×

උසම උස ජිරාෆ් ගැන නොදන්නා කථන්දර

ජිරාෆ් ගේ ඇස්වල හොඳ වර්ණ දෘෂ්ටියක් තිබේ. ඒ නිසා අනෙක් සතුන්ට ද අනතුරු සංඥා සපයන්නට ජිරාෆ්ට හැකියාව තිබේ


ලෝකයේ උසම සත්වයා වන ජිරාෆ් අප‍්‍රිකාවේ සැවානා වනාන්තරවල වැඩි වශයෙන් ජීවත් වේ. ජිරාෆ් කැමෙලාපාඩලිස්  (GIRAFFA CAMELOPARDALIS)  නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වා දෙන ජිරාෆ් අයත් උප විශේෂ කීපයකි. ඒ අතර රෙටිකියුලෙටඩ්(RETICULATED), නුබින් (NUBIN), මසායි  (MASAI), රොත් වයිල්ඩ්  (ROTH SCHILD), සැම්බින් (ZAMBIN), කේප්(CAPE) යන වර්ග හඳුන්වා දිය හැක. ලොව උසම සත්වයා ජිරාෆ්ය. සාමාන්‍යයෙන් ජිරාෆ් ගේ උස අඩි පහළොවේ සිට දහ අට දක්වාය. ජිරාෆ් පිරිමි සතෙකුගේ බර රාත්තල් 2600 සිට 3000 දක්වා වේ. ගැහැණු සත්වයා බර රාත්තල් 2000 ත් 2500 ත් පමණ වේ.

කාටත් නැති විදිහේ දිගම දිග බෙල්ල

ජිරාෆ් ගේ බෙල්ල ගසක අත්තක කෙළවරට දිගය. හිස ඔටුවාගේ හිසට තරමක් සමාන වේ. ජිරාෆ්ට අඟල් දෙකේ සිට දොළහ දක්වා දිග අං තිබේ. මේ එක් එක් අං මොල්ලි හමෙන් සහ රෝම වලින් ආවරණය වී තිබේ. ජිරාෆ් ගේ සිරුර හැඩ ගැසී ඇත්තේ අසාමාන්‍ය ප‍්‍රමාණයකිනි. මී හරකෙකු තරමට හුස්ම ගන්නා ජිරාෆ් වාතය තුන් වතාවක් ස්වසනාලයේ හා දිග බෙල්ලේ පුරවා ගනී. මිනිස් හදවතට වඩා පස් ගුණයක් විශාල ජිරාෆ් ගේ හදවතේ හද ගැස්මේ වේගය විනාඩියට එකසිය පනස් වාරයක් වේ. ජිරාෆ්ට විශේෂිත යමක් ග‍්‍රහණය කර ගැනීමට හැකි දිග දිවක් ඇත. ජිරාෆ් දිග දිව උපයෝගී කර ගෙන ඇකේෂියා කොළ කඩාගෙන කයි. ජලය පානය කිරීමේ දී සිරුරේ ස්වභාවය අනුව ජිරාෆ්ගේ ඉදිරිපස කකුල් දෙක තරමක් මෑත්කර ගෙල ඉදිරිපසට යොමු කළ යුතුව ඇත. මෙවැනි අවස්ථාවල දී හිසට රුධිරය ගලනය වැඩිවීම වැළැක්වීම සඳහා විශේෂිතව ගත යුතු මෘදු පටක විශේෂයක් ජිරාෆ් ගේ ගෙල ප‍්‍රදේශයේ දක්නට ඇත.

හුරුබුහුටි දෑස

ජිරාෆ්ට කකුල් සහ ගෙලෙහි සියලු චලනයන් හරියාකාරව හසුරුවා ගැනීමට ශක්තියක් ඇත. ජිරාෆ් ට හොඳින් ශබ්ද කළ නොහැක්කේ ආශ්වාස කළ වාතය සෑහෙන දුරක් ස්වාස නාලය වෙතට ගමන් කළ යුතු බැවිනි. ජිරාෆ්ට ඉතා හොඳ පෙනීමේ ශක්තියක් ඇත. එනිසා සතුරු ප‍්‍රහාරයන් වළකා ගැනීමට පහසුය.

වළිගය, දත් සහ දිගම දිග ග්‍රීවය

ජිරාෆ් ගේ වලිගය බෙල්ල සමබරව තබා ගැනීමට පහසු කරයි.හපා වමාරා කන සත්වයෙක් ලෙස ජිරාෆ් හඳුන්වා දිය හැක. එනිසා ජිරාෆ් රොමන්ථකයෙක් ලෙස සැලකේ. හැපීමට ඇත්තේ යටි හක්කේ දත් පමණි. මේ යටි හක්කේ ඇති ලොකු දත් වලින් අතු රිකිලි පොඩි කෑලි වලට කපා ගැනීමට උපකාරී වේ. හක්ක දෙපැත්තේ ඇති ලොකු දත් ආහාර අඹරා පොඩිකර ගැනීමට ද උපකාරී වේ.ජිරාෆ්ට උදර හතරක් ඇත. හපන ලද ආහාර උදර හතරෙන් පළමු උදරයට යන විටම දිරවීමට පටන් ගනී. දෙවනි උදරයේ දී බාගයට දිරවූ ආහාර නැවතත් වමාරා නැවත නැවතත් හපන්නට ජිරාෆ්ට හැකියාව තිබේ. මෙසේ වමාරා ආහාර හපමින් දිනකට පැය තුනක් හතරක් ගත කිරීමට ජිරාෆ් කැමතිය. ජිරාෆ්ට අඟල් දහ අටක් දිග දිවක් තිබේ. දිව දම් පාටය. රළු ගොරෝසු හමකින් දිව ආවරණය වී තිබේ. ඒ නිසා කටු සහිත ආහාර ගැනීමේ දී ජිරාෆ්ට අපහසුවක් දැනෙන්නේ නැත.ජිරාෆ් ගේ ඇති වඩාත් දිගු බෙල්ල තියුණු ඇස් හේතු කොට ගෙන සතුරන්ව සැතපුමක (කි. මී. 1.6) ඈතින් සිටිය ද හොඳින් වටහා ගත හැකිය.

ජිරාෆ් ගේ ඇස්වල හොඳ වර්ණ දෘෂ්ටියක් තිබේ. ඒ නිසා අනෙක් සතුන්ට ද අනතුරු සංඥා සපයන්නට ජිරාෆ්ට හැකියාව තිබේ. සීබ‍්‍රා වැනි බොහෝ තවත් උලාකන සතුන් ජිරාෆ් අසලින් සිට ආහාර ගන්නේ මේ නිසාය.ජිරාෆ් ශබ්ද කරන බව ඔබ ඇතැම් විට නොදන්නවා ඇති. නමුත් ජිරාෆ්ට ශබ්ද කළ හැකි හඬවල් කීපයක් තිබේ. ජිරාෆ් තරුණයෝ තනිව සිටින විට බැටළු හඬක් නගති. බඩගින්න හා තරහා හැඟවීමට ජිරාෆ් උගුරෙන් කෙටි ශබ්දයක් කරන්නේය. ජිරාෆයන් ගේ ආහාර ගැනීම අනුව 85% ක් ම ගස්වල දලු කොළ ආදියයි. වෙනත් ආහාරයන්ට ඇතුළත් වන්නේ පඳුරු වැල්, ගස් පොතු ඇට සහිත කරල් සහ පලතුරුය. වැඩිහිටි ජිරාෆ් කෙනෙක් දිනකට රාත්තල් හතළිහක් පමණ දලු කොළ කති. ගසක දලු කොළ කා දැමීමෙන් පසුව ගස්වල පෙනුම උයන්පල්ලෙකු කපා දමා ඇති පරිද්දෙන් දිස් වේ.

සතුරු උවදුරුජිරාෆ් පැටවුන් බොහෝ විට කොටියන්, කිඹුලන්, හයිනන් සහ පිඹුරන් වැනි සතුන්ගේ ගොදුරු බවට පත් වේ. ශක්තිමත් ජිරාෆ්ලා දඩයම් කරන්නේ සිංහයායි. ඒ අනුව සිංහයා ජිරාෆ් ගේ භයානකම හතුරායි. බොහෝ විට දිය පානයට පැමිණි අවස්ථාවල දී ජිරාෆ් සතුරන්ට ගොදුරු වේ. ජිරාෆ් ට පහතට නැමී දිය බීමට අපහසුය. එනිසාම ජිරාෆ් හිස පහත් කිරීමට පෙර ඉදිරි පාද නැමිය යුතුය. වතුර වළකට ළගාවීමට නම් දණහිස ද නැමිය යුතුය. එහි දීි සෑම විනාඩියකට හෝ දෙකකට වරක් හිස ඔසවා බලන්නේ තමාට සිදුවන අනතුර පරීක්ෂා කිරීමටයි. මුල් වතාවට අපි ජිරාෆ් දුටු විටක නම් අපේ සිතට එන්නේ ජිරාෆ් හෙමින් සීරුවේ ගමන් ගන්නා සතෙකු ලෙසිනි. නමුත් ජිරාෆ් එසේ නොවේ. මේ අපූරු සත්වයාට කෙටි දුරක් අශ්වයෙකුට වඩා වේගයෙන් දුව යා හැකිය. මොවුන්ට පඳුරු, වැටවල් උඩින් පහසුවෙන් පැන යාමට පුළුවන. ජිරාෆ් දෙනක් පැටියෙක් බිහි කිරීමට මාස පහළොවක් පමණ තම දරු ගැබ කුස තුළ දරාගෙන සිටින්නිය. පැටියා බිහි කරන මොහොතේ දී ජිරාෆ් රංචුවක හය දෙනෙක් පමණ ජිරාෆ් දෙනට ආරක්ෂාව සපයති. ජිරාෆ් පැටියෙකු ඉපදෙන විට හිස පළමුව මව් කුසින් එළියට පැමිණ බිමට වැටේ. ඒ සමගින් ම අඩි පහක් පමණ දිග මවගේ පෙකනි වැලට සම්බන්ධ රැහැන්් ද කඩා වැටේ. මේ කම්පනයත් සමගින් අලුත උපන් පැටියා හුස්ම ගන්නට පටන් ගනී. ජිරාෆ් පැටියෙක් උපදින විට අඩි හයක් උසකින් යුක්තය.

රාතී‍්‍ර කාලයේ දී ජිරාෆ් දෙන වැතිරී විවේක ගනියි. එවිට පැටියා මවගේ ඇකයේ හිස තබා හොඳින් නිදා ගනියි. මෙවැනි අවස්ථාවල දී බොහෝ විට හයිනන් ජිරාෆ් පැටවුන් ගොදුරු කර ගැනීමට තැත් කරති. නමුත් පිරිමි ජිරාෆ් ගේ ප‍්‍රතිවාදී සටන් නිසා බොහෝ විට හයිනාවෝ පසු බසිති. ක්ෂීරපායී සතුන් අතරින් වැඩිම රුධිර පීඩනයක් ඇති සත්වයා ලෙස ජිරාෆ් හඳුන්වා දිය හැක. ජිරාෆ් ගේ හිස පිහිටා ඇත්තේ හෘදයට මීටර් තුනක් ඉහළින්ය. මේ නිසා මොළයට ලේ සැපයීමට හෘදයට වැඩි කාර්ය භාරයක් පැවරී ඇත. හෘදය ලොකුවීම හෘදයේ ධමනිවල ඝනත්වය වැඩිවීම ආදී වෙනස්කම් සිදු වී ඇත්තේ එම කාර්යයට උපකාරී වීම පිණිසය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ජිරාෆ් ගේ සිරුරේ අධික රුධිර පීඩනයක් පවතී. මේ වන විට ජිරාෆයෝ වඳවී යන සතුන් අතරට එකතුවී හමාරය. වනාන්තර වල බොහෝවිට ජිරාෆයන් එකතුවී හමාරය. වනාන්තර වල බොහෝ විට ජිරාෆයන් මරා මස් ගනිති. හම් පදම් කරති. ජිරාෆ්ගේ කළු වලිගය උපයෝගී කරගෙන විවිධ විසිතුරු භාණ්ඩ තනති. ජිරාෆ්ගේ සමට වැඩි ඉල්ලුමක් වෙළදපළේ පවතී. මේ හේතුව නිසා දඩයම් කරුවෝ මේ සොඳුරු සත්වයා මරා දමති. ලෝකයේ බොහෝ වනාත්තර වල අතීතයේ දී ජිරාෆයන් විශාල වශයෙන් දැක ගත හැකි වීය. නමුත් මේ වන විට ලංකාවේ නම් ජිරාෆ් දැක ගත හැක්කේ සත්ව උද්‍යානවල පමණි. මීට අමතරව ලෝකයේ කෙන්යාව, ටැස්මේනියාව, සෝමාලියාව. හා දකුණු අප‍්‍රිකාව වැනි අටවල පමණක් මේ වන විට ජිරාෆයන් සීමාවී සිටී. ජිරාෆ් හීලෑ කළ හැකි සතෙකු මෙන් පෙණුනත් එය එතරම් පහසු කරුණක් නොවේ. සංචාරකයන්ගේ සිත් සතුටු කරන අපූරු ප‍්‍රියමනාප සත්වයෙක් ලෙස ජිරාෆ් හඳුන්වා දිය හැක. ආර්ථික වාසි සඳහාත් විනෝද කී‍්‍රඩා සඳහාත් ජිරාෆ් මරා දැමීම මිනිස් කමට නම් නොහොබිනා කි‍්‍රයාවකි. වනාන්තරයේ අසිරිය මවන මේ අපූරු සුන්දර සත්වයා වඳවී යාමට ඉඩ නොදී ආරක්ෂා කිරීම අපේ යුතුකමයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි