×

Huawei ලොක්කාගේ දියණියට නිදහස – චීනයත් කැනඩා ජාතිකයන් දෙදෙනා නිදහස් කරයි!

චීනය සහ කැනඩාව අතර මෑත කාලයේ ඇති වූ විශාලතම රාජ්‍ය තාන්ත්‍රික විරසකය වූයේ තාක්ෂණික ලෝකයේ දැවැන්තයෙකු වූ Huawei සමාගමේ ප්‍රධානියාගේ දියණිය කැනඩාව විසින් 2018 වසරේදී අත්අඩංගුවට ගැනීම ය.


මේ සමගම, චීනය ද 2018 වසරේ දෙසැම්බරයේදී රැඳවුම් භාරයට ගත් කැනඩා ජාතිකයන් දෙදෙනෙකු නිදහස් කළේ ඔවුන්ට කැනඩාව බලා යාමට ඉඩ දෙමිනි.

ඇමරිකාව, චීනය සහ කැනඩාව අතර වූ දීර්ඝ නීතිමය සහ භූ දේශපාලනික ඝට්ටනයක නිමාව ලෙස මෙය සැලකේ.

Huawei සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය වූ මෙන්ග් වැන්ග්ෂු සහ මෙකී කැනඩා ජාතිකයන් දෙදෙනා නැවත සිය රට බලා ගියේ එකඟතාවක ප්‍රතිඵලයක් නිසා බව කියැවේ. ඒ, නඩු දැමීම ප්‍රමාද කිරීම හෝ අත්හිටුවීමේ එකඟතාවයක් මත ය. 2018 දෙසැම්බර් මාසයේදී මෙන්ග් වැන්ග්ෂු කැනඩාවේ වැන්කුවර් නගරයේදී අත්අඩංගුවට ගනු ලැබිණි.

ඇය, Huawei සමාගමේ නිර්මාතෘවරයා වන රෙන් සෙන්ග්‍ෆෙයිගේ දියණිය ද විය.

ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇමරිකාව ඇයව පිටුවහල් කර ඇමරිකාවට ලබාගැනීමට වරෙන්තුවක් නිකුත් කළේ, ඉරානයට එරෙහි සම්බාධක උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙනි. නමුත් ඇයව දිගින් දිගටම කැනඩාව විසින් රඳවා තබා ගැනිණි.

චීනය, මෙම අත්අඩංගුවට ගැනීමට වහාම ප්‍රතිචාර දැක්වූයේ මයිකල් කොව්රිග් සහ මයිකල් ස්පැරොවර් නමැති කැනඩා ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට ගනිමිනි.

ඔවුන්ට විරුද්ධව ‘ඔත්තු බැලීමේ‘ චෝදනාව චීනය විසින් නගා තිබිණි.

මෙම සිදුවීම “hostage politics‘‘ හෙවත් ‘ප්‍රාණඇපකාර දේශපාලනය‘ විදහා දැක්වූ අවස්ථාවක් ලෙස දැක්විණි.

කෙසේ නමුත් මේ ‘හුවමාරු ඩීල් එක‘ සමග හුආවෙයි සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනියට එරෙහිව තිබූ වරෙන්තුව, 2022 දෙසැම්බර් වන විට ඉවත දමනු ඇත. ඒ අනුව වසර 4කට පසුව ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවට සිය වරෙන්තුව ඉවත් කර ගන්නට සිදුවනවා ඇත.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි