×

කොවිඩ් වැළඳී සුව වූ අය එයට ප්‍රතිශක්තිය ලබන බවට කිසිම සාධකයක් නැහැ – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

සාමාන්‍යයෙන් රෝගයකට ගොදුරු වූ පසුව එය නැවත වරක් වැළඳිය නොහැකි වන සේ ශරීරය තුළ ස්වභාවික ප්‍රතිශක්තියක් ඇති වන නමුත් කොවිඩ් වසංගතයට ගොදුරු වූ අය සම්බන්ධයෙන් එය වලංගු නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.


සාමාන්‍යෙයන් විෂබීජයකට ශරීරය ගොදුරු වූ පසුව එයින් ඇති වූ ප්‍රතිශක්තිය කොතරම්ද යන්න ඇන්ටිබොඩීස් හෙවත් ප්‍රතිදේහ පරීක්ෂා මගින් හඳුනාගත හැකිය. සාමාන්‍ය තත්වයකදී නම් සිදුවන්නේ මෙසේ ඇතිවන ප්‍රතිදේහ මගින් ශරීරයට යම්කිසි කාල සීමාවකට හෝ ආරක්ෂාව ලබාදීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස එම රෝගයටම දෙවන වරටත් රෝගියා ගොදුරු වීමේ අවදානම සෑහෙන ප්‍රමාණයකින් අඩු වේ.

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යේෂ්ඨ වසංගතවේදිනියක වන වෛද්‍ය මරියා වැන් කර්හොව් (Dr Maria van Kerkhove) ප්‍රකාශ කළේ කොවිඩ්-19 සම්බන්ධයෙන් ප්‍රතිදේහ පරීක්ෂාවලන් පලක් නොමැති බවයි.

ඒ අනුව කොවිඩ් වසංගතයට ගොදුරු වූ රටවල ආණ්ඩු, ප්‍රතිදේහ පරීක්ෂාවන් සඳහා අවධානය යොමු කිරීම නිෂ්ඵල ක්‍රියාවක් වනු ඇත.

උදාහරණයක් වශයෙන් එක්සත් රාජධානිය තුළ අද වන විට කොවිඩ්-19 රෝගීන් 108,692 ක් වාර්තා වේ. මරණ ගණන 14,576 කි. මේ වන විට එක්සත් රාජධානිය සීරොලොජි හෙවත් මස්තු තරලය පරීක්ෂා කිරීමේ (ශරීරය තුළ ප්‍රතිදේහ නිපදවා තිබේදැයි බැලීමට) ටෙස්ට් කට්ටල මිලියන 3.5 ක් මිලදී ගෙන ඇත. මේවායින් රුධිර ප්ලාස්මාවේ තිබෙන ප්‍රතිදේහ මට්ටම් මැන බැලීමට ඔවුන් අදහස් කරගෙන සිටියහ.

මෙකී ප්‍රතිදේහ පරීක්ෂා කට්ටල නිපදවා තිබෙන්නේ ද කොවිඩ්-19 වසංගත තත්වය ඉලක්ක කරගෙන නොවේ. උදාහරණයක් ලෙස බොහෝ විට ඒවා ක්‍රියාත්මක වන්නේ ක්ෂණික HIV පරීක්ෂාවලදී ක්‍රියාත්මක වන ආකාරයට ය. මේවා rapid diagnostic serological tests යනුවෙන් හැඳින්වේ. ජිනීවා හිදී මාධ්‍ය අමතමින් පෙර කී ජ්‍යේෂ්ඨ වසංගතවේදිනිය ප්‍රකාශ කරන්නේ මේ ක්‍රමය අනුගමනය කිරීමට බොහෝ රටවල් සැදී පැහැදී සිටින නමුත් එයින් පලක් නොවනු ඇති බවයි.

එයට හේතුව, එසේ ප්‍රතිදේහ ශරීරය තුළ සැදී තිබෙනවා විය හැකි නමුත්, ඔවුන් තුළ රෝගයට ප්‍රතිශක්තියක් ඇති වී තිබෙන බවක් එයින් අදහස් නොවන නිසා ය.

මේ අනුව, සරල බසින් කියන්නේ නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම නවතම මගපෙන්වීම තුළින් කරුණු 2 ක් තහවුරු වේ. එනම්,

  1. කොවිඩ්-19 ට ගොදුරු වී, සුවපත් වූ අය පවා නැවත එම රෝගයටම ගොදුරු විය හැකිය.
  2. ප්‍රතිදේහ පරීක්ෂා කිරීමේ ටෙස්ට් කට්ටල සඳහා ලෝකයේ රාජ්‍යයන් මේ අවස්ථාවේදී මුදල් වැය කිරීම, සිතන තරම් ප්‍රතිඵලදායක නොවේ.

මේ සති අන්තයේ වසංගතය සමග සටන් කළ යුත්තේ කෙසේදැයි යාවත්කාලීන කළ මාර්ගෝපදේශන පද්ධතියක් නිකුත් කිරීමට ද ලෝක සෞඛ්‍ය සංවිධානය බලාපොරොත්තු වෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි