×

අරුම පුදුම ආදර උමග

ලෝකයේ අනුරාගී ම දුම්රිය උමඟ වශයෙන් ද එය හැඳින්වීමේ කිසිදු වරදක් නැත.


ඇත්තෙන් ම එය භූගත උමං මාර්ගයක් නොවේ. මනා ලෙස වැවුණු තුරුලතාවල තුරු අරඹ එකිනෙක එතී යාමෙන් හටගත් හරිත තුරු ගොමුවකි.

rferl.org
rferl.org

යුක්රේනයේ වැඩිපුරම ඡායාරූපවලට නැගෙන ස්ථානය වන්නේ ද මෙයයි. මෙයට යාබදව පිහිටා තිබෙන ඕර්සිව් ගම්මානය, යුක්රේනයේ අති විශේෂ ය. රට පුරාම තැන් තැන්වලින් එන බර්ච් ගස්, බටහිර යුරෝපා වෙළඳපොළට යනු පිණිස ලෑලි බවට පත්වන්නේ මෙහිදී ය. මේ කර්මාන්ත ශාලාවලදී ඒ බර්ච් දැවැන්තයෝ, ප්ලයිවුඩ් ලෑලි බවට පත්වෙති.

rferl.org
rferl.org

ඉන්පසු ආදර උමග දිගේ ඇදී යාමට නියමිත දුම්රියට පැටවී ගම් දොරින් නික්ම යති.

ප්ලයිවුඩ් කර්මාන්තශාලාවෙන් කිලෝමීටර 7 ක් ගෙවුණු තැන තිබෙන්නේ ක්ලෙවාන් දුම්රිය හරස් පාරයි. එතැන් පටන් මීටර සිය ගණනක් යන තෙක් සියල්ල ඕලාරික ය. සම්ප්‍රදායික දුම්රිය පීලි අවට දැකගත හැකි පාළු මූසල ගතිය මෙහි ද තිබේ. නමුත් ඉක්බිති සියල්ල එකවරම වෙනස් වේ. ඉක්මනින්ම දුම්රිය පාර කොල පාට වනු පෙනේ. ආදර උමග ඇරඹී තිබේ.

rferl.org
rferl.org

මෙම හරිත වන ගුල්මවලින් සුසැදි දුම්රිය මාර්ගයේ අතීතය ශීතල යුද්ධය දක්වා දිව යන්නකි. එකලද ප්ලයිවුඩ් කර්මාන්තශාලාව විය. එම කර්මාන්තශාලාවට නුදුරින් දුම්රිය මාර්ගය මේ අන්දමින් දෙකට බෙදී තිබිණි. එයින් වම් පැත්තේ දුම්රිය මග දිව ගියේ මහ කැලය තුළ සැඟවී ගත් හමුදා කඳවුරක් වෙත ය. සෝවියට් යුගයේදී මෙම හමුදා කඳවුර ඉදි කරන සමයේ, හිතා මතාම මේ තුරු සිටවනු ලැබුවේ සෝවියට් හමුදාව විසිනි. ඒ, එවැන්නක් ගන වනය තුළ ඇතැයි නිකමටවත් නොසිතෙනු පිණිස ය. මේ වන විට එය ගන වනයකි.

rferl.org
rferl.org

අද වන විට දුම්රිය ක්ලෙවාන් දක්වා ඇදී එන විට එන්ජින් රියැදුරෝ හිතා මතාම මහ හඬින් නළාව වාදනය කරති. ඒ, රේල් පීලි මතට වී නොයෙක් ඉරියව්වලින් ඡායාරූප ගන්නා යුවළවලට රේල් පාරෙන් ඉවත් වීමට කාලය ලබාදීම සඳහා ය. කොල පාට කපාගෙන ඉදිරියට ඇදෙන දුම්රිය, විටෙක ඔවුන් විස්මයට පත් කරවයි. කොල පැහැති පසුබිමෙන් දුම්රිය ඇදී යන දසුන, සැබවින්ම අසිරිමත් ය.

rferl.org
rferl.org

මේ වන විට සංචාරකයන් විශාල පිරිසක් මෙම ආදර උමග නැරඹීම සඳහා දිනපතා ඇදී එති. පසුගිය වසරක වාර්තා වූයේ ජපානයේ සිට පැමිණි සංචාරක කාන්තාවක් දුම්රිය පැමිණෙන විට එයින් ඉවත් වීමට උත්සාහ කරන විට ඇද වැටී උකුල් ඇටය පිපිරී ගිය බවයි.

rferl.org
rferl.org

කෙසේ නමුත් 2013 වසරෙන් පසුව මෙම හරිත උමගට නිල රැකවරණයක් යුක්රේන බලධාරීන්ගෙන් නොලැබෙන බවට දෝෂාරෝපණ එල්ල වේ. කිසිදාක සිදුනොවූ පරිදි දුම්රිය උමග සාදන වියනේ ගස් අතරින් පතර කපා දමන බවට ද වාර්තා තිබේ.

rferl.org
rferl.org

නමුත් කිසිම සැකයක් නැතිව, මේ කෝච්චි පාර, යුක්රේනයට හරිත ආභරණයකි. එහි ඇදී එන්නේ සොබාදහමට ආදරය කරන්නෝ ය. එසේත් නැතිනම් සිය ආදර ජීවිතයේදී පරිසරයට ළඟින්ම හිඳ ගත් ඡායාරූපයට පෙනී සිටින්නට ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි