×

ඉන්දියාවේ ගංවතුරට යට වූ දුම්රියකින් මගීන් බේරා ගැනේ.

පුද්ගලයන් 600 දෙනෙකුට අධික සංඛ්‍යාවකට මරු කැඳවමින් ඉන්දියාවට ඇද හැලුණු වර්ෂාව, දුම්රියක් ගිල්වා දමන්නට සැරසෙයි.


ඉන්දියාවට මේ දිනවල පතිත වන අධික වර්ෂාපතනය හමුවේ දුම්රිය මාර්ග ද ජලයෙන් යට වී තිබේ.

මුම්බාය අසලදී එසේ ගං වතුරෙන් යට වූ දුම්රියක සිටි මගීන් 700 දෙනෙක් පමණ සාර්ථක ව බේරාගනු ලැබිණි.

මෙම සිදුවීම වාර්තා වූයේ ඊයේ රාත්‍රියේ ය.

ගළවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ වන විට දුම්රිය මැදිරි දක්වාම ගං වතුර මට්ටම ඉහළ ගොස් තිබිණි.

මෙම මෙහෙයුම් සඳහා හමුදාවේ සහාය ද ලබා ගැනිණි.

පහත දැක්වෙන්නේ එම මෙහෙයුම කැමරාවල සටහන් වී තිබූ ආකාරයයි.

ඉන්දියාවට මේ දිනවල ඇද හැළෙන අධික ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 600 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මිලියන 25කට අධික ජනතාවක් විපතට පත්ව සිටිති.

එයින් වැඩිම හානි සිදුව තිබෙන්නේ බිහාර් සහ ඇසෑම් ප්‍රාන්තවලට ය. මෙම ප්‍රාන්ත දෙකෙහි පමණක් මිලියන 10 ක් දෙනා විපතට පත්ව සිටිති. ඔවුන් අතරින් මිලියන 4.3 ක්ම දරුවන් බව ද වාර්තා වේ.

ඉතිහාසය තුළ ඉන්දියාවේ වර්ෂාව සහ ගංවතුරින් වැඩිම හානියක් සිදුවූ ප්‍රාන්තය වන්නේ ද බිහාර් ප්‍රාන්තයයි. 1987 වසරේදී කොෂි ගංගාව පිටාර ගැලීම හේතුවෙන් පුද්ගලයන් 1399 දෙනෙක් මිය ගිය අතර ඉන්දීය රුපියල් බිලියන 68 ක පාඩුවක් එහිදී සිදු විය.

මේ අතර ජගත් සංවිධානය පවසන්නේ ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ මියැන්මාරය යන රටවලට මේ දිනවල ඇද හැලෙන අධික වැසි හේතුවෙන් මිලියන භාගයක ජනතාවක් අවතැන් වී ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි