×

මේ දවස්වල You Tube වසා පැතිරගෙන යන 40cean ඇඩ් එක මොකක්ද?

මේ දවස්වල ඔබ වීඩියෝ බලන්න යූ ටියුබ් ගියාම, අදාළ වීඩියෝ එකට කලින් ෆෝඕෂන් (40cean) ඇඩ් එකක් බොහෝ විට ප්ලේ වෙනව දැකල ඇති.


අපට අවශ්‍ය වීඩියෝව නරඹන්න කලින් අපි අනිවාර්යයෙන්ම මේ වගේ ඇඩ් නරඹන්නම ඕනෙ. ඒක සමහරවිට වදයක් විදිහට දැනෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ විදිහට ප්ලේ වෙන යූ ටියුබ් ඇඩ්වර්ටීස්ට්ස්මන්ට්ස් අතරේ මේ ෆෝර්ඕෂන් ඇඩ් එක විශේෂ තැනක් ගන්නේ ඔවුන් පරිසරය වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කරමින් සිටිනා බව පෙනෙන නිසයි. ඒ නිසාම මේ ගැන ටිකක් හොයල බලන්න අපි හිතුවා.

Engineering For Change

Engineering For Change

සාගරය පිරිසිදු කිරීම තේමා කරගත් මේ සංවිධානය ඇමරිකාවේ ෆ්ලොරිඩා ජනපදය මුල්කරගෙන ක්‍රියාත්මක වන්නක්. එය ආරම්භ කරල ඒ හැටි කාලයක් ගත වෙලා නෑ. 2017 වසර තමයි, ඔවුන් වැඩ පටන් ගත් අවුරුද්ද විදිහට සඳහන් වෙන්නෙ. නමුත් මේ අවුරුද්දක කාලසීමාව ඇතුළත ඔවුන් සාගරයෙන් ඝන අපද්‍රව්‍ය ටොන් 1 ක් ඉවත් කරන්නට සමත් වෙලා.

(L to R) Alex Schulze and Andrew Cooper owners of 4Ocean, a company that actively removes trash from the ocean.

ඇලෙක්ස් ෂූල් (Alex Schulze) සහ ඇන්ඩෘෘ කූපර් (Andrew Cooper) කියන තරුණයන් දෙදෙනා එකතු වෙලා පටන් ගත් වැඩේ අද වන විට ලෝක මට්ටමින් කතා බහට ලක් වන සමාජ ව්‍යාපාරයක් බවට පත් වී තිබෙනවා. NBC වගේ මාධ්‍යවලත් මේ වනවිට ඔවුන් ගැන කතා කරනවා.

තමන්ට සාගරය පිරිසිදු කිරීමට සක්‍රියව මැදිහත් වීම ගැන මේ අදහස මුලින්ම ඇතිවුණේ ඉන්දුනීසියාවේ සුන්දර බාලි දූපත්වල සංචාරයක නිරත වෙලා ඉන්න අතරෙදි බව ඔවුන් කියනවා. ඒ හැරුණාම ඔවුන් කුඩා කාලයේ ඉඳන් සාගරයට පෙම් බැඳි අය.

අපි නොහිතුවාට, මේ මහ පොළොව මත එකතු වෙන ඝන අපද්‍රව්‍ය අවසානයේ මහ මුහුදට හෝදාගෙන යනවා. ඒවා නිසා සාගර පරිසර පද්ධති අකර්මන්‍ය වෙනවා. දූෂණයට ලක් වෙනවා. සාගර දූෂණය නිසා සොබාදහමේ සමතුලිතතාවයට ඇතිවන බලපෑම සරල නැහැ. එය ඉතාම සංකීර්ණයි. මත්ස්‍යයන් විසින් කරමල් ඔස්සේ සිදුකරන ශ්වසනයට බාධා කිරීමේ පටන්, මහා පරිමාණ පරිසර විනාශ රැසකට මෙය හේතු වෙන්න පුළුවන්.

‘‘අපි කතා කර කර හිටියට වැඩක් නෑ. අපි වැඩ කරන්න ඕනෙ..“ ඔවුන් මාධ්‍ය සාකච්ඡාවකදී එහෙම කියනවා.

ඉතින් ෆෝ ඕෂන්, එහෙමත් නැතිනම් ‘සාගරය සඳහා‘ කියන තේරුම ඇති මේ කණ්ඩායමේ අද වනවිට තරුණ තරුණියන් රැසක් සිටිනවා. ඔවුන් අති නවීන ක්‍රම භාවිතා කරමින් සාගරයට මිනිසා විසින් නොයෙක් ආකාරවලින් එකතු කර තිබෙන කැළි කසළ එක්රැස් කරනවා.

ඉතින් තරුණ තරුණියන් කණ්ඩායමක් එකතු වෙලා පටන් ගත්ත මේ වැඩේ අද වන විට සාගරය පිරිසිදු කිරීමේ මහා පරිමාණ, ගෝලීය ව්‍යාපාරයක් බවට පත්වෙලා.

අද වන විට ඔවුන් විසින් සාගරයෙන් කැළි කසළ රාත්තල් 2,219,300කට වඩා ඉවත් කර තිබෙන බව ඔවුන්ගේ වෙබ් අඩවිය වන https://4ocean.com/ ප්‍රකාශ කරනවා.

ඒත් ඔවුන්ට මේකෙන් ලැබෙන ප්‍රතිලාභය මොකක්ද? එහෙමත් නැතිනම් මේ සංවිධානයේ පැවැත්මට ඔවුන් කරන වැඩය බලපාන්නෙ කොහොමද?

මේකට අපූරු උත්තරයක් ඔවුන් ළඟ තිබෙනවා.

ඔවුන් සාගරයෙන් දැල් දමා අල්ලා ගන්නා ඝන අපද්‍රව්‍යවලින් අති බහුතරය ප්ලාස්ටික්. ප්ලාස්ටික් බෝතල් ඒ අතරින් ප්‍රධානයි. සමහර ජන මාධ්‍ය ඔවුන් කරන කාර්යය, ‘ෆිෂින් ෆෝ ප්ලාස්ටික්‘ හෙවත් ‘ප්ලාස්ටික් බිලී බෑම‘ කියලත් හඳුන්වන්නේ මේ නිසයි. ඒකට හේතුව, ධීවරයන් සාගරයෙන් මාළු අල්ලනවා වගේ ඔවුන් සාගරයෙන් ප්ලාස්ටික් ගොඩට ගන්නවා. ඒ ප්ලාස්ටික් ඇතුළු කැළි කසළ සියල්ල ඔවුන් ප්‍රතිචක්‍රීකරණය කරනවා. ඒවායින් ඊට පස්සෙ පරිසරයට කරදරයක් නැති, නැවත නැවතත් පාවිච්චි කළ හැකි බ්‍රේස්ලට්, පර්ස්, වතුර බෝතල් සහ අත්වැසුම් යනාදිය හදනවා. ඒවා මේ වන විට Amazon.com හරහාත් මේ නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් කම තිබෙනවා.

‘සාගරයෙන් ඉවත් කරන එක් ප්ලාස්ටික් රාත්තලකින් ———- එක බ්‍රේස්ලට් එකක්‘‘

ඒක තමයි, ඔවුන් වාණිජමය විදිහට ප්‍රමෝට් කරන පාඨය.

4Ocean

4Ocean

අද වන විට මේ තරුණ කණ්ඩායමට සාමාජිකයන් 36 දෙනෙක් ඉන්නවා. ඔවුන්ටම කියා ෆෝඕෂන් කසළ එක්රැස් කිරීමේ සාගර යාත්‍රා 5 ක් තිබෙනවා. සතියේ දින 7 ම ඔවුන් සාගරය පිරිසිදු කරනවා. ඒ වගේම ඔවුන් ඉතාම සංවිධානාත්මක විදිහට තමන් කරන පරිසර හිතකාමී වැඩේට ගෝලීය ප්‍රචාරයකුත් ලබාදෙනවා.

මේ ඔවුන් අපට ලබාදෙන තවත් එක් පණිවුඩයක්.

‘‘මේ ලෝකයේ ප්‍රතිචක්‍රීකරණය කරන්නේ ප්ලාස්ටික් බෝතල් 5කින් 1 ක් පමණයි. 2008 අවුරුද්දේදී ලෝකය, මිහිතලය පුරා 190 වතාවත් අසුරන්නට පුළුවන් ප්‍රමාණයට සෑහෙන්න ප්ලාස්ටික් වතුර බෝතල් නිෂ්පාදනය කළා. නමුත් මේ ලෝකයට බෝතල් කළ පානීය ජලයේ අවශ්‍යතාවය ඉතා දැවැන්තයි. උදාහරණයක් විදිහට ඇමරිකානුවන්ට අවුරුද්දකට අවශ්‍ය කරන ප්ලාස්ටික් වතුර බෝතල් ප්‍රමාණය නිෂ්පාදනය කරන්නට නම් බොර තෙල් මිලියන 17 ක් වැය වෙනවා.

ප්ලාස්ටික් වතුර බෝතලයක් නිෂ්පාදනය කරන්නට, එය පුරවන්නට අවශ්‍ය කරන වතුර ප්‍රමාණය වගේ තුන් ගුණයක් වැය වෙනවා. 2006 අවුරුද්දේදී පමණක්, බෝතල් කළ පානීය (ප්ලාස්ටික්) ජලය කර්මාන්තය හේතුවෙන් මේ පරිසරයට කාබන් ඩයොක්සයිඩ් ටොන් මිලියන 2.5 ක් එකතු වුණා.

ඒ නිසා ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතයෙන් ඉවත් වෙන්න. නැවත නැවතත් භාවිතාකළ හැකි වතුර බෝතල්වලට හුරු වෙන්න.

ඉතින් යූ ටියුබ් හරහා ඔවුන් ඉතාම වටිනා පාරිසරික පණිවුඩයක් ලොව පුරා බෙදා දෙමින් සිටිනවා. මේක තමයි, මේ දවස්වල ලංකාවේ පවා, යූ ටියුබ් බලන්න ගියාම, අවශ්‍ය වීඩියෝවට කලින් ෆෝඕෂන් ඇඩ් එකක් දිස්වීමේ පසුබිම් කතාව.

[embedyt] https://www.youtube.com/watch?v=x-Ykz9eFB9U[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි