×

ලෝකයේ හොඳම හෝටලය ක්‍රිමියාවේ

නිවාඩුවක් ගත කිරීම සඳහා තිබෙන, ලෝකයේ හොඳම හෝටලය ලෙස 2018 World Travel Awards හි පළමු තැන දිනාගැනීමට සමත් වී සිටින්නේ ක්‍රිමියාවේ ම්රියා රිසෝට් ඇන්ඩ් ස්පා හෝටලයයි. මෙය අයත් වන්නේ රුසියාවට ය.


2018 World Travel Awards පසුගියදා පැවැත්වුණු අතර, එහිදී ලෝකයේ හොඳම සංචාරක සන්නාමය බවට පත්වූයේ ද රුසියාවේ එයරොෆ්ලොට් ගුවන් සේවය (Aeroflot airline) වීම විශේෂත්වයකි. මේ අතර, ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය බවට පත් වූයේ ද රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් නගරයයි.

ම්රියා රිසෝට් ඇන්ඩ් ස්පා මේ කාණ්ඩය යටතේ මුල් තැන දිනාගත්තේ ප්‍රථම වතාවට ය. මෙය 2014 වසරේ විවෘත කරන ලද්දකි. එය යාල්ටාවේ සිට කිලෝමීටර 30 ක පමණ දුරින් පිහිටා ඇත. එහි කාමර සහ විලාස් 422 ක් ඇති අතර, වර්ගමීටර 270,000 ක් විශාල ය. එහි අපූර්ව හැඩය ද සංචාරකයන්ගේ නොමද ආකර්ෂණයට හේතු වේ. හෝටලයට යාබදව වයින් ශාස්ත්‍රය උගන්වන පාසලක්, වයින් රෙස්ටොරන්ට් එකක් සහ චීස් කම්හලක් ද ඉදිකර තිබෙන්නේ එම හෝටලයේම හිමිකරුවන් විසිනි. ඒ, මෙම හෝටලයට තිබෙන ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා ය.

© mriyaresort.com
© mriyaresort.com

පසුගිය වසරේ මේ හෝටලයට අමුත්තන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් පැමිණ ඇති අතර, Booking.com වෙබ් අඩවියට අනුව එහි එක් රාත්‍රියක් ගත කිරීම සඳහා එක් අයෙකුට ඩොලර් 230 ක් වැය වේ.

© mriyaresort.com
© mriyaresort.com
© mriyaresort.com
© mriyaresort.com

ක්‍රිමියාව පුටින් විසින් ඈඳා ගැනීමෙන් පසු මෙම හෝටලය ඉදිකර තිබීම ද විශේෂත්වයකි. රුසියාවේ විශාලතම බැංකුව වන ස්පර්බෑන්ක් (Sberbank) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් වැය කර මෙය ඉදිකර තිබේ. එහි පූර්ණ හිමිකාරිත්වය පවතින්නේ ද රුසියානු ස්පර්බෑන්ක් වෙත ය.

ඩුබායි හි ඇට්ලැන්ටිස් පාම් හෝටලය (The Palm), ඩොමිනිකානු සමූහාණ්ඩුවේ කැසා ඩි කැම්පෝ (Casa de Campo), ඉතාලියේ Forte Village Resort සහ ඊජිප්තුවේ Hyatt Regency Sharm El Sheikh Resort මෙහිදී මෙම කාණ්ඩය යටතේ ඉදිරිපෙළ තරග වැදුණේය.

World Travel Awards 1993 වසරේ පටන් ලෝකයේ හොඳම සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතන සඳහා තිබෙන ලොව ප්‍රධාන පෙළේ සම්මාන උළෙලක් වන අතර, එය එක්සත් රාජධානිය පදනම් කරගෙන ක්‍රියාත්මක වන ලෝක සංචාරක හා චාරිකා කවුන්සිලය (World Travel and Tourism Council) විසින් පවත්වනු ලබයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි