×

ඇමරිකාවේ පරිවර්තන ප්‍රතිකර්ම තහනම් කරන 17 වන ප්‍රාන්තය බවට මේන් පත්වෙයි

පුද්ගලයකුගේ ලිංගිකත්වය වෙනස් කළ හැක්කේ යැයි කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව සිදුකරන පරිවර්තන ප්‍රතිකර්ම නොහොත් කන්වර්ෂන් තෙරපි ඇමරිකාවේ මේන් ප්‍රාන්තයේ ද තහනම් කෙරේ.


පුද්ගලයකුගේ ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව වෙන මඟකට යොමු කළ හැක්කේ යැයි ඇතැම් පුද්ගලයින් විසින් කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව යොදාගන්නා පරිවර්තන ප්‍රතිකර්ම (conversion therapy) ඇමරිකාවේ මේන් ප්‍රාන්තයේ තහනම් කරන ලදී.

මේ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ මෙම සාවද්‍ය පරිවර්තන ප්‍රතිකර්ම ක්‍රමවේදය තහනම් කරන 17 වන ප්‍රාන්තය බවට මේන් පත්වෙයි.

මේන් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ජැනට් මිල්ස් පරිවර්තන ප්‍රතිකර්ම තහනම් කිරීම සඳහා ඉදිරිපත් වූ පනතක් සඳහා තම සහය පළ කරමින් බදාදා (29) දින එය නීතියක් බවට පත් කළාය.  

LD 1025 අංක දරණ එම පනත, මැයි මස මුල් කාලයේ මේන් ප්‍රාන්ත පාර්ලිමේන්තුව හා සෙනට් සභාව වෙත ඉදිරිපත් කළ අතර, ඒ සඳහා අවශ්‍ය ද්විපාර්ශ්වික සහයෝගය මැයි මස 29 වන දින ආණ්ඩුකාර මිල්ස් වෙත ඉදිරිපත් කිරීමට ප්‍රථමව ලැබී තිබේ.

විෂමරිසිභාවයෙන් හෝ සිස්-සමාජභාවයෙන් පරිබාහිර අනන්‍යතාවක් පැවතීම මානසික රෝගයක් නොවන බවත්, එය සාමාන්‍ය මානව ලිංගිකත්වයේ ලක්ෂණයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සියළු ජාත්‍යන්තර ප්‍රජාව අද වන විට පිළිගෙන තිබේ.  පරිවර්තන ප්‍රතිකර්ම ක්‍රමවේදය පුද්ගලයකුට ඉතාම හානිදායක බවත්, “සාර්ථක” ප්‍රතිඵල ගෙන නොදෙන බවත්, කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති ක්‍රමවේදයක් බවත් විශේෂඥ මනෝවෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, ඒ පසුපස බොහෝවිට පවතින්නේ ආගමික, සංස්කෘතික හෝ දේශපාලන බලපැවැත්ම බවයි.

ඉහත පනත සම්මත කිරීම සඳහා නීතීඥයන් කිහිප දෙනෙකුම අත්සන් තබන ලදී.

මේන් ප්‍රාන්තයට අමතරව මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 16 කම පරිවර්තන ප්‍රතිකර්ම තහනම් කොට තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කිරීමේන් මේන් ආණ්ඩුකාර මිල්ස් ප්‍රකාශ කොට සිටියේ, “අද දින මම පරිවර්තන ප්‍රතිකර්ම නම් පුළුල් අපකීර්තියකට පත්වූ මනෝචිකිත්සක ක්‍රමය මේන් ප්‍රාන්තය තුළ තහනම් කිරීමට පනතක් සම්මත කරනු ලැබුවෙමි, මෙමඟින් තරුණ LGBTQ ප්‍රජාවට අප ලබාදෙන නිසැක පණිවිඩය නම්, අප ඔබ සමඟ සිටිනවා, ඔබට සහයෝගය ලබා දෙනවා, ඔබට ඔබ වීමට ඇති අයිතිය අප සැමවිටම ආරක්ෂා කරනවා යන්නයි.”



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි