×

ඉන්දියාවේ කොවැක්සින් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය – ස්පුට්නික් තවම මග !

ඉන්දියාවේ නිෂ්පාදනය කරන කොවැක්සින් එන්නත සඳහා අද දිනයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිතය සඳහා ලබාදෙන අනුමැතිය හිමිවිය.


මෙම එන්නත නිපදවනු ලබන්නේ ඉන්දියාවේ ‘භාරත් බයෝටෙක්‘ සමාගම විසිනි.

කොවැක්සින් එන්නත ගෝලීය වශයෙන් යොදාගැනීම සම්බන්ධයෙන් අවදානම්-ප්‍රතිලාභ තක්සේරුවක් ද සිදුකිරිමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබිණි. අනුමැතිය මෙතරම් හෝ ප්‍රමාද වුණේ ඒ නිසා බව කියැවේ.

සති හතරක කාලයක් ඇතුළත එන්නත මාත්‍රා දෙකකින් ලබාදීම ට මේ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය නියම කරයි.

ඉන්දියානු කොවැක්සින් එන්නත වයස අවුරුදු 18ට වැඩි අය සඳහා නිර්දේශිත ය.

කෝවිඩ් වසංගතය සම්බන්ධයෙන් එය 78%ක සාර්ථකත්වයක් පෙන්වන්නේ චීන කෝවිඩ් එන්නත් ද අබිබවා යමිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම අනුමැතිය සමග, කෝවැක්සින් ලබාගත් මිලියන ගණනක ඉන්දියානුවන්ට රටෙන් පිටත සංචාරය කිරීමට ද අවසරය හිමිවනු ඇති.

තවද ‘කෝවැක්ස්‘ (COVAX ) ගෝලීය එන්නත් වැඩපිළිවෙළට සිය කොටස එකතු කරමින් විශාල විදේශ විනිමයක් ලබාගැනීමට ද ඉන්දියාව මේ අනුව සමත් වනු ඇති.

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය දිනෙක කියා තිබුණේ වසංගතය නිසා සිය රට ආර්ථිකමය වශයෙන් පිටුපසට යාම වෙනුවට එන්නත් සැපයීම මගින් ඉදිරියට යාමට සමත් වනු ඇති බවයි. අප්‍රේල් මාසයේ ඉන්දියාව, තෙවැනි කෝවිඩ් රැල්ලත් සමග එන්නත් අපනයනය තාවකාලිකව අත්හිටුවීය. ඒ වන විටත් කෝවැක්ස් ඇතුළු මිලියන 66 ක එන්නත් මාත්‍රා ඉන්දියාව විසින් ලෝකයේ වෙනත් රටවලට අලෙවි කර තිබිණි.

ස්පුට්නික් තවම මග

මෙම අනුමැතිය ඉන්දියාව විසින් ලබාගන්නේ එන්නත් තරගයේ මුල් අදියරේදීම රුසියාව විසින් නිපදවූ ස්පුට්නික්-V එන්නත අද දක්වාම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය දිනාගැනීමට අසමත් ව ඇති වාතාවරණයක් තුළදී ය. ස්පුට්නික් එන්නතේ දත්ත සමාලෝනය කටයුතු තවම අවසන් නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි