×

9 ගුණයක් සූර් වී සිටි ජපන් ගුවන් නියමුවාට සිර දඬුවම්

නියමිත ඇල්කොහොල් ප්‍රමාණයට වඩා 9 ගුණයක් මධ්‍යසාර ශරීරගත කරගෙන සිටියදී පසුගිය ඔක්තෝබර් මාසයේ අත්අඩංගුවට ගත් ජපන් ගුවන් නියමුවා ට සිර දඬුවම් නියම කර තිබේ.


ජපන් ගුවන් සේවය (JAL) ට අයත් ගුවන් යානාවක නියමු අසුන භාරගැනීමට සිටියදී ලන්ඩනයේ හීතෘෘ ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත් වූ ඔහු 42 හැවිරිදි කත්සුතෝෂි ජිට්සුකාවා (Katsutoshi Jitsukawa) ය.

අයිල්වර්ත් අධිකරණය විසින් ඔහුට මාස 10 ක සිර දඬුවමක් නියම කෙරිණි.

පසුගිය ඔක්තෝබර් 28 වැනිදා ගුවන් යානය පණ ගැන්වීමට විනාඩි 50කට පෙර ආශ්වාස පරීක්ෂණයට ලක් කළ ඔහුගේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය, රුධිර මිලි ලීටර 100කට ඇල්කොහොල් මිලිග්‍රෑම් 189 ක් විය. ගුවන් නියමුවන් සඳහා ප්‍රමිතිගත ඇල්කොහොල් සාන්ද්‍රණය වන්නේ රුධිර මිලිලීටර 1කට ඇල්කොහොල් මිලිග්‍රෑම් 20 ක් පමණි. මේ අතර, එංගලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තයේදී රිය පදවන්නන් සඳහා මෙම සීමාව මිලිග්‍රෑම් 80 කි.

‘‘ඔබ පළපුරුදු ගුවන් නියමුවෙක්. නමුත් ගුවන් යානය පිටත් වන්නට මද වේලාවක් වන තෙක්ම, ඔබ බොහෝ වේලාවක් මත්පැන් පානය කර තිබෙනවා. වඩාත් වැදගත් වන්නේ පැය 12කටත් වඩා අධික කාලයක් ගුවන් යානය තුළ සිටිය යුතු ගුවන් මගීන්ගේ ජීවිතයි. ඔබේ බේබදුකම සහ බීමත් කම නිසා ඔවුන්ගේ ආරක්ෂාව අවදානමට පත් වී තිබුණා‘‘ යැයි විනිසුරු මැතිව් පිලිප්ස් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේය.

‘‘ගුවන් යානය පාලනය කර ගැනීමට ඔබට තිබෙන හැකියාව ප්‍රමාණවත් නැහැ. එමගින් ගුවන් මගීන්ට ඉතාම භයානක විනාශයක් අත්වන්නට ඉඩ තිබුණා..“

ලන්ඩනයේ හීතෘෘ ගුවන් තොටුපොළේ සිට තෝකියෝ නුවර දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ මෙම ගුවන් යානයේ නියමුවා අත්අඩංගුවට ගනු ලැබුවේ ගුවන් යානය වෙත ගමන් ගනිමින් සිටියදී ඔහුගෙන් මත්පැන් ගඳ වහනය වීම, බීමතින් සිටින බව පෙනී යාම සහ, ඇස්වල දිලිසුම හේතුවෙනි. එසේම ඔහු ඒ අවස්තාවේදී ‘කෙළින් සිට ගැනීමට පවා අසමත්ව සිටි බව‘ හීතෘෘ ගුවන්තොටුපොළේ නිලධාරියෙක් පවසයි.

මෙහිදී ඔහු විසින් කර තිබූ වරද සැඟවීම සඳහා ඔහුගේ සහායක කාර්ය මණ්ඩලය උත්සාහ නොකිරීම සහ නඩු විභාගයේදී ඔවුන් විසින් නීතියට සහාය ලබාදීම ද කැපී පෙනුණි.

මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම සිදුවීමෙන් පසු ජපන් ගුවන් සේවය විසින් සිය නියමුවන් සඳහා දැඩි නීති හඳුන්වා දී තිබේ.

පෙර ලිපිය –

9 ගුණයක් සූර් වූ ගුවන් නියමුවෙකු ලන්ඩනයේදී අල්ලයි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි