×

ඩයිනසෝරයන්ගේ යුද්ධ ටැංකිය – අන්කිලෝසෝරස් මැග්නිවෙන්ට්‍රිස් නොහොත් ‘යගදාවා‘

අඩි 33 ක් දිග, ටොන් 4 ක් බර ශාක බුදින යුද්ධ ටැංකියේ කතාව


Ankylosaurus magniventris – අන්කිලෝසෝරස් මැග්නිවෙන්ට්‍රිස් කියන්නෙ ඔහුගෙ විද්‍යාත්මක නාමය.

‘ඩයිසනෝරයන්ගෙ යුද්ධ ටැංකිය‘ යන අන්වර්ථයෙන් හැඳින්වෙන මේ ඩයිනසෝරයා ජීවත් වුණේ අපර ක්‍රිටේසීය යුගයේ. ඒ කියන්නේ අවුරුදු මිලියන 70 සිට මිලියන 66 දක්වා කාලයේ.

‘යගදාවා‘

මේ අතිදැවැන්ත සිව්පාවාගේ තරබාරු මිටි සිරුර, පාෂාණමය ඵලකවලින් ආවරණය වෙලා තිබුණා විතරක් නෙවෙයි, ඒ පාෂාණමය ඵලකවල තියුණු උල් (කණ්ඨක) හටගෙන තිබුණා. ඔහුගෙ වලිගය අග තිබුණු තියුණු උල්, පාෂාණමය තහඩු බවට එකතු වෙලා යගදාවක් හදනවා. ඔහුට ජීවිත තර්ජනයක් මතු වුණු විට එයින් වැර යොදා පහරදෙන්න පුළුවන්. ඒ යගදා පහර සතුරාගේ දුර්වල නිලයකට වැදුණු විට ඌට නැගිටීමක් නැහැ.

මේ අසාමාන්‍ය පහර දීමේ කලාව, අන්කිලෝසෝරසයාට ගොඩබිම විලෝපික දැවැන්තයන් වුණු ටිරානේසෝරස් රෙක්ස් Tyrannosaurus rex වගේ විලෝපිකයන්ගෙන් බේරෙන්නට උපකාර කළා. උන් මේ අපර ක්‍රිටේසීය යුගයේදී උතුරු ඇමරිකාවේ ගොඩබිම්වල ගොදුරු සොයමින් කරක් ගැසූ අයයි. ටී. රෙක්ස්ගේ එක් දුර්වල තැනකට වැදෙන අන්කිලෝසෝරස්ගේ වලිග ප්‍රහාරයකට උන් සහමුලින්ම බිම දමන්න පුළුවන්. මේ බලය නිසා තමයි, උන්ව ඩයිනසෝරයන්ගේ යුද්ධ ටැංකිය යනුවෙන් හැඳින්වුණේ.

ශාක භක්ෂක නපුරාගේ ඥාතියෝ

අන්කිලෝසෝරස් මැග්නිවෙන්ට්‍රිස් වැඩිවශයෙන්ම ශාක භක්ෂකයෙක්. අඩි 33 ක් දිගට වර්ධනය වෙනවා. සමහරවිට බර ටොන් 4 ක් වෙන්නත් පුළුවන්. මාංශ භක්ෂකයන් නොවන නිසාම උන්ට තිබුණේ කුඩා දත්. උන්ගේ නාස්පුඩුත් අසාමාන්‍යයි.

අන්කිලෝසෝරස් වගේම යුද්ධ ටැංකියක පෙනුම තිබෙන තවත් ඩයිනසෝරයෙක් සිටිනවා. ඒ තමයි නොඩෝසෝරස් (nodosaurs). නමුත් වලිගයෙන් පහර දීමේ අසාමාන්‍ය හැකියාව නැති නිසාම නොඩෝසෝරස් අන්කිලෝසෝරස් වගේ නෙවෙයි. 2011 වසරේදී ලෝකයේ මෙතෙක් හමුවූ වැඩි පුරම සංරක්ෂිත තත්වයේ තිබුණු නොඩෝසෝරස් පොසිලය සොයාගත්තා. උන්ගේ සමේ වර්ණක සම්පිණ්ඩනය වී ඇති ආකාරය අනුව හෙළිවුණේ උන් පරිසරයේ පාට අනුව පැහැය වෙනස් කරන්නටත් දක්ෂයන් බවයි. නොඩෝසෝරසයා ආහාරයට ගෙන තිබෙන්නේත් පහත් බිම්වල වැවෙන මීවන වර්ග.

නොඩෝසෝරසයා ශාක පත්‍ර ගස්වලින්වෙන් කර ගන්නට තමන්ගේ උල් හිස භාවිතා කළා. ශාක ආහාර විශාල ප්‍රමාණයක් එකවර ජීර්ණය කර ගත හැකි ආකාරයේ විශාල ආමාශයක් උන්ට තිබුණා.

නොඩෝසෝරසයෙක්

පොසිල දැනුමේ පරිණාමයක්

ඇන්කිලෝසෝරසයා අද වන විට සැලකෙන්නේ වඩාත්ම ජනප්‍රිය ඩයිනසෝරයෙක් විදිහට විතරක් නෙවෙයි, වැඩිපුරම ප්‍රහේලිකාවක් බවට පත් වී තිබෙන ඩයිනසෝරයෙකුත් විදිහටයි. මොකක් හරි හේතුවක් නිසා පොසිල කණින්නන් හට මෙතෙක් හමු වෙලා තියෙන්නේ ඉතාම සීමිත අන්කිලෝසෝරස් පොසිල ප්‍රමාණයක් විතරයි. ඒ නිසා මේ විශේෂයේ වර්ධනය ගැන විද්‍යාඥයන්ට තවත් කාරණා ඉදිරියේදී සොයාගන්නට සිද්ධ වෙනවා. කොහොම වුණත් මෑතකදී සිදුකළ පොසිල කැණීම් සමග උගේ ශරීරයේ හැඩය සහ, උගේ ශරීරය ගනකම් කණ්ඨක (උල් කටු) තට්ටුවකින් ආවරණය වී ඇති බව සොයාගන්නට හැකියාව ලැබුණා.

2017 වසරේදී හමුවූ අන්කිලෝසෝරස් පොසිලයකින් මේ පොසිල දැනුම තවත් පරිණාමය වුණා. එයින් විද්‍යාඥයන් පැහැදිලි කර ගත්තේ උගේ කුඩා දත් සහ නාස්පුඩු, උල් හොම්බේ ඉදිරියේ නොව දෙපස පිහිටා තිබෙන බවයි. විතැන් වූ නාස්පුඩු, උන්ගේ ආහාර වේලේ හෝ ගඳ සුවඳ දැනීමේ රටාවේ පරිණාමය වීමක් නිසා සිදුවූවක් වෙන්නත් පුළුවන්. නමුත් ඩයිනසෝරයේ වඩාත්ම අමුතු සාමාජිකයා සහ ජනප්‍රියම ඩයිනසෝරයා බවට පත් වෙලා තිබෙන මේ අන්කිලෝසොරසයා ගැන දැන් වැඩි උනන්දුවකින් කරුණු සොයා බැලෙනවා.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි