ජීවිත 281 ක් බිලිගැනීමෙන් පසු ක්‍රැකටෝවා ගිනිකන්ද දෙවන පුපුරා යාමටත් සූදානම් වන බවට ලකුණු
පසුගිය සෙනසුරාදා හටගත් ඉන්දුනීසියානු සුනාමියට හේතුව වශයෙන් දැක්වුණේ සාගර පත්ලේ පිහිටා තිබෙන ක්‍රැකටෝවා ගිනිකන්ද පුපුරා යාමයි. මේ වන විට පළමු සුනාමියේ අවදානම පහව ගොස් ඇතත්, මේ ගිනිකන්ද අලුත් වටයකින් සක්‍රිය වේ ය යන බිය හේතුවෙන්, වෙරළබඩ අනක් ක්‍රැකටු (Anak Krakatau) දූපතේ ජීවත් වන ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීම ඇරඹී තිබේ.
නාය යාම් යැයි කියූ සැණින් අපට සිහිපත් වන්නේ කඳු කඩා වැටීම් ආදියයි. අප පුරුදු ව සිටින්නේ ගොඩබිම කඳු කඩා වැටීම් යනාදිය දකින්නට ය. නමුත් පෘථිවියේම ජල තලයෙන් යට වූ ගොඩබිම කොටස නියෝජනය කරන සාගරය තුළ ද මෙම නාය යාම් ආදිය ඒ අන්දමින්ම සිදුවෙයි. ක්‍රැකටෝවා ගිනිකන්ද, සාගර නායයාම් උත්තේජනය කරන සාධක පිළිබඳ හොඳ උදාහරණයකි.
ක්‍රැකටෝවා හෙවත් ඉන්දුනීසියානු බසින් ක්‍රැකටු (Krakatau) පිහිටා තිබෙන්නේ ජාවා හා සුමත්‍රා දූපත් අතර ඇති සුන්ඩා සමුද්‍ර සන්ධිය (Sunda Strait) තුළ ය. පසුගිය සෙනසුරාදා එය පුපුරායාමත් සමග, සුනාමි පමණක් නොව, සාගරය තුළ නාය යාම් ද හටගෙන ඇතැයි විශ්වාස කෙරේ. මාරක ජල තරංග මේ හේතුවෙන් ප්‍රතිඵල විය. විපතින් තුවාළ ලත් පිරිස දහසකට අධික ය.
ඊයේ, එනම් ඉරිදා දිනයේ එය නැවත වරක් පුපුරා ගියේ, දැවැන්ත අළු සහ අග්නි ජාලා විදිමිනි.
ඉන්දුනීසියාවේ ජාතික ආපදා කළමනාකරණ ඒන්සිය පවසන්නේ මේ අන්දමින් නැවත නැවතත් ගිනිකන්ද පුපුරා යාම සිදුවන නිසා, අලුත් සුනාමි හටගැනීමට හැකියාව පවතින බවයි.
ක්‍රැකටෝවා ගිනිකන්ද, සැබවින්ම යමහල් දූපතකි.ඉන්දුනීසියාවේ ලැම්පුන්ග් පළාතේ එය පිහිටා තිබේ.1883 වසරේදී ක්‍රැකටෝවා ගිනිකන්ද බිහිසුණු අන්දමින් පුපුරා ගියේය.
එය 1927 වසරේදී ද පුපුරා ගිය අතර, එහි ප්‍රතිඵලයක් ලෙස, අනක් ක්‍රැකටු දූපත බිහිවිය. ඉන්දුනීසියානු බසින් එහි අර්ථය ‘ක්රැකටෝවාගේ දරුවා‘‘ (“Child of Krakatoa”) යන්නයි.
පසුගිය මාස කිහිපය පුරා අනක් ක්‍රැකටු දුපතෙහි යමහල් ක්‍රියාකාරිත්වය ඉහළ ගොස් තිබේ. මේ අනුව ගිනිකඳු ආවාටය අවට ජීවත් වන ජනතාව එයින් ඉවත් කිරීමට බලධාරීහු නැවත යුහුසුළුව සිටිති.
ඉන්දුනීසියා දූපත් පිහිටා තිබෙන්නේ පැසිෆික් සාගරය තුළ Ring of Fire හෙවත් ‘පැසිෆික් ගිනි වළල්ල‘ තුළ ය. එනම්, පැසිෆික් සාගරය තුළ එකිනෙක සමග නිරන්තරයෙන් සහ ඉතා සෙමෙන් චලනය වන භූ තැටි වෙන්වන කලාප ගණනාවක් පිහිටා තිබේ. ඒවා සාගරය තුළ හෝ ගොඩබිම භූ චලන ලෙස මිනිසාට බලපායි.
සෙනසුරාදා සුනාමි අනතුර ඇති වන විට ඒ පිළිබඳ සුනාමි අනතුරු ඇඟවීම් පද්ධතිය මගින් ඇඟවීම් නොකිරීම බරපතළ කාරණයක් වී තිබේ. මේ නිසා මෙයට හේතුව පැහැදිලි කරමින් ඉන්දුනීසියාවේ ආපදා කළමනාකාර බලධාරීන් විසින් ට්වීටර් පණිවුඩ ගණනාවක් නිකුත් කර තිබිණි.
ඒවාට අනුව, මෙයට හේතුව වී තිබෙන්නේ, ඉන්දුනීසියාව ආශ්රිත සුනාමි අනතුරු ඇඟවීම් පද්ධතිය මගින් අධීක්ෂණය කරන්නේ භූමි කම්පා පමණක් වීමයි. ඒ අනුව නාය යාම් (සාගරය හෝ ගොඩබිම තුළ) සහ ගිනිකඳු (යමහල්) ක්‍රියාකාරිත්වය එයින් අධීක්ෂණය කෙරෙන්නේ නැත.
කෙසේ නමුත් ලෝකයේ පිහිටා තිබෙන ගිනිකඳුවලින් 13%ක්ම තිබෙන්නේ ඉන්දුනීසියානු දූපත් ආශ්‍රිතව ය. මේ නිසා යමහල් ක්‍රියාකාරිත්වයට සංවේදී අනතුරු ඇඟවීමේ පද්ධතියක් වහාම ස්ථාපනය කළ යුතුව තිබෙන බව ද ඔවුහු අවධාරණය කරති.
එසේම මූල්‍ය දුෂ්කරතා, සාගරයේ ජල තත්වය මනින බෝයාවන්ගේ ගැටළු (ඒවා විනාශ වී තිබේ) සහ තාක්ෂණික දෝෂ හේතුවෙන් සාගර සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය ද සතුටුදායක මට්ටමින් සක්‍රිය වී පැවතී නැත.
සුනාමි රළ ඇති වූයේ ඉන්දුනීසියානු වේලාවෙන් පස්වරු 2.30 ට පමණ ය. එදින නිවාඩු දිනයකි. එසේම සාමාන්‍යෙයන් සුනාමියක් හටගන්නා අවස්ථාවේදී සාගරයේ ජල කඳ, සාගරය තුළට ඇදී යාම සිදුවන නමුත් මෙවර එවන්නක් ද සිදු වී නැත. මේ අනුව, ගිනිකන්ද ආශ්රිත මුහුදේ බෝයාවන් තිබුණත්, අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට තරම් වෙනසක් සාගරයේ හටගෙන තිබූ බව සිතිය නොහැක. අවසානයේ සිදුවූයේ බටහිර ජාවා හි ජනප්‍රිය සංචාරක නිකේතන සහමුලින්ම ජලයෙන් යට කරමින්, ගස් මුලිනුදුරා දමමින්, මෝටර් රථ ආදිය ගසාගෙන යන තරම් ප්‍රබල සුනාමි රළ පහරකට වෙරළබඩ ජනතාව ගොදුරු වීමයි.
2018 සැප්තැම්බරයේදී ඉන්දුනීසියාවේ සුලෙවෙසි දූපත්වලට පුද්ගලයන් 2000කට මරු කැඳවන ප්‍රබල භූ කම්පනයක් හට ගත්තේය. එමගින් පාවුළු දූපතට කුඩා සුනාමි තත්වයක් ද ඇති විය. 2004 දෙසැම්බරයේ හටගත් සුනාමිය හේතුවෙන් ඉන්දියානු සාගරය ආශ්‍රිතව වාර්තා වූ මරණ ගණන 228,000 කි. එයින් අති බහුතරය ඉන්දුනීසියානුවන් ය. දන්නා ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව සුනාමි අත්දැකීමට මුහුණ දුන්නේ ද 2004 වර්ෂයේදී ය.
ප්‍රධාන ඡායාරූපය – EarthSky
ක්‍රැකටු ගිනිකන්ද පළමු සුනාමියට පෙර සහ පසු.. මෙම වීඩියෝවෙන් නරඹන්න..