×

ඇමරිකානුවන් නත්තල් නිවාඩුවට ඩොලර් බිලියන 90 ක ‘අනවශ්‍ය‘ බඩු අරන්!

ඇමරිකාවේ නත්තල් සමයට සාප්පු හිමිකරුවන් සහ එහි සේවකයන් මුහුණ දෙන පොදු ගැටලුවක් තිබේ. එය නම්, අනවශ්‍ය භාණ්ඩ මිලදීගත් පාරිභෝගිකයන් ඒවා ආපසු ලබාදීමේදී හෝ ඒවා මාරු කර ගැනීමේදී ඇති කරන යුද්ධයයි.


අලුත්ම සංඛ්‍යාලේඛනවලට අනුව, මේ වසරේ නත්තල් සමය අවසන් වන විටත් ඇමරිකානු ඩොලර් බිලියන 90 ක භාණ්ඩ ප්‍රමාණයක් පාරිභෝගිකයන් විසින් ආපසු ගෙනැවිත් භාර දේ යැයි අපේක්ෂා කෙරේ. මේ නිසාම මේ වන විට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල සිල්ලර වෙළඳාමේ යෙදෙන ව්‍යාපාර හිමිකරුවන්ට, මෙසේ රිටර්න් කරන ලද භාණ්ඩ සම්බන්ධයෙන් කළ යුතු දේවල් ගැන උපදෙස් ලබාදෙන වෙනම සමාගම් ද බිහිවෙමින් තිබේ. ඔප්ටෝරෝ යනුවෙන් හඳුන්වන්නේ එවැනි තාක්ෂණික උපදෙස් ලබාදෙන සමාගමකි.

ඔවුන් පවසන ආකාරයට මෙසේ ආපසු ගෙනැවිත් භාරදෙන භාණ්ඩවලින් 50%ක්ම ඒ වේලාවේම හෝ ඉතා ඉක්මනින්ම, රාක්කවල ඒවා තිබූ තැන්වලට ම යයි. 25% ක් පමණ නිෂ්පාදකයා වෙත භාරදෙනු ලැබේ. ඉතිරි 25%, විවිධාකාර තෙවන පාර්ශවයන් වෙත විකුණා දමයි. එයට හේතුව, බොහෝ විට එසේ ආපසු හරවා එවන භාණ්ඩවල ඇසුරුම්වලට හානි වී තිබීමයි. එසේත් නැතිනම් එම ඇසුරුම් විවෘත කර තිබීමයි. මෙනිසා විශාල ඩිස්කවුන්ට් එකක් යටතේ එම භාණ්ඩ සිය පරිශ්‍රයෙන් ඉවත් කිරීමට වෙළෙන්දෝ කටයුතු කරති.

ඇමරිකාවේ මේ අන්දමින් වර්ෂයකට කුණු කූඩයට දමන භාණ්ඩ ප්‍රමාණයේ බර, රාත්තල් මිලියන 5 කි.

ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කරන ආකාරයට, මෙසේ ඉවත් කරන භාණ්ඩ නැවතත් දෙවන පියවරක් වෙත යොමු කරනවාට වඩා ඒවා කුණු කූඩයට විසි කර දැමීම වෙළෙන්දන්ට වාසිදායක සහ පහසු දෙයක් වන අවස්ථා ගණනාවක් ද තිබේ. ඇමරිකාවේ මේ අන්දමින් වර්ෂයකට අනවශ්‍ය සහ කුණු කූඩයට දමන භාණ්ඩ ප්‍රමාණයේ බර, රාත්තල් මිලියන 5 කි. සාමාන්‍යයෙන් අන්තර්ජාලයෙන් කළ මිලදී ගැනීම්වලදී භාණ්ඩ ආපසු හරවා යැවීමේදී එම නෞකා ගාස්තු ආදිය දරාගත යුත්තේ පාරිභෝගිකයා ය. මෙනිසා අන්තර්ජාලය හරහා විකිණෙන භාණ්ඩ ආපසු හරවා එවීම සාපේක්ෂව අඩු ය. එසේ වුවත් යම් හෙයකින් එසේ හරවා එවනු ලැබුවහොත් ඇමසන් වැනි සේවාදායකයන් කරන්නේ ද ඉහතින් විස්තර කළ ක්‍රියාදාමය ම වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි