×

එකම විසඳුම එන්නත ලු! දිවි අහිමි වූ බෝවන රෝග වෙදදුරුට කොරෝනාව කළ සමච්චලය!

මරණ පරීක්ෂණයේදී තහවුරු වන්නේ වෛද්‍ය කපිල ට කොවිඩ් ආසාදනය වී ඇති බවය!


මෙම ඛේදජනක පුවත ගෙතෙන්නේ ඇමරිකාවේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වටා ය.

ඇමරිකාවේ නිව් ජර්සියේ රුට්ගර්ස් විශ්ව විද්‍යාලයේ කීර්තිමත් බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වන වෛද්‍ය රාජේන්ද්‍ර කපිල මීට දින කිහිපයකට ඉහත දිවියෙන් සමුගන්නේ කොවිඩ් ආසාදනය වීම මතය.

ඉන්දියාවේ සිටි තම පවුලේ සාමාජිකයන් දැකීමට වෛද්‍ය රාජේන්ද්‍ර කපිල මහතා සූදානම් වන්නේ සෞඛ්‍යය තත්ත්වය දුබල වූ තම මාමාණ්ඩිය බැලීමේ උවමනාව මතය. ඇමරිකාවෙන් පිටත් වීමට පෙර ෆයිසර් කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමට වෛද්‍ය කපිල මහතා කටයුතු කර තිබූ බව සඳහන් වේ.

රාජේන්ද්‍ර කපිල වෛද්‍යවරයා දිවියෙන් සමුගන්නේ ඉකුත් මැයි මස 3 වන දිනය. එනම්, වියපත් තම මාමණ්ඩිය බැලීමට ඉන්දියාවට පැමිණ දින තුනකට පමණ පසුවය.

මරණ පරීක්ෂණයේදී තහවුරු වන්නේ වෛද්‍ය කපිල ට කොවිඩ් ආසාදනය වී ඇති බවය!

රාජේන්ද්‍ර කපිල වෛද්‍යවරයා ඇමරිකාවෙන් පිටත් වීමට පෙර මෙතෙක් කොවිඩ් වසංගතයට එරෙහිව සොයාගන්නා ලද සාර්ථකම එන්නතක් යැයි සැලකෙන ෆයිසර් එන්නතේ මාත්‍රා දෙකම ලබා ගෙන තිබිණි. එපමණක් නොව, ඒ මහතා බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකි. ඉන්දියාවට පැමිණි විගස එතුමා ගේ දිවි අහිමි වූයේ කෙසේද?

බෝවන රෝග පිළිබඳ විශේෂඥවරයකු හට කොරෝනාව කළ මේ සමච්චලය කුමක්ද?

මෙය තරමක ප්‍රෙහේලිකාවක් නොවන්නේද? ඇත්තෙන්ම ප්‍රෙහේලිකාවක් කර ගෙන සිටින්නේ අන් කවරකු විසින් නොව සෞඛ්‍ය ආපදා තත්ත්වයක් කෙරේ පටු කෝණයෙන් බැලීමට පුරුදුව සිටින අප විසින්ම ය.

මෙම සිදුවීමෙන් අපට කියා දෙන පාඩමක් තිබේ. ඉන්දියාව තුළ කොවිඩ් වසංගත තත්ත්වය මේ වන විට ඉතා දරුණු මට්ටමක පවතී. ඒ කොවිඩ් වෛරසයේ විකෘති ප්‍රභේද බිහිවීම ආරම්භ වීමත් සමඟය. සරල ප්‍රවේණි විද්‍යාව අවතක්සේරු කිරීමට අප පුරුදුව සිටී.

ෆයිසර් එන්නත නිපදවූයේ මීට බොහෝ කාලයකට ඉහතදීයි. මෙතෙක් නිපදවූ කොවිඩ් එන්නත් මෙම වෛරස ප්‍රතිවලිත කෙරේ ප්‍රතිචාර නොදක්වන බවයි මින් පැහැදිලි වන්නේ.

සොබාදහම හැසිරෙන්නේ අමුතුම අන්දමකිනි. නියුකිලියෝටයිඩ වල රැගෙන යන ප්‍රවේණි තොරතුරු තවත් ඩීඑන්ඒ දාමයකට සම්ප්‍රේශණය කිරීමේදී විකෘතීන් හට ගැනීම, නව ප්‍රභේද හට ගැනීම පරිණාම දාමය තුළ ජීවය නිශේධනය විමේ අවදානමින් දිවි ගලවා ගැනීමට සෑම ජීවියකුම භාවිතා කරන මූලික යාන්ත්‍රණයයි.

කොරෝනාව වෛරසයකි. එයට ද මෙම න්‍යාය අදාළය. කොවිඩ් වෛරසයේ නව ප්‍රතිවලිත ඇතිවීම ලොව පුරා දැන් ආරම්භ වී පවතී. ඉන්දියාවේ මහමඟ මිනිසුන් මියැදෙමින් සිටී. අප ජීවත් වන මේ පුංචි දිවයින ලංකාවද කොවිඩ් උවදුර අරඹයා දැඩි අරගලයක නිරත වෙමින් සිටී.

වසංගතය විහිළුවක් නොවේ. වසංගතයේ තිරයේ පසුපස පවතින්නේ අන් කරවක් නොව විද්‍යාවයි. විද්‍යාව අවතක්සේරු නොකළ යුතුය. අද වන විට දේව බලයන්, විශ්ම කර්මයන්, මායාකරුවන් සහ ඉන්ද්‍රජාලිකයන් ගේ රජදහන වූ ඉන්දියාව එය නැවත නැවතත් ඔප්පු කරමින් සිටී.

වසංගතයක් සමඟ පොර බැදීමට මහත් පරිශ්‍රමයක් දරා අපි එන්නතක් සොයාගත්තෙමු. එන්නත් සොයාගැනීමේ ගෞරවය විද්‍යාඥයින්ට ලබා දෙමින් ප්‍රීති ඝෝෂා නැඟුවෙමු. එන්නතේ ප්‍රතිඵල සුළු කලකට භුක්ති වින්දෙමු. එහෙත් සොබාදහම — ප්‍රවේණියේ අනාවැකි රහිත හැසිරීම — දැන් නැවත වරක් අපට සමච්චල් කිරීමට අර අදිමින් සිටී.

වෛද්‍ය රාජේන්ද්‍ර කපිල මහතා ගේ වියෝව වෛද්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන්ට ද පුදුමය දනවන කරුණකි. ඒ අන් කවරක් නිසා නොව, වැක්සිනය ලබා ඇති පසුබිමක් තුළ පවා කොවිඩ් ආසාදනය වී මෙතරම් කෙටිකලක් තුළ මරණයට පත්කරවීමට මෙම වෛරස ප්‍රභේද සමත් වී තිබීම නිසාවෙනි.

මෙම වසංගතය සමඟ තාක්ෂණයේ දෙවොල වූ ඇමරිකාව හා දෙවියන්ගේ දේශය වූ ඉන්දියාව එක හා සමානව පොරබදිමින් සිටී.

අප ද එන්නත්කරණ වැඩපිළිවෙලේ පොරොත්තු ලේඛනයේ මඟ දින ගනිමින් සිටිනවුන් ය. එන්නත ලබා ගත්ත ද සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම අනිවාර්ය ය.

බෝවන රෝග පිළිබඳ විශේෂඥයකු වූ වෛද්‍ය කපිල මහතා ට වසංගතයෙන් දිවි ගලවා ගැනීමට නොහැකි විය. එසේනම්, තවමත් පණ කෙන්ද ගැටගහගත්, මේ මහපොළවේ හුස්ම පොද පෙනහළු හරහා සංසරණය වන ඔබටත් මේ ලිපිය ලියන මටත් පැවරෙන වගකීමක් පවතී.

වසංගතය සුළුපටුව නොතකන්න. බලපොරය, දේශපාලනය, බෙදීම, මිත්‍යාව මඳකට අතහරින්න.. එන්නත් ලබා ගන්න.. එහෙත් සෞඛ්‍ය උපදෙස් දැඩි සේ අනුගමනය කරන්න.

ඉහළ අහසේ තිස්තුන්කෝටියක් වසනු ඇත.. එහෙත් ඒ එකෙකු හෝ ඔබගේ පිහිටට මේ මොහොතේ පැමිණෙන්නේ නැත.

ප්‍රමෝද් චින්තක පීරිස්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි