×

ත්‍රස්තවාදයට වරදකරු වූ ඇමරිකානු හමුදා සෙබලා – ඊතන් මෙල්සර්

ඇමරිකානු යුධ හමුදාවේ සෙබලකු වන (ප්‍රයිවට්) ඊතන් මෙල්සර් ත්‍රස්තවාදී ක්‍රියාවලට වරදකරු වී තිබෙන බව වාර්තා වේ.


සුදු අන්තවාදී සහ නව-නාසිවාදී මතවාදයන් පිළිපදින ත්‍රස්තවාදී සංවිධානයක් වන ඕර්ඩර් ඔෆ් ද නයින් ඒන්ජල්ස් නම් සංවිධානයට සහාය දැක්වීම හරහා ඇමරිකානු හමුදා ඒකක වලට එල්ල කිරීමට නියමිතව තිබූ ප්‍රහාර දාමයකට අදාළවයි ඔහු වරදකරු වී තිබෙන්නේ.

එතිල් රෙගාර්ඩ් නමින් ද හැඳින්වෙන ඔහු ඕර්ඩර් ඔෆ් ද නයින් ඒන්ජල්ස් ත්‍රස්තවාදී සංවිධානය සමඟ එක්ව, තුර්කියේ දියත් කිරීමට තිබූ මෙහෙයුමක දී ඔහුගේ හමුදා ඒකකයට එල්ල කිරීමට ප්‍රහාරයක් සැලසුම් කර තිබේ. ඊට අදාළව ඉකුත් සිකුරාදා දින ඔහු වරදකරු බව පිළිගත්තේය.

ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) නිව් යෝර්ක් හි ඒකාබද්ධ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධ කාර්ය සාධක බලකාය, පොලිස් ඒකක සහ අනෙකුත් හමුදා දෙපාර්තමේන්තු වල මැදිහත් වීමෙන් මෙම ප්‍රහාරය දියත් කිරීමේ සැලසුම් අනාවරණය කර ගැනීමට සමත් ව ඇත. විමර්ශන වලදී අනාවරණය වී තිබෙන්නේ, ඊතන් 2017 වර්ෂයේ පටන් ඕර්ඩර් ඔෆ් ද නයින් ඒන්ජල්ස් ත්‍රස්තවාදී සංවිධානයේ සාමාජිකත්වය දරා ඇති බවයි.

එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව, 2019 වර්ෂයේ දී ඉතාලියේ හමුදා මෙහෙයුමකට අනුයුක්ත වී සිටි ඊතන් ඕර්ඩර් ඔෆ් ද නයින් ඒන්ජල්ස් සංවිධානය මෙන්ම අයිඑස්අයිඑස් වැනි අනෙකුත් ත්‍රස්තවාදී සංවිධාන වල මාධ්‍ය ප්‍රචාරණ කටයුතු සඳහා දායකත්වය ලබා දී ඇත.

ඕර්ඩර් ඔෆ් ද නයින් ඒන්ජල්ස් යනු ඇඩොල්ෆ් හිට්ලර්, ඔසාමා බින්-ලාඩන් වැනි පුද්ගලයන් ප්‍රසිද්ධියේ අගය කරන සහ සාතන් ගේ ඇදහිලි විශ්වාස කරන සංවිධානයක් වීම ද විශේෂත්වයකි. ඔවුන්ගේ මෙහෙයුම් ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කරන්නේ රජයේ ආයතන වල රහසිගත තොරතුරු එකතු කර, පුද්ගලයන් තම සංවිධානයට බඳවා ගෙන, පුහුණුව ලබා දී ත්‍රස්ත ක්‍රියා දියත් කිරීමට යොමුකිරීමයි.

24 හැවිරිදි ඊතන් මෙල්සර් ද මෙම සංවිධානයට සම්බන්ධ වී ඇත්තේ ඒ අයුරින් බව සඳහන්.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි