×

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය: සැකකාර පොලිස් නිලධාරියාගේ ක්‍රියාව අධිකරණය ඉදිරියේ ‘සාධාරණීකරණය’ කෙරේ

පොලිස් නිලධාරියකුගේ දෘෂ්ඨිකෝණයෙන් බැලූ විට ඩෙරෙක් කටයුතු කර ඇති අන්දම සාධාරණ බව පෙන්වා දෙන බ්‍රොඩ් අවධාරණය කළේ යම් සැකකරුවකු තමාට පහර දීමට, ආයුධයකින් ඇනීමට, නැතහොත් වෙඩි තැබීමට සූූදානම් වන බවක් දැනෙන්නේ නම් එම මොහොතේ ඇතිවන සාධාරණ බිය මත මෙසේ ප්‍රතිචාර දැක්වීම පුදුම විය යුතු නැති බවත් ය.


ඉකුත් වසරේ මැයි මස එක්සත් ජනපදයේ වර්ගවාදය පිළිබඳ කතිකාව උත්සන්න කිරීමට තුඩු දුන් ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතික තරුණයා ගේ ඝාතනයට අදාළ ව අධිකරණය ඉදිරියේ ගොනුවූ නඩුව තුළ එම මරණයට වගකිව යුතු පොලිස් නිලධාරියාගේ ක්‍රියාකලාපය සාධාරණීකරණය කිරීමට සමත් ව තිබේ.

ඩෙරෙක් චොවින් නම් එම පොලිස් නිලධාරියා අවස්ථානුකූල සාධාරණත්වය මත එසේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ගෙල සිර කර බිමට පතිත කිරීමට කටයුතු කළ බව පොලිස් බලය යෙදවීම පිළිබඳ විශේෂඥයකු අධිකරණය ඉදිරියේ පෙන්වා දී තිබේ.

මිනසෝටා හි මෙම නඩුකරය පැවති අතර, එහිදී බැරී බ්‍රොඩ් නම් පොලිස් බලය යෙදවීම පිළබඳ විශේෂඥවරයා අවධාරණය කර තිබෙන්නේ ඩෙරෙක් නම් හිටපු පොලිස් නිලධාරියා අවස්ථානුකූල සාධාරණත්වය (objective reasonableness) මත එසේ ජෝර්ජ් පොළවට පෙරළූ බවත්, ජෝර්ජ් විසින් පොලිස් නිලධාරීන් හට පෑ ආසන්නතම තර්ජනයට ප්‍රතිචාරයක් වශයෙන් එසේ සිදුකිරීම සාධාරණ බවත් ය.

ඩෙරෙක් එම මොහොතේ කටයුතු කර තිබෙන්නේ මිනියාපොලිස් පොලීසියේ ප්‍රතිපත්තීන් වලට අනුකූලව බවද හෙතෙම අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර තිබේ.

පොලිස් නිලධාරියකුගේ දෘෂ්ඨිකෝණයෙන් බැලූ විට ඩෙරෙක් කටයුතු කර ඇති අන්දම සාධාරණ බව පෙන්වා දෙන බ්‍රොඩ් අවධාරණය කළේ යම් සැකකරුවකු තමාට පහර දීමට, ආයුධයකින් ඇනීමට, නැතහොත් වෙඩි තැබීමට සූූදානම් වන බවක් දැනෙන්නේ නම් එම මොහොතේ ඇතිවන සාධාරණ බිය මත මෙසේ ප්‍රතිචාර දැක්වීම පුදුම විය යුතු නැති බවත් ය.

එමෙන්ම, මෙවන් සිදුවීමක් කාර්යාලයක හිඳගෙන පිටින් බලා විනිශ්චය කිරීම ඉතා පහසු බවත්, ප්‍රායෝගිකව එවන් සිදුවීමකට මුහුණ දුන් පුද්ගලයකු මෙහි බරපතලකම දන්නා බවත් ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම, ඩෙරෙක් නම් පොලිස් නිලධරයා මාරක ලෙස සිය පොලිස් බලය මෙහිදී යොදා නැති බවත් විත්තියේ නීතීඥයා කළ ප්‍රශ්න කිරීමේදී බ්‍රොඩ් පිළිතුරු දී තිබේ.

එමෙන්ම, අදාළ සිදුවීමේදී ඒ වටා රැස්වූ සෙනඟ නිසාවෙන් හඳුනා නොගත් තර්ජනයක් පොලිස් නිලධාරීන් හට ඇතිවීමේ ඉඩ පැවත් බවත්, ඒ අනුව ඩෙරෙක් ගේ අවධානය ජෝර්ජ් ගෙන් ගිලිහී ගිය බවත් බ්‍රොඩ් වැඩිදුරටත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

මෙහිදී පොසිෂනල් ඇස්ෆික්සියා හෙවත් යොදන ඉරියව්ව මත පුද්ගලයකුගේ හුස්ම හිරවීම නම් තත්ත්වයේ භයානකකම පදනම් කරගෙන පැමිණිල්ලේ නීතීඥවරුන් බ්‍රොඩ් ගෙන් කළ හරස් ප්‍රශ්න කිරීම් වලදී එය සත්‍යයක් බවත්, එය නීතියට අලුත් තොරතුරක් නොවන බවත් ඔහු පිළිගත්තේය.

මේ පිළිබඳ මිනියාපොලිස් පොලීසියේ සේවය කරන පීටර් චැනග් නම් පොලිස් නිලධාරියාගෙන් අධිකරණය ඉදිරියේ කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු ප්‍රකාශ කර සිටියේ අදාළ සිදුවීම හටගත් මොහොතේ ෆ්ලොයිඩ් වටා ඒකරාශී වූ පිරිස අතිශයින්ම කලහකාරී ලෙස හැසිරුණු බවත්, ඔවුන් පොලිස් නිලධාරීන් හට පහර දෙනු ඇතැයි බිය වූ බවත් ය. එම මොහොතේ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳ තමා සිතූ බව ඔහු අධිකරණය ඉදිරියේ පවසා තිබේ.

ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතික තරුණයා වෙත පොලිස් බලය යෙදවීමට ප්‍රධාන හේතුව වූයේ ඔහු පිවිසි සාප්පුවක සේවකයින් විසින් ජෝර්ජ් ව්‍යාජ ඩොලර් 20 නෝට්ටුවක් ලබා දුන් බවට චෝදනා කිරීමත් සමඟ ය.

මෙම සිදුවීම වූ දින ජෝර්ජ් ෆ්ලොයිඩ් සමඟ සිටියේ යැයි කියවෙන ෂවන්ඩා හිල් නම් කාන්තාවගෙන් අධිකරණය ඉදිරියේ කළ ප්‍රශ්න කිරීම් වලදී ඈ පවසා සිටියේ මෙම සාප්පුවේ සේවකයින් ජෝර්ජ් හඹා ඒමට ප්‍රථම ජෝර්ජ් බොහොම සාමාන්‍ය, සතුටු සහ විවේකී ස්වරූපයෙන් තම මෝටර් රථයේ අසුන්ගෙන සිටි බවය.

තමාට අවශ්‍ය ස්ථානය වෙත යාමට ජෝර්ජ් තම වාහනය වෙත ගොඩවන ලෙස තමාට ආරාධනා කළ බවත් එසේ වාහනය තුළ සිටින විට තමාට පැමිණි දුරකතන ඇමතුමක් අතරවාරයේ ජෝර්ජ් ට නින්ද ගොස් තිබූ බවත් ඈ සැල කළාය.

ජෝර්ජ් නැවත අවදි වූයේ අදාළ සාප්පුවේ සේවකයින් සහ පොලීසිය පැමිණි මොහොතේ බවත්, එම මොහොතේ එක් පොලිස් නිලධාරියකු ඔහු ගිනි අවි දිගු කිරීම නිසා ජෝර්ජ් බෙහෙවින් බියට පත්වූ බවත් ඈ අධිකරණය ඉදිරියේ හෙළිදරව් කළාය. එමෙන්ම තමා ඝාතනය නොකරන මෙන් පොලිස් නිලධාරීන්ගෙන් අයැද සිටීමට ජෝර්ජ් කටයුතු කළ බවත් ෂවන්ඩා මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

අවස්ථානුකූල සාධාරණත්වය, හෝ ආසන්න තර්ජනයට ප්‍රතිචාර වශයෙන් මෙසේ පොලිස් බලය යෙදවීම සාධාරණ යැයි කුමන නීති තර්ක ගෙනාවද, ඩෙරෙක් නම් පොලිස් නිලධාරියා ජෝර්ජ් පොළවට පෙරලා ඔහුගේ ගෙල මත පා තබා “මට හුස්ම ගන්න බෑ මට හුස්ම ගන්න බෑ” යනුවෙන් ජෝර්ජ් නඟන විලාපය ද කනකට නොගෙන  ගෙල සිර කර ගෙන එක් අතක් තම ඉඟට තබා ගෙන සිටින්නේ යම් ගාම්භීරත්වයක් ද මුහුණේ දල්වා ගෙන බව අදාළ වීඩියෝ දසුන් නැරඹූ කුඩා දරුවකුට පවා වැටහේ.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණය එවකට එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් ද සාධාරණීකරණය කිරීමට කටයුතු කර තිබිණි. මෙම සිදුවීම මිනියාපොලිස් පමණක් නොව සමස්ත එක්සත් ජනපදයේම වර්ගවාදී ප්‍රහාර සහ පොලිස් වියරුවට එරෙහි විරෝධතා සංවිධානය කිරීමට සමත් ව තිබිණි.

මේ අන්දමින් ම ඉකුත් ඉරිදා (11) දින ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට අදාළ නඩුකරය ක්‍රියාත්මක වන ස්ථානයට සැතපුම් 10 පමණ දුරින් පිහිටි මාර්ග බාධකයක් අසළ ඩොන්ටේ රයිට් නම් විසි හැවිරිදි කළු ජාතික තරුණයකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්විය. මෙම අවස්ථාවේදී නතර කළ වාහනයෙන් පිටතට ගත් ඩොන්ටේ හට මාංචු දැමීමට පොලීසිය කටයුතු කිරීමේදී ඩොන්ටේ යළි වාහනය ගොඩවීමට තැත් කිරීම නිසා පොලිස් නිලධාරීන් භාවිතා කරන විදුලි සැර අල්ලන ටේසරය ගනු වෙනුවට ගිනි අවිය ගෙන ක්ෂණිකව ඩොන්ටේට වෙඩි තැබීමට එක් පොලිස් නිලධාරිනියක් කටයුතු කළ අතර, එමඟින් ඔහු ජීවිතක්ෂයට පත්විය. මෙම සිදුවීම අත්වැරදීමක් මත සිදුවූ බව පොලීසිය පවසා තිබුණද, අත්වැරදීම් මත මිනිමැරීම අධිකරණයක් ඉදිරියේ සාධාරණීකරණය කළ හැකි ද යන්න බරපතල ගැටළුවකි.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ඝාතනය හමුවේ විරෝධතා දියත් වූ පරිද්දෙන්ම දැන් මිනසෝටා හි ප්‍රදේශවාසීන් උරණ වී මීට විරෝධය පෑමට වීදි බැස තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි