×

භූතානය සමරිසිභාවය නිර්සාපරාධීකරණය කරන ලකුණු!?

භූතානයේ දණ්ඩ නීති සංග්‍රහයේ සමරිසිභාවය සාපරාධීකරණයට ලක්කරන 213 හා 214 වගන්ති සංශෝධනය කිරීම සඳහා සාමාජිකයන් 44 දෙනෙකුගෙන් සමන්විත ජාතික සමුළුව සහය පළ කර ඇත.


භූතාන පාර්ලිමේන්තු පහල මන්ත්‍රී මණ්ඩලය සමරිසිභාවය නිර්සාපරාධීකරණය කිරීමට සහය පළ කර ඇති බව වාර්තා වේ.

සිකුරාදා (07) දින භූතාන පාර්ලිමේන්තුවේ පැවති පනත් සංශෝධනයක් සඳහා පහල මන්ත්‍රී මණ්ඩලය සහය පළකරමින් යල් පැන ගිය අධිරාජ්‍යවාදී නෛතික රාමුන් තුළ සාපරාධීකරණයට ලක්වූ සමරිසිභාවය නිර්සාපරාධීකරණය කළ යුතු බවට යෝජනා විය.

තායිවානයට පසු ආසියාතික රාජ්‍යයක සිදුවන මෙම ප්‍රගතිශීලී තීන්දුව ව්‍යවස්ථාපිත වීමට ඉහල පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලයේ සහය ද අවශ්‍ය වනු ඇත.

භූතානයේ LGBTIQ මානව හිමිකම් ක්‍රියාකාරීන් ට අනුව, එරට දණ්ඩ නීති සංග්‍රහයේ සමරිසිභාවය, හෝ සමරිසි සබඳතා, “අස්වාභාවික ලිංගික හැසිරීම්” යැයි සාපරාධීකරණයට ලක්කරන 213 හා 214 වගන්ති සංශෝධනය කිරීම සඳහා සාමාජිකයන් 44 දෙනෙකුගෙන් සමන්විත ජාතික සමුළුව, නොහොත් පහල මන්ත්‍රී මණ්ඩලය, සහය පළ කර ඇත.

කෙසේවෙතත්, සංශෝධනයට ලක්වන 213 හා 214 වගන්ති ව්‍යවස්ථාපිත නීතියක් ලෙස පාර්ලිමේන්තුව තුළ අනුමත වීමට (ratification) නම් පාර්ලිමේන්තු ඉහල මන්ත්‍රී මණ්ඩලයේ, එවම් ජාතික කවුන්සිලයේ, සහය අවශ්‍ය වන අතර, LGBTIQ මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ, ප්‍රජා හිතෛශී නීති සම්පාදකයන් එහි සිටිනු ඇති බවටත්, ඔවුන්ගේ සහයෝගය ලැබෙනු ඇති බවටත් ය.  

භූතාන ජාතික සමුළුව සමරිසිභාවය නිර්සාපරාධීකරණය විය යුතු බව පිළිගනී.

රේන්බෝ භූතාන් නම් LGBTIQ ප්‍රජා මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂ තශි ෂෙතෙන් පවසා සිටියේ, මෙහිදී ඔවුනට පවතින විශාලතම වාසිය නම්, භූතාන රජය තම ප්‍රජාව පිළිබඳ හොඳ අවබෝධයකින් පසුවන බවත්, අවස්ථා ගණනාවකදීම ඔවුන් සමඟ එක්ව වැඩ කර ඇති බවත් ය.

“මෙය අපගේ සමානාත්මතාවයේ ගමන්මඟේ පළමු පියවර වනු ඇති,” ෂෙතෙන් මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

භූතානය ජනප්‍රිය වන්නේ තම රාජ්‍යයේ පුරවැසියන් පූර්ණ ජාතික ශුභසාධන දර්ශකයකට (Gross National Happiness Index) අනුව සතුටින් ජීවත් වන බව ලොවට පෙන්වා දීම නිසාවෙනි. එම දර්ශකයට අනුව ආර්ථික ශුභසාධනය අභිබවා ගිය පුරවැසි ශුභසාධන ප්‍රතිපත්තියක් එරට රජය අනුගමනය කිරීම මත එරට පුරවැසියන් සතුටින් ජීවත් වන බව කියවේ. මෙම ප්‍රතිපත්තිය හඳුන්වා දෙන ලද්දේ 2008 වර්ෂයේදීය. ඊට පෙර, භූතානය ඒකාධිපති රාජ්‍යයක්ව පැවතියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි