×

මියන්මාරය මිලිටරියේ අණසකට යටත් වෙයි! ප්‍රජාතන්ත්‍රවාදය කන්නද?

එසේ මියන්මාරය හමුදා පාලනයට යටත් වීමෙන් අනතුරු ව හමුදා රූපවාහිනිය මඟින් රට තුළ වසරක කාලයක් පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බව ද වාර්තාවේ.


මියන්මාරය හමුදාවේ පාලනයට යටත් වූ බවට තොරතුරු වාර්තා වේ.

ඒ අවුන් සාන් සූ කී ඇතුළු අනෙකුත් දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි.

එසේ මියන්මාරය හමුදා පාලනයට යටත් වීමෙන් අනතුරු ව හමුදා රූපවාහිනිය මඟින් රට තුළ වසරක කාලයක් පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බව ද වාර්තාවේ.

අනපේක්ෂිත අන්දමින් මෙසේ මියන්මාරය හමුදා පාලනයට නතු වී තිබෙන්නේ විවාදාත්මක මැතිවරණයක් සමඟ රජය සහ හමුදාව අතර හටගත් ඝට්ඨනයන් ගේ ප්‍රතිඵලයක් තුළ ය.

හමුදාව අද (01) දින නිකුත් කළ නිවේදනයකට අනුව, මියන්මාර හමුදාපති මින් අන්ග් හ්ලෙයින්ග් ගේ පාලනයක් යටතේ රට ක්‍රියාත්මක වනු ඇති.

මියන්මාරයේ අගනුවර වන නේ පි ටෝ සහ යැන්ගොන් ප්‍රධාන නගරය තුළ හමුදා භට කාණ්ඩ ගමන් කරන අයුරු මේ වන විට දැක ගත හැකිය.

ඉකුත් නොවැම්බර් මස පැවැත්වූ මියන්මාර මැතිවරණයෙන් අවුන් සාන් සූ කී ප්‍රමුඛ නැෂනල් ලීග් ෆෝ ඩිමොක්‍රසි පක්ෂය ජයග්‍රහණය කර තිබිණි.

එහෙත් මියන්මාර හමුදාව මෙම මැතිවරණ ජයග්‍රහණය වංචනික අන්දමින් ලබා ගන්නා ලද්දක් බවට තර්ක කර තිබිණි.

මියන්මාරයේ පාලන බලය බොහෝ කලක් පැවතියේ හමුදාව යටතේය. එරට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇතිවීම ආරම්භ වූයේ 2011 වර්ෂයේ ය.

මෙසේ මියන්මාර පාලනය හමුදාකරණය වීම ප්‍රභල ලෙසම එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව පැහැදිලිය.

අවුන් සාන් සූ කී මහත්මිය ඇතුළු දේශපාලන නායකයින් හමුදා අත්අඩංගුවට පත්වීම එරට ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන ලද මරු පහරක් බවට වාර්තා වේ.

මේ පිළිබඳ එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව ඇතුළු බොහෝ රාජ්‍යයන් සිය බලවත් අප්‍රසාදය පළකොට තිබේ.

මියන්මාරයේ මිලිටරි ජුන්ටාව කිසිවිටක එහි පාලනයෙන් ගිලිහී නොගිය බවත්, ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට ඇද දමමින් අද දින සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම එය මනාව ඔප්පු කළ බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙයි.

ඉකුත් නොවැම්බර් 08 වන දින පැවැත්වූ මැතිවරණයෙන් සූ කී මහත්මිය ගේ පක්ෂය 83% ක ජයග්‍රහණයක් ලබා ගත් අතර, එය මියන්මාරය 2011 වර්ෂයේ දී හමුදා පාලනයෙන් ඉවත්ව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට පත්වූ දින සිට මේ දක්වා පැවැත්වූ දෙවන මැතිවරණයයි.

එහෙත් එම මැතිවරණ ප්‍රතිඵලය අභියෝගයට ලක්කරමින් එරට හමුදාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරමින් අවධාරණය කරනු ලැබුවේ වංචනික අන්දමින් මැතිවරණය ජයග්‍රහණය කළ බවයි.

අවුන් සාන් සූ කී මහත්මිය මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදයේ හා මානව හිමිකම් පිළිබඳ වීරවරියක් ලෙස සැලකුණු චරිතයකි. තම නිදහස පවා අහිමි කර ගනිමින් මියන්මාරයේ පැවති රෞද්‍ර හමුදා පාලනයට එරෙහිව සටන් වැදුනු කාන්තාවකි.

කෙසේ වෙතත් 2017 වර්ෂයේ දී රැක්හින් ප්‍රාන්තයේ රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව ඉලක්ක කර ගනිමින් හටගත් බිහිසුණු හමුදා ප්‍රහාරය හමුවේ ලක්ෂ සංඛ්‍යාත රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් බංග්ලාදේශයට පළා යාමේ සිදුවීමට අදාළව ඈ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවට විවිධ චෝදනා එල්ල විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි