලක්වූ තරුණියගේ සිරුර වනාන්තරයක තිබී සොයා ගෙන ඇත) සහ අපරාධය හෙලිවීමෙන් අනතුරුව සැකකරු සියදිවි නසා ගැනීම හෝ නසා ගැනීමට තැත්කිරීම ආදී සමානකම් රැසක් පවතී.

රටක සිදුවන අපරාද මැඩලමින් සහ නීතිය ක්‍රියාත්මක කරමින් පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන්නේ පොලීසියයි. එම පොලීසිය තුළින්ම අපරාධයේ විත්තිය මතුවන විට අපට සිහිපත් වන්නේ වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව යන පැරණි කියමන යි.

ප්‍රමෝද් චින්තක පීරිස්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි