×

වැරදීමකින් සොයා ගත් දෑ

ලෝක ප්‍රකට විද්‍යාඥයින් අලුත් නිෂ්පාදන සොයාගත්තේ කොහොමද? ඔවුන්ට වැරදුණේ නැතිද? ඔවුන් නිතරම පොත් කියවමින් පර්යේෂණාගාරවල සිටි අයද? ඔබටත් මෙහෙම හිතුණාද? තමන් කළ පරීක්ෂණ දීර්ඝ කාලයක් තිස්සේ වැරදෙමින් නව නිපැයුම් සොයාගත් විද්‍යාඥයින් මෙන්ම කිසිසේත් නොසිතූ ලෙස වැරදීමකින් සොයාගත් විද්‍යාඥයෝද සිටිති.


පෙනිසිලින්

ස්කොට්ලන්ත ජාතිකයකු වූ ඇලෙක්ස්න්ඩර් ෆ්ලෙමින් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන අතරෙහිදීම ස්කොට්ලන්ත පාබල හමුදාවේ සෙබළෙකු ලෙස සේවය කළේය. ඔහු බැක්ටීරියා පිළිබඳව ඉහළම ලකුණු ලබාගනිමින් උපාධිය ලබා ගත් ඔහු තුවාල ලැබූ සෙබළුන්ට ප්‍රතිකාරකිරීම සඳහා රාජකීය හමුදාවේ වෛද්‍යවරයකු ලෙස සේවයට බැඳිණි. පළමුවන ලෝක යුද්ධයට ගිය සෙබළු විශාල වශයෙන් තුවාල ලබා මිය යන බවත්, තුවාලවලට ගල්වන විෂබීජ නාශකවලින් ශරීරයට ප්‍රතිශක්තිය දෙන බැක්ටීරියා විනාශ වන බවත් ඔහු අවබෝධ කරගත්තේය.

දිනක් ඔහු සති දෙකක චාරිකාවකට ගොස් නැවත සෙන්ට් මේරි රෝහලේ සිය පර්යේෂණාගාරයට ගියවිට නොසේදූ පර්යේෂණ දීසිවල බැක්ටීරියා වර්ධනය වී තිබෙනු දුටුවේය. දීසියක යම් බැක්ටීරියාවක් වැඩී තිබුණද, දීසියේ එක්තරා කොටසක බැක්ටීරියාව වර්ධනයවීම වැළැක්වූ යම් දිලීරයක්ද තිබුණි. පර්යේෂණ කළ ෆ්ලෙමින් මෙම දිලීරය ‘පෙන්සිලින්’ ලෙස නම් කළේය. රෝගවල බැක්ටීරියා විනාශ කරන ඖෂධයක් ලෙස එය භාවිතයට ආ අතර, එය ලොව පළමු ප්‍රතිජීවක ඖෂධය ද විය.

එක්ස් කිරණ

ජර්මානු ජාතික කාර්මිකයකු මෙන්ම භෞතික විද්‍යාඥයකු වූ විල්හෙල්ම් කොන්රඩ් රොන්ජන් සිය පර්යේෂණාගාරයේදී කාඩ්බෝඩ් කඩදාසියකින් ආවරණය කළ රික්තක නළයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටියේය. ඔහු කළ පර්යේෂණයට අදාළ නොවුණු නමුත්, එහිදී එක්තරා රසායනික කිරණක් පතිත විය. මෙම කිරණ යටින් ඔහු සිය අත තැබූ අතර, අස්ථි දක්වා ම විනිවිදව පෙනෙන්නට විය. උද්දාමයට පත්වූ රොන්ජන් සිය බිරියගේ දෑත්වලද එක්ස් ඡායාරූප ගත්තේය. එය ලොව පළමු එක්ස් කිරණ ඡායාරූපය විය. ඡායාරූපය දුටු බිරිඳ ‘මම මගේ මරණය දැන් දැක්කා’යි කීවාලු.

මේ හේතුවෙන් ඔහුට 1901දී නොබෙල් ත්‍යාගය හිමිවිය. එක්ස් කිරණ යොදාගැනීම හේතුවෙන් මිනිස් සිරුරේ අභ්‍යන්තරේ පවතින අස්ථි පද්ධතියේ ඡායාරූප ගැනීමට හැකි වූ අතර, එයින් අද දක්වාම වෛද්‍ය වෘත්තියට විශාල මෙහෙයක් සිදුවෙයි.

දුරකථනය

ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් දුරකථනයේ නිර්මාතෘය. ග්‍රැහැම්ගේ පියාත් සීයාත් බිහිරි පුද්ගලයන්ට දෘශ්‍ය කථනය පුහුණුකිරීමේ සහ ඒ සම්බන්ධ පර්යේෂණ කිරීමේ ගුරුවරු වූහ. ඔවුන්ගේ මරණයෙන් පසු එහි වගකීම භාරගත් ග්‍රැහැම් පසුව බෝස්ටන් සරසවියේ මහාචාර්යවරයකු බවට පත්විය. ග්‍රැහැම්ගේ මවද බිරිඳ ද බිහිරි තැනැත්තියෝය. මේ හේතුවෙන් ඔහුට ඒ ගැන හොඳ අවබෝධයක් තිබිණි. බිහිරි පුද්ගලයිනඉලක්ක කරමින් විවිධ උපකරණ නිපදවීම සම්බන්ධයෙන් ග්‍රැහැම් අත්හදාබැලීම් කරමින් සිටියේය. ඒ අනුව මිනිස් කටහඬ විද්‍යුත් තරංග බවට පත්කළ හැකි බව හඳුනාගත්තේය.

දිනක් ඔහු සෑදූ එවැනි ප්‍රාථමික උපකරණයක් ගෙන රැහැනේ එක් කොනක් එහා කුටියේ සිටි තෝමස් වොට්සන්ට දුන් ග්‍රැහැම් සිය කුටියේ සිට මෙසේ කීය.

‘දයාබර වොට්සන්, මේ පැත්තට එන්න. මට ඔබව බලන්න ඕනේ’

මෙය වොට්සන් අත තිබූ උපකරණයෙන් ඇසුණු අතර ඔහු එහි පැමිණියේය. ඕනෑම දුරකට හඬ ගෙන යාහැකි මෙම උපකරණය ඔහු දියුණු කළේය. බිහිරි පුද්ගලයන්ගේ කථන ක්‍රම ගැන අත්හදාබැලීමට ගොස් ග්‍රැහැම් දුරකථනය හඳුන්වාදුන්නේය.

චුයින්ගම්

ඇමරිකානු විද්‍යාඥයකු වූ සර් තෝමස් ඇඩම්ස්, මෙක්සිකානු ජනාධිපති ඇන්ටීරියෝ ලෝපෙස් මහතාගේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියේය. එම ජනපතිවරයා Manilkara Chicle නම් මෙක්සිකානු ශාකයකින් ගන්නා මැලියම්වලින් සැකසූ ආහාර ගැනීමේ රුචි වූවෙක් විය. ජනපතිවරයා අධික වියදම් සහිත රබර් ටයර්වලට විසඳුමක් ලෙස මිල අඩු රබර් ටයර් නිපදවීමට ද මෙම මැලියම් යොදාගත හැකිදැයි පර්යේෂණ කිරීමට පිරිසක් යොමුකරමින් සිටියේය. මෙක්සිකෝවේ වාණිජ අරමුණු වෙනුවෙන් රබර් ටයර් නිපදවීම එම අවධියේ සිදුවෙමින් පැවතිණි.

පර්යේෂණවලින් අසාර්ථකත්වයට පත්වෙමින් සිටි ඇඩම්ස් දිනක් කළකිරීමට පත්ව එම ටයර් සෑදීමට යොදාගත් රබර්වල මැලියම් කොටසක් කටට දමා කෝපයෙන් සපන්නට විය. එහි අමුතු රසක් ඇති බව ඔහුට වැටහිණි. ඔහු චුයින්ගම් නිපදවීමට කම්හලක් නිපදවූ පසුව ඔහුගේ නමින් එම චුයින්ගම් ප්‍රචලිත විය.

හැට්ට කටුව

ඇමෙරිකානු ජාතිකයකු වන වෝල්ටර් හන්ට් දිනක් තමා ගත් ණය මුදල් ගෙවන්නේ කෙසේදැයි කල්පනා කරමින් සිටියේය. ඔහු අහළක වූ කම්බියක් ඒ මේ අත අඹරමින් ගත් ණය ගෙවීමේ ක්‍රමයක් සිතමින් සිටියේය.

මෙසේ කම්බිය නවමින් සිටියදී එක්තරා අවස්ථාවක එහි එක් කොනක් තවත් කොනක් තුළට ගිය අතර, පසුව එය පිටතට ගැනීමට හැකි බව ඔහු වටහාගත්තේය. මෙම කම්බිය නැවීමට යොදාගත් තාක්ෂණය භාවිතකරමින් ඔහු කටුවක් නිපදවීය. 1849දී එයට පේටන්ට් බලපත්‍රය හිමිවිය. මෙම කටුව ආය කට්ට, හැට්ට කට්ට ආදී නම්වලින් ලාංකිකයෝ ද භාවිත කරති.

කොකා කෝලා

ජෝන් පෙම්බර්ටන් බෙහෙත් ශාලාවක සේවය කරන්නෙකු වූ අතර, ලුතිනල් කර්නල්වරයකු ලෙසද සේවයේ නිරතවිය. දිනක් ඔහු යුද බිමේදී තුවාල වූ අතර, වේදනාව අවම කිරීමට මෝෆීන් නම් ඖෂධය භාවිත කළේය. සෙබළුන් තුවාල ලැබීමේදී ඔවුන්ගේ වේදනාව අවමකිරීමටත්, නිදිමත ඇතිකිරීමටත් පානයක් සඳහා ඔහු දකුණු ඇමරිකානු ශාකයකින් පර්යේෂණ කිරීමට තීරණය කළේය.

මෙසේ අත්හදා බැලීම් කරමින් සිටි පානයට වැරදීමකින් කාබනීකෘත ජලය මිශ්‍ර වූ අතර, ඉන් ලැබුණු රසය ප්‍රණීත විය. මෙය ඖෂධයක් ලෙස නොව ක්ෂණික පානයක් ලෙස යොදාගැනීමට පෙම්බර්ටන් තීරණය කළේය. අද දක්වා කොකා කෝලා පානය ජනප්‍රියව පවතින නමුත් එහි රසායනික ද්‍රව්‍ය හේතුවෙන් සෞඛ්‍යයට හානිකර බවද මේ වනවිට සොයාගෙන ඇත.

ගුරුත්වාකර්ෂණය

චන්ද්‍රයා පෘථිවියේ නොගැටී ගමන්කරන්නේ කෙසේද, ග්‍රහලෝකවල ගැටී ගමන්නොකරන්නේ ඇයිද වැනි ගැටලු ගැන තරුණ අයිසැක් නිවුටන් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උගනිමින් සිටියදී කල්පනා කරමින් සිටියේය. 1665 වසරේදී මහාමාරිය වසංගතය එංගලන්තයේ පැතිරයාම හේතුවෙන් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය වසා දැමීමට සිදුවිය. ඔහු ලින්කන්ෂයර් ප්‍රදේශයේ සිය නිවසට ගියේය.

1665 දවසකදී උණුසුම් රාත්‍රී කාලයක ඔහු ඇපල් ගස් සෙවණ සහිත ගෙවත්තේ ඇවිදිමින් සිටියදී ඇපල් ගෙඩියක් හිස මත පතිත විය. ඇපල් ගෙඩිය පහළට මිස ඉහළට හෝ පැත්තට වැටුණේ නැත්තේ මන්දැයි කල්පනා කළ නිවුටන් ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් එසේ වූ බව වටහාගත්තේය. චන්ද්‍රයා සම්බන්ධ ගැටලුවට හේතුවද මෙම බලය බව ඔහු ඉන් පසුව සොයාගත්තේය.

මාමයිට්

බීර නිෂ්පාදනය කිරීමට යොදාගෙන ඉවත දමන යීස්ට් යොදාගනිමින් රසවත් ආහාරයක් නිපදවිය හැකි බව 19 වන සියවසේ විසූ ජර්මානු ජාතික රසායනික විද්‍යාඥයකු වූ ජස්ටන් ලීබිග් සොයාගත්තේය. එය දුඹුරු පැහැති උකු දියරයක් වැනි ද්‍රව්‍යයක් විය. ප්‍රංශයේ ආහාර නිපදවීමට යොදාගන්නා මුට්ටි විශේෂයක් වූ මාමයිට් යන නාමයෙන් මෙය හැඳින්විණි. 1902දී මාමයිට් නමින් ආහාර නිෂ්පාදන කම්හලක්ද ආරම්භ වූ අතර, පසුව යීස්ට්වලට අමතරව විටමින් වර්ග, එළවළු සාරය ආදී දෑද මීට එක් කෙරිණි.

ආකිමීඩිස් නියමය

ග්‍රීක ජාතිකයකු වූ ආකිමිඩීස් ගණිතඥයකු, භෞතික විද්‍යාඥයකු, ඉංජිනේරුවරයකු, තාරකා විද්‍යාඥයකු මෙන්ම නව නිපැයුම්කරුවක් ද විය. ඉතාලියේ සිරාකස් නුවර හීරෝ නම් රජුගේ උපදේශක ලෙසින් කටයුතු කළ ආකිමීඩිස්ට දිනක් රජු ගැටලුවක් ගෙන ආවේය. යුද්ධයකින් ජයගත් රජු එය සැමරීමට දෙවියන්ට ප්‍රදානය කිරීම සඳහා දඹ රනින් කළ ඔටුන්නක් කම්මල්කරුවකුට දී සෑදවූයේය. මෙය තනි රත්තරන්වලින් සෑදුවක්ද නැතහොත් මීට වෙනත් ලෝහ එක් කර ඇත්දැයි සොයාබලන්නැයි රජු ආකිමීඩිස්ට පැවසීය. මේ ගැන කෙතරම් කල්පනා කළද ආකිමීඩිස්ට පිළිතුරක් සොයාගත නොහැකිවිය.

දිනක් ස්නානය කිරීමට නාන බේසමට බැසීමේදී ආකිමීඩිස්ගේ ශරීරයේ බරට සමාන ජල ප්‍රමාණයක් බේසමෙන් වැගිරී පිටතට ගලාගියේය. මෙම සිද්ධිය ගැන සිතූ ආකිමීඩිස් රන් ඔටුන්නේ ගැටලුව විසඳීය. ප්‍රීතියට පත්වූ ඔහු යුරේකා (මම සොයාගතිමි)කියමින් උපන් වතින්ම රජු සොයා මාළිගයට දිව ගියේලු. ‘ඕනෑම ඉපිලෙන වස්තුවක් තම බරට සමාන තරල පරිමාවක් විස්ථාපනය කරයි’ යන නියමය ඔහු ඉදිරිපත් කළේ මේ ඇසුරිනි.

වැරදීමකින් සොයා ගත් දෑ 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි