×

නවසීලන්තයේ ගිනිකඳු පිපිරීම පිළිබඳ විමර්ශන වලට වසරක් වත් ගතවේවි..

මෙම සිදුවීම නවසීලන්තයේ ත්‍රාසජනක වික්‍රමාන්විත සංචාරක කර්මාන්තයට මරු පහරක් එල්ල කරනු ඇති බවට ආර්ථික විශේෂඥයින්ගේ මතයයි..


නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් මහත්මිය අද දින නිකුත් කළ නිවේදනයක දැක්වූයේ පසුගිය සතියේ සිදූවූ බිහිසුණු ගිනි කඳු පිපිරීම පිළිබඳ විමර්ශන කටයුතු සම්පූර්ණ කිරීමට වසරක කාලයක් වත් ගතවනු ඇති බවය.

එම විමර්ශන තුළ වගකිව යුතු පාර්ශවයන් හට වසර පහක් දක්වා සිර දඬුවම් පැණවිය හැකි බවද ඈ අවධාරණය කර සිටියාය.

පසුගිය සතියේ නවසීලන්තයේ ඇතිවූ ඒ අවාසනාවන්ත ඛේදවාචකයෙන් මරණයට හා පීඩාවට පත්වූ ජනතාව සිහිපත් කිරීම වෙනුවෙන් නිහඬතාවක් පවත්වා ගැනීමෙන් අනතුරුව ආර්ඩන් මහත්මිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම සිදුවීමෙන් පීඩාවට පත් කුඩා පරිමාණ ව්‍යාපාර වලට අධාර සැපයීම සඳහා නවසීලන්ත ඩොලර් මිලියන පහක (ඇමරිකානු ඩොලර් මිලියන 3.2) අරමුදලක් පිහිටුවා ඇති බවයි.

නවසීලන්තයේ වයිට් ලෑන්ඩ් නම් දූපතේ නොසිතු විරූ පරිදි හදිසියේ සිදුවූ මෙම ගිනිකඳු පිපිරීම හරහා ජීවිතක්ෂයට පත්වූ පිරිස 16ක් යැයි නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණුද, නිශ්චිතවම මරණයට පත්වූ සංඛ්‍යාව තවමත් සොයාගැනීමට අසමත්ව තිබේ. මේ වන විට සිදුවීමත් සමඟ මරණයට පත්ව දූපත අවට ජලයේ පාවී ගියේ යැයි අනුමාන කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු ගේ දේහයන් අතුරුදන් වූ ලැයිස්තුවට ඇතුලත් කර තිබේ.

මීට අමතරව, පුද්ගලයින් 26 දෙනෙකු නවසීලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි. පිලිස්සීම් තුවාල මත ඇතැමුන්ගේ තත්ත්ව බරපතල බවද වාර්තා වෙයි. තුවාල ලැබූ පිරිස අතර, ඇමරිකානු, ජර්මන්, චීන, බ්‍රිතාන්‍ය හා මලයාසියානු ජාතික සංචාරකයන් වෙයි.

කෙසේවෙතත්, මේ වන විටත් සිදුවීමට අදාල බොහෝ විවේචන මතිමතාන්තර එල්ල වීමට පටන් ගෙන තිබේ. සක්‍රිය ගිනි කන්දක් පවතින දූපතක් සංචාරක ගමනාන්තයක් ලෙස යොදා ගැනීමම ප්‍රශ්න සහගත බවත් ජීවිත අවදානම් පිළිබඳ තැකීමක් නොකළ බවත් විවේචකයින්ගේ මතය වී තිබේ. මෙම බිහිසුණු සිදුවීම තුළින් නවසීලන්තයේ ත්‍රාසජනක වික්‍රමාන්විත සංචාරක කර්මාන්තයට මරු පහරක් එල්ල වනු ඇති බවට ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි