×

බාබඩෝස් බෑඩ් ගර්ල් -රිහානා, සංගීත ලෝකයේ ලොකුම කෝටිපතිනිය දක්වා

ලොව ධනවත්ම මිනිසුන් වාර්ෂිකව ලැයිස්තුගත කරන ‘ෆෝබ්ස්‘ සඟරාවේ අලුත්ම කලාපයට අනුව, ලෝක සංගීත ක්ෂේත්‍රයේ ලොකුම කෝටිපතිනිය බවට පත් ව සිටින්නේ ජනප්‍රිය ගායිකා රිහානා ය.


33 හැවිරිදි රිහානාගේ ධනය ඇමරිකානු ඩොලර් බිලියන 1.7 කි. ඒ අනුව ඇය සංගීත ලෝකයේ ධනවත්ම චරිතය බවට මෙන්ම විනෝදාස්වාද ක්ෂේත්‍රයේ ලොව දෙවැනියට ධනවත්ම කාන්තාව බවට ද පත් වෙයි. විනෝදාස්වාද හෙවත් එන්ටටේන්මන්ට් ලෝකයේ ඇයට වඩා ධනවත් කාන්තාවක් සිටියි නම් ඒ ඕප්රා වින්ෆ්‍රි පමණි.

බාබඩෝස්වලින් පැමිණි ‘බෑඩ් ගර්ල්‘ ලෙස හැඳින්වෙන රිහානා, පසුගිය වසර 5 තුළ සියල්ලන් මවිත කරවන සාර්ථකත්වයක් ලබා ඇත. 2016 වසරේදී ඇය නිකුත් කළ “Anti” ඇල්බමය බිල්බෝඩ් චාර්ට්ස්වල පුරා සති 63 ක් රැඳී තිබූ අතර, ක්‍රමයෙන් තමන්ගේම ව්‍යාපාරික අධිරාජ්‍යයක් ඇය ගොඩනගා ගන්නේ Fenty Beauty නමින් මේකප් ව්‍යාපාරයක් සහ Savage x Fenty නමින් ඇඟලුම් හා විලාසිතා ජාලයක් ගොඩනංවා ගනිමිනි. සම්ප්‍රදායිකව ලෝකයේ මේකප් සංස්කෘතිය ගොඩනැගී තිබෙන්නේ යුරෝ කේන්ද්‍රීය වටිනාකම් මුල් කර ගනිමිනි. බාබඩෝස් යුවතියක වශයෙන් රිහානාගේ විශේෂත්වය වූයේ සියලුම ජන වර්ගවල, සියලුම ආකාරවල දේහවලට තෝරාගැනීම් කළ හැකි සංකලන රටාවන් ඉදිරිපත් කිරීමයි. මෙය, විප්ලවීය ප්‍ර වේශයක් ලෙස සැලකිණි. මේ අතර Savage x Fenty විලාසිතා ජාලය හරහා ඇය ඇමරිකානු ඩොලර් මිලියන 115 ක අරමුදල් රැස් කිරීමට ද සමත් වී තිබේ.

(Photo by Jerritt Clark/Getty Images for Savage X Fenty Show Vol. 2 Presented by Amazon Prime Video)

ඇගේ මෝස්තර විලාසිතා දැක්මක් 2016 වසරේ නිව්යෝක් විලාසිතා සතියේ දී එළිදැක්විණි.

අති දක්ෂ ගායිකාවක සහ වේදිකාව කළඹන්නියක වන රිහානා, ග්‍රැමී සම්මාන ගණනාවක හිමිකාරියකි. ඇයව තරුවක් බවට පත් කළේ 2005 වසරේ නිකුත් කළ ‘Pon de Replay’ ගීතයයි. එය බිල්බෝඩ් හොට් 100 දක්වා විගස පැමිණියේය.

ස්ටූඩියෝ ඇල්බම්ස් 8 ක් මේ වන විට නිකුත් කර ඇති රිහානා ඩ්‍රේක්, Jay-Z, කන්යේ වෙස්ට්, එමිනෙම්, නිකී මිනාජ් වැනි ඇගේ සමකාලීනයන් සමග මෙන්ම බීට්ස්ල් හි පෝල් මැකාට්නි වැනි ප්‍රවීණයන් සමග ද වේදිකාව හැඩ කර තිබේ.

මානව හිතවාදිනියක් ලෙස

රිහානා සිය ධනස්කන්ධය ගතවූ වසර කිහිපය තුළ මානව හිතවාදී කටයුතු වෙනුවෙන් ද වැය කර තිබීම විශේෂත්වයකි. 2017 වසරේදී ඇය හාවඩ් සරසවියෙන් පිදෙන ‘වසරේ මානව හිතවාදිනිය‘ ත්‍යාගයෙන් පිදුම් ලැබුවාය. ඒ, සිය මව්රට වූ බාබඩෝස් හි පියයුරු පිළිකා මර්දන වැඩසටහනක් සහ ශිෂ්‍යත්ව වැඩසටහනක් දියත් කිරීම වෙනුවෙනි.

2006 වසරේදී  Believe Foundation යනුවෙන් මානවවාදී කටයුතු වෙනුවෙන් රිහානා තමන්ගේම පුණ්‍ය ආයතනයක් පිහිටුවා ගත්තාය. මෙහි මූලික කාර්යය වන්නේ මාරක රෝගවලින් පීඩා විඳිමින් මරණයේ එළිපත්තේ සිටින කුඩා දරුවන්ට සිය ජීවිතයේ වඩාත්ම ආශා කරන දේවල් ලබාදීමයි.

‘‘මම කුඩා වියේදී ටෙලිවිෂනය බලන විට හැම විටම දැක්කේ ලෝකය පුරා කුඩා දරුවන් දුක් විඳින ආකාරයයි. මට හැකියාව ලැබුණු විට ඔවුන් වෙනුවෙන් වැඩ කරන්නට මම ඉටා ගත්තා..‘‘ යනුවෙන් ඇය කියා තිබේ.

ළමා අපයෝජනය, දරු කමට හදාගැනීම, අනාථ දරුවන්, AIDS & HIV, ඇල්සයිමර් රෝගීන්, ඌන වරප්‍රසාදිත තරුණ පරපුර, ඇටමිදුළු සහ අවයව බද්ධය වැනි මාතෘකා රැසක් පුරා ඇගේ මානුෂීය කටයුතු විහිදී යයි. දුප්පත්කම, වහල් බව, මිනිස් වෙළඳාම, විරැකියාව, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ද ඇගේ මාතෘකා අතරේ වේ. නවතම ගෝලීය තත්වය තුළ කෝවිඩ්-19 සහන අරමුදල් සඳහා ද රිහානා, Jay-Z වැනි සෙසු කලාකරුවන් සමග එක්ව විශාල ධන පරිත්‍යාග සිදුකර තිබේ.

ක්‍රිස් බ්‍රවුන් සමග නැවත සමගි වී (2012)

2009 වසරේදී රිහානා කලා ලෝකයේ පුවත් මැව්වේ සිය දීර්ඝ කාලීන පෙම්වතා හා සහකරු වූ R&B පොප් තරුව ක්‍රිස් බ්‍රවුන්ගෙන් පහර කෑම හේතුවෙනි. අත්අඩංගුවට පත් වූ ක්‍රිස් බ්‍රවුන්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සඳහා අධිකරණ නියෝගයක් පවා ලැබුවේය. තමන් සමග සම්බන්ධතාවය ඇරඹීමට පෙර ක්‍රිස් බ්‍රවුන්ගේ සගයෙකු සමග රිහානාගේ පැවති සම්බන්ධතාවක් ගැන කතාවක් දුර දිග යාම නිසා තමන් පහර දුන් බව ක්‍රිස් බ්‍රවුන් කියා තිබේ. ‘‘මට මාව ජරා සතෙක් වගේ දැනෙනවා‘‘ යැයි පසුකලෙක ක්‍රිස් බ්‍රවුන් මේ ගැන කීවේය. රිහානා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ සමාජ ක්‍රියාකාරිනියක් බවට පසුකාලීනව පත්වූවාය. ක්‍රිස් බ්‍රවුන් සමග විවාහ වීමට ඉටාගෙන සිටි ඇය, විවාහයේ සිහිනයට තිත තැබුවාය.

රිහානා තවදුරටත් කලා ලෝකයේ ගොසිප් මවන්නියක් නොවේ. ඇය, එතැනින් ඉදිරියට පියමං කර තිබේ. දැන් ඇය කලා ලෝකයේ අංක එකේ ධනවතියයි.

මේ, යූ ටියුබ් හරහා බිලියන 1.7 ක් දෙනා නැරඹූ රිහානාගේ Diamonds ගීතයි. මේ ගීතය අන්තර්ගත වන්නේ රිහානාගේ 8 වැනි ස්ටූඩියෝ ඇල්බමය වූ, අලෙවි වාර්තා තැබූ ANTI හි ය.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි