×

ඉස්ලාම් භීතිකාව පිටුදකිමින් පැරිසියේ විරෝධතා!

බටහිර යුරෝපයේ විශාලතම ඉස්ලාම් සුළුතරය ජීවත් වන්නේ ප්‍රංශයේ ය.


පැරිසියේ දහස් ගණන් ජනයා වීදි බැස ඉස්ලාම් භීතිකාව පිටුදැකීම සඳහා විරෝධතාවයේ නිරත වීමට පටන් ගෙන තිබේ. 

දක්ෂිණාංශික මතධාරියකු විසින් දැනට සති දෙකකට පමණ පෙර ප්‍රංශයේ නිරිතදිග බෙයොන් නගරයේ පිහිටි මුස්ලිම් පල්ලියකට සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබීමේ සිදුවීමට විරෝධය පාමින් හා ප්‍රංශය පුරා පැතිර යන ඉස්ලාම්භීතික ක්‍රියාවන් පිටු දැකීමේ අරමුණින් මෙම විරොධතා ව්‍යාපාරය දියත් කළ බව සංවිධායකයින් පැවසීය.

ප්‍රංශය තුළ දක්ෂිණාංශික වාමාංශික මත ගැටුම හමුවේ ඉස්ලාම්-විරෝධය දඩමීමා වීම කණගාටුවට කරුණක් බවට පත්ව තිබේ. ඒ අනුව උග්‍ර දක්ෂිණාංශික මතධාරීන් විසින් ප්‍රංශයේ ලෞකික සම්ප්‍රදායට තර්ජනයක් යැයි කියමින් මෙකී මුස්ලිම් විරෝධය ප්‍රචලිත කිරීමට කටයුතු කරමින් පවතී. ඉස්ලාම් භීතිකාව පිටුදකිමින් දැනට දියත් වී පවතින විරෝධතා පා ගමනට වාමාංශික දේශපාලන ක්‍රියාකාරීන් මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරීන් ද එක්ව සිටිනු දක්නට ලැබිණි. 

මෙම විරෝධතා ව්‍යාපාරය පිළිබඳ අදහස් දක්වමින් දක්ෂිණාංශික දේශපාලන ක්‍රියාකාරී නායකයකු වන මැරින් ලෙ පෙන් පවසා සිටියේ මෙම විරෝධතාවය ඉස්ලාම්වාදීන් විසින් සංවිධානය කර ඇති බවයි.  

එහෙත්, විරෝධතා පාගමන්කරුවන්ගේ සටන්පාඨ පුවරු වල සඳහන් ව තිබුණේ සියළු අන්දමේ ජාතිවාදය නවතා දමන ලෙසත් ඉස්ලාම් භීතිකාව විකල්පයක් නොව අපරාධයක් බවත් ය.

කෙසේවෙතත් වෙනස්කොට සැලකීම් වලට එරෙහි කටයුතු භාර රාජ්‍ය ලේකම් මර්ලින් ෂියප්පා මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ වෙනස්ම ආකාරයේ මතයකි. ඔහුට අනුව මෙකී උද්ඝෝෂණය වෙනස්කොට සැලකීම් වලට එරෙහිව දියත් කරන විරෝධතාවයක වෙසින් පැමිණි ලෞකිකත්වයට එරෙහි ව්‍යාපාරයකි. 

ප්‍රංශයේ ජීවත් වන මුස්ලිම් ජාතික පුරවැසියන් ගෙන් 40% කට අධික සංඛ්‍යාවක්ම පවසන්නේ සිය ආගම මත වෙනස්කොට සැලකීම් වලට තමා බඳුන්වන බවට හැඟී යන බවයි. බටහිර යුරෝපයේ විශාලතම මුස්ලිම් සුලුතරය ජීවත් වන්නේ ප්‍රංශයේ වන අතර, එරට දෙවන විශාලතම ආගම වන්නේ ද ඉස්ලාම් දහමයි. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි