×

ඉතාලියේ ගුවන් පාලම් අනතුරෙන් මිය ගිය ගණන 39 දක්වා ඉහළට – මාස 12 ක හදිසි තත්වයක්

ඉතාලියේ ජෙනෝවා නුවර මොරාන්ඩි ගුවන් පාලමේ කොටසක් කඩා වැටීමෙන් මිය ගිය අය අතර දරුවන් 3 දෙනෙකු ද සිටින අතර, සුන්බුන්වලට යටවී තවත් පුද්ගලයන් ගණනාවක් සිටින බවට සැක පළ කෙරේ.


අනතුර (Morandi Disaster) හේතුවෙන් ගුවන් පාලම මත තිබූ වාහන මීටර 45 ක් හෙවත් අඩි 148 ක් පහළට ඇද වැටී තිබේ. මේ දක්වා පුද්ගලයන් 440 දෙනෙක් පමණ සුන්බුන් අතරින් බේරාගෙන තිබේ.

මේ අතර, ගිනි නිවන භටයන් 250 දෙනෙක් සහ සුනඛයන් යොදාගෙන, සුන්බුන්වලට යටවී සිටිය හැකි අය පිළිබඳ නොනවත්වා සෝදිසි මෙහෙයුම් සිදු කෙරේ. ඉතාලිය පවසා තිබෙන්නේ අවසන් පුද්ගලයාත් බේරාගන්නා තෙක් ගළවා ගැනීමේ මෙහෙයුම් අත් නොහරින බවයි.

මේ වනවිට ජෙනෝවා නගරය සඳහා දින 2 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඉතාලි අග්‍රමාත්‍ය Giuseppe Conte විසින් පාලම් අනතුර සිදුවූ ලිගූරියා පළාත සඳහා මාස 12 ක හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.

මෙයට දින 2කට පෙර සිදුවූ මෙම අනතුර හේතුවෙන් එම අවස්ථාවේ ගුවන් පාලම මතින් ගමන් කරමින් තිබූ වාහන 40 ක් පමණ අනතුරට ලක්විය.

තුවාළ ලැබූ 16 දෙනෙක් තවමත් රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් පසුවෙති. ඔවුන්ගෙන් 12 දෙනෙකුගේ තත්වය බරපතළ ය.

පාලමේ ඉතිරි කොටස් ද කඩා වැටීමේ අවදානමක් ද මේ වන විට මතුව ඇත.

The European Journal

The European Journal

පාලම කඩා වැටුණේ ඇයි?

පාලම කඩා වැටීමට හේතුව වශයෙන් සැක කෙරෙන්නේ ඉදිකිරීමේ දෝෂයකි. අනතුර සිදුවන අවස්ථාවේදී වැසි සහිත කාලගුණයක් පැවතී ඇත. අකුණු ගැසීම් ද මෙම අනතුර සඳහා අනියම් අන්දමින් බලපෑවේදැයි සැකයක් පවතියි.

ඉතාලිය, ආර්ථික පසුබැසීමත් සමග මහාමාර්ග නඩත්තුව හා ඉදිකිරීම් සඳහා වැය කරන මුදල් ප්‍රතිපාදන අඩුවීම මෙම අනතුර සඳහා හේතුවන්නට ඇතැයි ද සැකයක් පවතියි. උදාහරණක් වශයෙන් 2006 වසරේදී ඉතාලිය මහා මාර්ග සඳහා යූරෝ බිලියන 14 ක් වැය කළ නමුත් 2008 වසරේ ඇතිවූ ආර්ථික අවපාතනයත් සමග එය යූරෝ බිලියන 4 දක්වා අඩු වී ඇත. එසේම ඉතාලියේ ගතවූ වසර 5 ක කාලය තුළ වාර්තා වන 5 වැනි පාලම් කඩාවැටීම වන්නේ මෙයයි.

නොසැලකිලිමත් මනුෂ්‍ය ඝාතන

ඉතාලියේ ජෙනෝවා බලධාරීන් මේ වන විට ‘නොසැලකිලිමත් මනුෂ්‍ය ඝාතන‘ (negligent homicide) සඳහා සිද්ධිය සම්බන්ධයෙන් නඩු පැවරිය හැකි මාර්ග සොයා බලමින් සිටියි. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මැටියෝ සැල්විනි පවසන්නේ ‘මේ විනාශයේ වරදකරුවන් යැයි සොයාගන්නා කිසිම අයෙකුට දඬුවම් නොලබා බේරී යාමට ඉඩ නොදෙන බව‘‘ යි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි