×

වෘක රංචුවක් පෑ පෙළහරක්

වෘක රංචුවක් සොබාදම් අම්මාට ආදරය කරන හැටි අපට කියා දුන්නා.


එදා 1995 වසරේ වෘකයන් 15 දෙනෙක් ඇමරිකාවේ යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානයට (Yellowstone National Park) මුදා හරින විට කිසිම කෙනෙක් ප්‍රාතිහාර්යයක් නම් බලාපොරොත්තු වුණේ නැහැ.

මේ වෘකයන්, නියම වෘකයන් විදිහට හැසිරුණා.

යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානයේ සිටි මුවන්ව ඉවක් බවක් නැතිව දඩයම් කරන්න පටන් ගත්තා.

ප්‍රතිඵලය, මුව ගහණය සීඝ්‍රයෙන් අඩු වී යාමයි.

ඒ වගේම මේ වන උයනේ ජීවත් වූ මුව වර්ග, වෘකයන් සැරිසරන ප්‍රදේශවලින් ඈත් වී සිටින්නටත් වග බලා ගත්තා. එයට හේතුව, වෘක ඇසට පෙනෙන්නට සිදුවීම, ඉක්මනින්ම ජීවිතයෙන් සමුගන්නට හේතුවක් බව උන්ට පෙනී යාම නිසයි.

මුවන් නොඑන තැන, උන් නිතර උළා කෑ ළා දම් පාට මල් වර්ග ඇතුළු පැළෑටි ගණනාවක් දළු ලන්න පටන් ගත්තා. නිදහසේ වැවෙන්න, නිදහසේ මල් පිපෙන්න ඒවාට කිසිම බාධාවක් තිබුණේ නැහැ. නිතර පත් සැළෙන ඇස්පෙන් ගස් නිදහසේ වැවෙන්න පටන් ගත්තා. විලෝ තුරු පවා මේ අලුත් වෙනස ආදරයෙන් වැළඳ ගත්තා. අන්න එහෙමයි, හැම දෙයක්ම වේගයෙන් වෙනස් වෙන්න පටන් ගත්තෙ. යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානය පුරාම කහ පාට මල් පිපෙන්න පටන් ගත්තා. ඒ මල් පිපී, පරවෙලා බිමට වැටුණේ පුංචි බෙරි ඵලයක් ඉතිරි කරමින්. හැම මලක්ම බෙරි ගෙඩියක් බවට පත්වෙමින් තිබුණා.

BeautifulNow

BeautifulNow

මේ වෙනසත් එක්ක පරිසරය තවත් ලස්සන කරමින් කුරුළු වර්ග ඇදී එන්නට පටන් ගත්තා. එක එක පාට, එක එක වර්ගවලට අයත් සියොත් කැළක් ක්‍රමයෙන් උයනේ ලැගුම් ගත්තා. හැම තැනම ගස් වැවෙන්න පටන් ගත්ත නිසා තවත් ආගන්තුකයෙක් යන්න එන්න පටන් ගත්තා. ඒ තමයි, බීවරයො. බීවරයො ආයෙමත් දිය කඩිතිවල වේලි බඳින්න පටන් ගත්තා. ගස්වලින් පතිත වෙන දිරායන අතු කැබලිවලින් ඒ අය පෙම් සුව විඳිමින් පාවෙන්න මඩ කඩිති හැදුවේ දිය කඩිති වටා දර කැබලි සිර කිරීමෙන්. ඒක තමයි, බීවරයාගේ පිළිවෙත.

ThoughtCo

ThoughtCo

ගහෙන් ගහට යන කොට්ටෝරුවො පුංචි පුංචි ලී කැබලි කොටමින් බිම දැම්මා. එහෙම ජලාශ මතට වැටෙන ලී කැබලිවලින් බීවරයන් වේලිවල දිය සීරාව නතර වෙන්න මුක්කු ගැහුවා. ඔටර්ස්ලා, එහෙමත් නැතිනම් දියබල්ලොත් හෙමෙන් හෙමෙන් පෙනෙන්නට පටන් ගත්තා. සිද්ධ වෙන දේ මොකක්ද කියල බලල යන්න හික්මීයො එන්න පටන් ගත්තා. හික් මීයො එන බව දැනගෙන ජලචර උරග විශේෂ ඒ වෙතට ඇදුණේ හික් මීයන් උන්ගේ රස බොජුනක් නිසයි.

Bison and her calf in Yellowstone National Park (David Grubbs/Billings Gazette.

Bison and her calf in Yellowstone National Park (David Grubbs/Billings Gazette.

වෘකයන්ට යහමින් ආහාර තිබුණා. කොයෝටයන්, එහෙමත් නැතිනම් කැලෑ බල්ලන් වගේ සත්තුන්වත් වෘකයන් දිගටම දඩයම් කළා. හාවොයි මීයොයි බලන් ඉද්දි වැඩි වුණා. අහිංසක ලෝම පොදි පොරවගත්ත හා පවුලේ උදවිය පවුල් පිටින් පෙනෙන්නට පටන් ගත්තා. ඒ නිසාම උකුස්සො ආවා. වීසල්ස්ලා ආවා. රතු හිවල්ලුත් ආවා. ඇමරිකාවේ ජාතික පක්ෂියා වන, වඳවී යමින් සිටින තට්ට රාජාලීන් (බෝල්ඩ් ඊගල්) පක්ෂීන් පවා කවදාවත් නැතිව අතරින් පතර පෙනෙන්නට පටන් ගත්තා.

Best Tourism best destinations

Best Tourism best destinations

හැබැයි අර වෘක රංචුව පෑව ලොකුම පෙළහර මේ කිසිම දෙයක් නෙවෙයි.

වෘකයන් විසින් ගංගාවන්ගේ හැසිරීම වෙනස් කළා! ගං ඉවුරු හොඳින් ශක්තිමත් වුණා. හංසයන් පිරුණු දිය කඩිති වැඩි වැඩියෙන් ඇති වුණා. ගංගාවන් සොබාදහම විසින් තමන්ට පැවරූ රාජකාරි වෙත කේන්ද්‍රගත වුණා. ගං ඉවුරු ඛාදනයට ලක් කරමින් සෝදා පාළු කරමින් වියරුවෙන් වගේ ඇදී යනවා වෙනුවට හැල්මේ ගලන්න පටන් ගත්තා. විලෝපිතයන් සහ ගොදුර අතර හොඳ සමතුලිතතාවයක් ඇති කළා. සිද්ධ වෙන කිසිම දෙයක් ගැන කිසිම නිනව්වක් කිසිම කෙනෙකුට තිබුණෙ නෑ. ඉතින් හැම දේම සොබාදහමට ඕනෑ හැටියට සිද්ධවෙමින් තිබුණා. ස්වභාවික පරිසරයේ අලුත් ආහාර දාම නිර්මාණය වුණා. ඒ ආහාර දාම එකිනෙක පැටලීමෙන් අලුත් ආහාර ජාලත් නිර්මාණය වුණා. මල්වලට වෙනදාට වඩා පිපෙන්නට හිතුණා. හැම තැනම පැළෑටි තිබුණු නිසාත් ඒවා තමන්ගේම චක්කරයකට අනුව පස මත වැඩෙමින් තිබුණු නිසාත් පාංශු ඛාදනයට ඉඩක් තිබුණේ නැහැ.

 

ඒ කියන්නෙ, වෘකයන් යෙලෝස්ටෝන් පරිසර පද්ධතිය ක්‍රමවත් කළා විතරක් නෙවෙයි, මේ ජාතික වනයේ භූගෝලීය හැඩයත් වෙනස් කළා. ශරත්, ගිම්හාන, වස්සාන, ශීත යනාදී වශයෙන් සෘතු පිළිවෙළට ගෙවී ගියා. දැන් මේ වනපෙතට අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා. සොබාදම් දිනිතිය හරිම පුදුම කෙනෙක්. ඇය වෙනස්කම් අවශෝෂණය කර ගන්නවා. ඒවාට හැඩ ගැහෙනවා. අලුත් විදිහට හැම දෙයක්ම පාලනය කරනවා. ඇය කොහොම හැසිරේවිද කියා කාටවත් කලින් කියන්න බෑ. නමුත් ඇය හොඳම දේ කරනවා. ඒ නිසා ඇයට ගරු කරන්න. යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානයේ වෘක රංචුව අපට කියා දෙන පාඩම එයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි