×

ඉන්දියාව ඩ්‍රෝන තාක්ෂණයෙන් වැක්සීන් බෙදාහැරීමට සූදානම්

ඉන්දියාවේ දුෂ්කර සහ දුරස්ථ ප්‍රදේශවල ජනතාව වෙනුවෙන්, ඇස්ට්‍රා සෙනෙකා වැක්සීන් බෙදාහැරීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදාගැනීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.


මේ පිළිබඳව මීට මාස කිහිපයක පමණ සිට ඔවුන්ගේ අවධානය යොමුව තිබිණි. මේ සඳහා විවිධ යෝජනා පිළිබඳව සලකා බැලූ එම පිරිස පැරෂූට් භාවිත නොකර, ඩ්‍රෝන යානා යොදාගැනීමට තීරණය කළහ.

විශේෂයෙන් ලෝකයේ වෙනත් රටවල් ද මේ කොරෝනා වසංගතයේදී මිනිසුන්ට අවශ්‍ය බෙහෙත් සහ එන්නත් ඒ ඒ ස්ථාන වෙත යොමුකිරීම සඳහා කුඩා ගුවන්‍ යානයක අනුරුව දරන ඩ්‍රෝන යන්ත්‍ර යොදාගනිමින් සිටින බව කියැවේ. නයිජීරියාව, ගානාව මෙන්ම ඇමරිකාව ද ඒ අතර වෙයි.

ඉබෝලා වසංගතයේදී ද ඩ්‍රෝන යානා භාවිත වූ අතර, එන්නත් පමණක් නොව රුධිර පරිත්‍යාග පවා මෙලෙසින් ගුවන් මාර්ගයෙන් ප්‍රවාහනය කර ඇත.

කෙසේවෙතත්, ඉන්දියාවේ HLL Infra tech service Limited ආයතනය සහ ඉන්දීය රජය එක්වෙමින් මෙම ව්‍යාප්තිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙයට සෙසු ආයතන මෙන්ම ජාත්‍යන්තර සංවිධානවල ද සහය හිමිවී ඇත.

මේ දිනවල ඊට අදාළ පුහුණුකිරීම් සිදුවෙමින් පවතී. දින 24ක කාලයක් එම අත් හදා බැලීම් සඳහා එම නිලධාරීන් ලබා දී ඇත.

ඩ්‍රෝන යානාව යැවිය හැකි දුර ප්‍රමාණය, රැගෙන යා හැකි බර, දර්ශන පථ පිළිබඳ අවබෝධය ආදිය සලකා බැලේ. එය ක්‍රියාත්මක කෙරෙන ස්ථානයේ සිට කිලෝමීටර් 35ක් පමණ දුරක් දක්වා ආවරණය කිරීමටත්, පොළෝ මට්ටමේ සිට මීටර් 100ක දුරක් පවත්වාගනිමින් ගමන්කරවීමටත්, අවම බර කිලෝ 5ක් දැරීමටත්, යලි මූලස්ථානය කරා පැමිණීමටත් මෙම ඩ්‍රෝන යානාවලට හැකි බව පැවසේ.

ඩ්‍රෝන යානා මගින් එන්නත් බෙදාහැරීමේ කටයුතුවලට දින 90ක කාලයක් ඔවුන් එකඟ වී තිබේ.

ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය බරපතල මට්ටමකට පත්ව ඇති බැවින්, මිනිසුන් නොයවා ඒ ඒ පළාත්වලට අවශ්‍ය එන්නත් සහ බෙහෙත් ද්‍රව්‍ය සැපයීම වේගවත්ව සිදුකිරීම ඩ්‍රෝන යානා යෙදවීමේ අරමුණ බව එම කටයුතු හා සම්බන්ධ නිලධාරීහු පවසති.

ඉන්දියාවේ තෙලන්ගන පළාතට ඉදිරි සති දෙක තුන ඇතුළතදී මේ වැක්සීන යැවෙනු ඇත. මෙම ව්‍යාපෘතිය කොරෝනා මැඬලීම හා සම්බන්ධ වැදගත් ඉදිරි පියවරක් වනු ඇති බව කටයුතු භාර නිලධාරීහු පෙන්වා දෙති.

කෙසේවුවත්, ඇස්ට්‍රා සෙනෙකා වැක්සීනය ගෙන යා යුතු උෂ්ණත්වය, අදාළ ස්ථානවලට යන ගමනේදී පවත්වාගෙනයාමට ද ඔවුන් අවධානය යොමුකරනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි