ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ජෙරාඩ් පොලිස් සම්මත කරන ලද පනතක් අනුව එම ප්‍රාන්තයේ පුද්ගලයකුගේ ලිංගිකත්වය වෙනස්කළ හැක්කේ යැයි සාවද්‍ය චිකිත්සා පුහුණු වන පරිවර්තන ප්‍රතිකර්ම තහනම් කරන ලදී.
මෙමඟින් ඇමරිකා එක්සත් ජනපදයේ පරිවර්තන ප්‍රතිකර්ම තහනම් කෙරෙන 18 වන ප්‍රාන්තය බවට කොලරාඩෝ පත් වෙයි.
මීට දින කිහිපයකට පෙර මේන් ප්‍රාන්තයේ ද පරිවර්තන ප්‍රතිකර්ම තහනම් කරන පනතක් එම ප්‍රාන්තයේ ආණ්ඩුකාර ජැනට් මිල්ස් විසින් සම්මත කරන ලදී.
ආණ්ඩුකාර පොලිස් සමරිසියකු බව ප්‍රසිද්ධියේ පිළිගන්නා අතර, තමා සම්මත කළ පනත සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ LGBT ප්‍රජා අභිමානය සමරන ජූනි මාසය තුළදීම මෙවන් පනතක් සම්මත වීම පිළිබඳ තමා අතිශය සතුටට පත්වන බවත්, මෙවන් සාවද්‍ය හා අමානුෂික චික්ත්සා මෙලොවින් තුරන් කළ යුතු බවත් ය.
පසුගිය වසර කිහිපය පුරාම කොලරාඩෝ ප්‍රාන්තයේ මහජන සමුළුවේ බහුතර බලය හිමි ඩොනල්ඩ් ට්‍රම්ප් මූලික රිපබ්ලිකන් පක්ෂය මෙවන් පනතක් සම්මත කර ගැනීම නොසලකා හැර තිබූ අතර, අවස්ථා ගණනාවකදීම මෙවන් පනතක් සම්මත කර ගැනීමට ඩිමොක්රටික් පක්ෂය දැරූ උත්සහය මේ වන විට සාර්ථක වී ඇත.
මෙම පනතට අනුව, මනෝසෞඛ්‍ය සැපයුම් පුද්ගලයන් හා ආයතන වලට වසර 18 ට අඩු කිසිදු පුද්ගලයකුට මෙම සාවද්‍ය චිකිත්සාව සිදු කිරීම තහනම් කොට ඇත. මේ අනුව, පුද්ගලයකුගේ ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව වෙනත් මඟකට යොමු කළ හැක්කේ, හෝ සමාන ලිංගයේ පුද්ගලයකු කෙරේ ඇතිවන ප්‍රේමණීය හෝ ලිංගික හැඟීම් අවම කළ හැක්කේ යැයි පවසා ගත් බලපත්‍රලාභී වෛද්‍යවරයකු හෝ මනෝවෛද්‍ය විද්‍යාව ප්‍රගුණ කළ ඕනෑම විශේෂඥයකු හට නීතිය හමුවේ දඬුවම් විඳීමට සිදුවනු ඇත.
බලපත්‍රලාභී මනෝවිශේෂඥයන් මෙම සාවද්‍ය චිකිත්සා ක්‍රමය පුහුණු වන්නේ යැයි හෙලිදරව් වන ඕනෑම මොහොතක බලපත්‍ර මණ්ඩලය විසින් ඔවුන් විනය පරීක්ෂණයකට යටත් වනු ඇත. එමෙන්ම පනතේ සඳහන් කරුණු වලට අනුව, මෙම සාවද්‍ය මනෝචිකිත්සාව කළ හැක්කේ යැයි ප්‍රසිද්ධ දැනවීම් පළ කිරීම හෝ ප්‍රචාරය කිරීම එරට පාරිභෝගික ආරක්ෂණ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වේ.
පරිවර්තන ප්‍රතිකර්ම, නැතහොත් “කන්වර්ෂන් තෙරපි”, යනු පුද්ගලයකුගේ ලිංගිකත්වය වෙනස්කළ හැක්කේ යැයි පවසා ගත්, ආගමික, දේශපාලනික හා සංස්කෘතික පෙළඹවීම මත පුහුණු වන, ප්‍රතිඵල රහිත මනෝචිකිත්සක ක්රමවේදයකි. මෙය මිනිසුන්ගේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යයටද දැඩි හානි පමුණුවන, වේදනා ගෙන දෙන, අමානුශික චිකිත්සා ක්‍රමයක් බව නූතන වෛද්‍ය පිළිගැනීමයි.