×

ඔලිම්පික් කිරුළට ඇමරිකාව චීනය ජපානය අතර දැඩි සටනක්

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අද 07 වැනි දිනයයි. මේ වනවිට පදක්කම් සටහන අනුව පෙරමුණ ගැනීමට චීනය සමත් වී තිබෙනවා.


ඒ රන් පදක්කම් 14 ක් දිනා ගනිමිනි. ඊට අමතරව රිදී පදක්කම් 06 ක් සහ ලෝකඩ පදක්කම් 09 ක්ද චීනය සතුව තිබෙනවා.

දෙවැනි තැන සිටින ඇමරිකා එක්සත් ජනපදය රන් පදක්කම් 13 ක් රිදී පදක්කම් 13 ක් හා ලෝකඩ පදක්කම් 10 ක් දිනාගෙන සිටී. රන් 13 ක්, රිදී 04 ක් සහ ලෝකඩ 05 ක් හිමි කරගෙන සිටින සත්කාරක ජපානය තෙවැනි ස්ථානයට පත්ව තිබෙනවා. ඊයේ දිනයේදී ජපානය පළමු ස්ථානයේ සිටි නමුත් අද පෙරවරුවේ අවසන් වූ පිහිණුම් තරගවලින් ඇමරිකාව සහ චීනය රන් පදක්කම් හිමිකර ගැනීමත් සමග සත්කාරකයන් තෙවැනි ස්ථානයට පත්විය.

මේ වනවිට 2020 ටෝකියෝ ඔලිම්පික් උ‍ළෙලේ ජයග්‍රාහකයා වීමට මෙම රටවල් 03 අතර දැඩි තරගයක් නිර්මාණය වී තිබේ.

චීනය ඔලිම්පික් ඉතිහාසයේ එක් වරක් පමණක් පළමු ස්ථානයට පත් වූ අතර ඒ ඔවුන් සත්කාරකත්වය දැරූ 2008 බීජිං ඔලිම්පික් තරගාවලියේදීයි. මෙවර නැවතත් ඔලිම්පික් උළෙල ආසියාවේදී පැවැත්වීම හේතුවෙන් ඔවුන්ට නැවතත් පළමු ස්ථානය දිනා ගැනීම සඳහා අවස්ථාව හිමිව තිබෙනවා.

කෙසේ නමුත් ඊට ප්‍රධාන බාධාව වන්නේ සත්කාරක ජපානයයි. ජපානය මේ වනවිට රන් පදක්කම් 13 ක් දිනාගෙන ඇති අතර මීට පෙර ඔවුන් දිනාගෙන ඇති වැඩිම රන් පදක්කම් සංඛ්‍යාව 16 කි. ඒ මීට පෙර ඔවුන් සත්කාරකත්වය දැරූ 1964 ඔලිම්පික් උළෙලේදී සහ 2004 ඇතන්ස් ඔලිම්පික් උළෙලේදීය. මෙවර ඔවුන්ට එම ප්‍රමාණය ඉක්මවා යාම සඳහා විශාල අවස්ථාවක් හිමිව තිබේ.

ජපානයේ හා චීනයේ මෙම තරගය හමුවේ වැඩි වාසි අත්පත් වන්නේ ඇමරිකාවටයි. බොහෝවිට ජපානය අත්පත් කර ගන්නේ වෙනදා චීනයට හිමිවන රන් පදක්කම්ය. මේ නිසා ඇමරිකාවට පළමු තැන හිමිකර ගැනීම සඳහා අමතර වාසියක් හිමි වේ. අනෙක් පැත්තෙන් තවමත් මළල ක්‍රීඩා ආරම්භ වී නොමැති අතර ඇමරිකාවට වඩාත් වාසිදායක වන්නේ මළල ක්‍රීඩාවලදීය.

හෙට (30) දිනයේදී මළල ක්‍රීඩා ආරම්භවීමත් සමග ඇමරිකාව සතු රන් පදක්කම් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇත. කෙසේ නමුත් සෙසු ක්‍රීඩා තරග තවදුරටත් පැවැත්වෙන හෙයින් චීනයෙන් හා ජපානයෙන් ඇමරිකාවට දැඩි අභියෝගයක් එල්ල වනු ඇත.

පදක්කම් සටහනේ හතරවැනි ස්ථානය රුසියානු ඔලිම්පික් කමිටු ධජය යටතේ තරග කරන රුසියානු කණ්ඩායමටත් (රන් 07) පස්වැනි ස්ථානයට ඕස්ට්‍රේලියාවටත් (රන් 07) හිමිව තිබෙනවා.

රටවල් 37 ක් අවම වශයෙන් එක් රන් පදක්කමක් හෝ දිනාගෙන සිටින අතර රටවල් 63 ක් කුමන හෝ පදක්කමක් දිනා ගනිමින් පදක්කම් සටහනට ඇතුළත්වීමට සමත්ව තිබෙනවා.

 

– UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි