එහෙම කළේ පුතාට ආදරය නැති කමකටත් වඩා අසරණ කමට. එයින් අවුරුදු 38 ක් ගිය තැන, ඒ පුතා ළඟ ලෝකයටම කියන්න ලොකු කතාවක් තිබුණා. වැදගත්ම දෙය, ඒ වන විට ඒ කතාව අසන්නට මුළු ලෝකයම සැදී පැහැදී සිටියා. මේ, ඉක්බාල් මසීහ්ගේ කතාවයි.
ඉක්බාල් මසීහ් ඉපදුණේ 1983 අවුරුද්දේ පාකිස්ථානයේ අන්ත දිළිඳු පවුලක. ඔහුගේ පියා ඔහුව විකුණා දමන්නේ දැඩි සේ රෝගාතුර වී සිටි ඔහුගේ මවට වෙදකම් කරන්නට සල්ලි හොයාගන්නටයි.
එදා ඉක්බාල්ගේ මිල වුණේ ඩොලර් 12 ක්.
ඉක්බාල් ව මිලදී ගත් කෙනා පුංචි ඉක්බාල් ව කාපට් කම්හලක රැකියාවට යැව්වා. ඒක කම්හලකට වඩා වහල් ෆැක්ටරියක් කිව්වොත් නිවැරදියි. ඔහු ළමා වහලෙක් බවට පත් වුණා.
දවසට පැය 12 බැගින් දවස් 7 ම ඔහු වැඩ කළ යුතු වුණා. දවසටම ලැබුණේ විනාඩි 30 ක විවේකයක් විතරයි. දවසක වේතනය සත 3 යි. පුංචි ඉක්බාල් වගේ තවත් දරුවන් ඒ කම්හලේ සිටියා. ඔවුන් විටෙක දම්වැල්වලින් ගැට ගසා තිබුණේ පැන යාම වළක්වන්නටයි.
පියා ඇවිත් ණය පියවන තෙක් ඔහු වහල් සේවයේ සිටිය යුතුයි. එය තමයි, කොන්දේසිය.
නමුත් ණය පියවෙන පාටක් පෙනෙන්නට තිබුණේ නැහැ. ඒ වෙනුවට ණය එන්න එන්නම විශාල වුණා. හේතුව, පොලිය එකතු වීම…
අන්තිමට ඉක්බාල්ට දැනගන්නට ලැබෙනවා, පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ළමා වහල් සේවය රට තුළ නීති විරෝධී කර තිබෙන බව. අවුරුදු 10 දී, ඒ කියන්නෙ වහල් සේවයෙන් අවුරුදු 6කට පසුව ඔහු පැනයන්නට උත්සාහ කරනවා.
පළමු උත්සාහය අසාර්ථකයි. ඔහුව හසු වෙනවා. නැවතත් බුමුතුරුණු කම්හලේ හිමියා වෙතම ගෙන එනවා.
ඒක කළේ පොලිසිය. ඇත්තමට ඉක්බාල් පළමු වතාවේ පැන යන විට පොලිසියට ගොස් ඒ පුද්ගලයා කම්හලේ සේවය කරන ළමුන්ට කොයි තරම් නරක ආකාරයෙන් තළමින් හිරිහැර කරනවාද කියා පොලිසියට කිව්වා. නමුත් පොලිස් භටයා කම්හල් හිමියාගේ මිතුරෙක්. ඉක්බාල්ට නැවතත් පුරුදු අපායටම යන්නට සිද්ධ වෙන්නේ ඒ නිසයි.
පැන ගොස් හසුවූ නිසා ඉක්බාල්ට වැඩියෙන් පහර කන්නට සිද්ධ වෙනවා. ඊට අමතරව අලුත් දඬුවමකුත් ලැබෙනවා. ඔහුට වැඩි හරියක් සිද්ධ වුණේ සාගින්නේ සිටිමින් වැඩ කරන්නටයි.
පොලිස් භටයාගේ උපදෙස්වලට අනුව ඉක්බාල් ව කාපට් යන්ත්‍රයටම තබා දම්වැලකින් බඳින්නටත් කම්හල් හිමියා පසුබට වන්නේ නැහැ.
නමුත් ඉක්බාල් දෙවැනි වතාවටත් පැන යන්නට සමත් වෙනවා.
ඒ වතාවේ ඔහු නතර වෙන්නේ වහල් දරුවන් ව සිට, පළා ගිය දරුවන් වෙනුවෙන්ම වෙන් වූ පාසලක.
ඉක්බාල් අති දක්ෂ දරුවෙක්. ඔහුට වෙහෙස වී වැඩ කිරීම ගැන අමුතුවෙන් කියා දෙන්නට දෙයක් තිබුණේ නැහැ. ඔහු මේ පාසලේදී අවුරුදු 4 ක පාඨමාලාව අවුරුදු 2 න් සම්පූර්ණ කරනවා.
එදා පටන් ළමා වහල් සේවය ලෝකයෙන් තුරන් කිරීම ඔහුගේ ජීවිතයේ එකම සටන් පාඨය වුණා. ඔහු ලොව පුරා යමින් තමන්ගේ අත්දැකීම් ගැන කතා කරන්නට පටන් ගත්තා. මුළු ලෝකයම ඔහු ගැන සෙමෙන් සෙමෙන් දැන ගත්තා.
වයස අවුරුදු 12 වන විට ඉක්බාල්, පාකිස්ථානයේ ළමා වහල් සේවයට එරෙහිව ක්‍රියාකරන පෙරමුණක ප්‍රධාන නායකයෙක් බවට පත්වුණා.
ඔහු ස්වීඩනයට සහ ඇමරිකාවට ගියා. ළමා වහල් සේවය ලෝකයෙන් තුරන් කිරීම ගැන කතා කළා. ඔහුට උවමනා වුණේ නීතීඥයෙක් වෙන්නයි. මේ ලෝකයේ අයුක්තිය, අසාධාරණය ගැන වයසට වඩා දැනුමක් ඔහුට තිබුණා. ළමා වහල් සේවය මුලිනුපුටා දැමූ ලෝකයක් ගැන ඔහු සිහින මැව්වා.
1994 වසරේදී ඉක්බාල්, ඇමරිකාවේ බොස්ටන් නගරයේදී රීබොක් මානව හිමිකම් ත්‍යාගය දිනා ගත්තා.
නමුත් අවසානයේ, 1965 අප්‍රේල් 16 වැනිදා ඔහුව මරා දැමුණා. ඒ වන විට ඔහුගේ වයස යන්තමින් අවුරුදු 12 යි. ඔහු ඇමරිකාවට ගොස් ආපසු නිවසට එමින් සිටින අතරවාරයේ හෙරොයින්වලට ඇබ්බැහි වී සිටි අෂ්රෆ් හීරෝ නමැති පුද්ගලයෙක් ඔහුට වෙඩි තබනවා.
මේ මරණය සිදුකරවා තිබනේනේ ළමා වහල් සේවය අවසන් කිරීමට වැඩ කිරීම නිසා ඔහු ගැන වෛරයෙන් පසුවූ ව්‍යාපාරිකයෙක් විසින් බව පසුව හෙළි වුණා.
ඉක්බාල් සදහටම දෙනෙත් පියා ගත්තා.
නමුත් ඉක්බාල් මේ දුෂ්ට ලෝකය වෙනස් කරන්නට ගෙන ගිය අරගලය අපතේ ගොස් තිබුණේ නැහැ. ඔහුගේ මරණින් පසු එය තවත් ශක්තිමත් වූ බව කිව හැකියි. කැනඩාවේ ‘ෆ්‍රී ද චිල්රන්‘ වැනි සංවිධාන ඉක්බාල්ගේ සිහිනය සැබෑ කරන්නට ඇප කැප වුණා. ඔවුන් ඉක්බාල් ෂහීඩ් ළමා පදනම පිහිටෙව්වා. පාකිස්ථානය පුරා ළමා වහලුන් වෙනුවෙන් පාසල් 20 ක් එමගින් ආරම්භ කළා.
අද සිටියා නම් ඉක්බාල්ගේ වයස අවුරුදු 36 ක්.
මේ, අද ලෝකයට වඩ වඩාත් ඉක්බාල් ලා අවශ්‍ය වී තිබෙන යුගයක්.