×

සැප්තැම්බර් 11 ප්‍රහාරයට වසර 20 යි!

ඇමරිකාවේ පදනම් සසල කළ සැප්තැම්බර් 11 ප්‍රහාරයට අද දින වසර 20 ක් සම්පූර්ණ වේ.


ඇමරිකාව ‘ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය‘ ආරම්භ කිරීමට මුල පිරුණේ මෙම අති දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයයි.

‘‘9/11 ප්‍රහාරය‘ ලෙස ප්‍රකට වූ මෙයින් ඇමරිකාවේ පමණක් නොව ජාත්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් ලෝකයේම පදනම් සසල විය. ඇමරිකාව විසින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළේ ද මෙම සිදුවීම මුල් කර ගෙන ය.

ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ප්‍රමුඛ ස්ථාන 2 කට එල්ල වූ මෙම අල්කයිඩා ත්‍රස්ත ප්‍රහාරවලින් ඇමරිකානුවෝ 2,977 ක් දෙනෙක් මිය ගියහ.

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ට්වින් ටවර් පසාරු කරගෙන ගියේ, අල් කයිඩා ත්‍රස්තවාදීන් විසින් හයිජැක් කර තිබූ ගුවන් යානා 2 කි.

මේ, ට්වින් ටවර් හි ගොඩනැගිල්ලක් එක් ජෙට් යානාවක් කඩා වැදීම නිසා ගිනි ගෙන දැවෙද්දී දෙවැනි ජෙට් යානාවක් දෙවැනි ගොඩනැගිල්ල වෙත ද කඩා වැදෙමින් තිබූ අන්දමයි. දිනය 2001 සැප්තැම්බර් 11 වැනි අඟහරුවාදා ය. මෙදින ‘බ්ලැක් ටියුස්ඩේ‘ හෙවත් ‘කළු අඟහරුවාදා‘ ලෙස ද කුප්‍රකට ය.

ප්‍රහාරවලින් මිය ගිය 2,977 දෙනා සිහිපත් කරමින් ජෝ බයිඩන් ජනාධිපතිවරයා, වීඩියෝ පණිවුඩයක් මගින් ඔවුන්ට සිය ගෞරවය පුද කළේය. එහිදී ගළවා ගැනීමේ මෙහෙයුම්වලට සම්බන්ධ වූ භටයන්ව විශේෂයෙන් සිහිපත් කිරීමටත් ඔහු අමතක නොකළේය.

අද දින ඇමරිකාව පුරා මෙම සංවත්සරය වෙනුවෙන් සැමරුම් උත්සව සංවිධානය කර තිබේ.

‘‘මිනිසාගේ ස්වභාවයේ අඳුරුතම බලයන් – මුස්ලිම් ඇමරිකානුවන්ට එරෙහි භීතිය සහ කෝපය, පළිගැනීම හා ප්‍රචණ්ඩත්වය‘‘ ප්‍රහාරවලින් පසු උත්සන්න වූ බව ද බයිඩන් මෙහිදී පිළිගත්තේය. නමුත් ඇමරිකාවේ විශාලතම ශක්තිය ‘එකමුතු කම‘ බව ද ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පැවසුවේ, ‘‘නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපගේ විශ්වාසයන් සොළවා දමන්නට ප්‍රහාරයන් අසමත් වූ බව‘ යි.

සැප්තැම්බර් 11 ප්‍රහාරවලින් මිය ගිය අයගෙන් 67 දෙනෙක් බ්‍රිතාන්‍ය ජාතිකයන් ය.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි