×

බබාට හිට්ලර්ගේ නම තියන නූතන ‘නාසි පුතාලා‘

‘නියෝ නාසි‘ හෙවත් ‘නූතන නාසි‘ ව්‍යාපාරයේ රසිකයන් හා සාමාජිකයන් වූ එංගලන්ත යුවළක් විසින් තමන්ගේ අලුත උපන් බිළිඳාට ‘ඇඩොල්ෆ්‘ යනුවෙන් නම තැබීම නිසා ඔවුන්ව සිරගත කෙරිණි.


ඔවුන් එසේ ඇඩොල්ෆ් නම තබා තිබෙන්නේ, නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් සිහිපත් වන්නට ය. ‘ඇඩොල්ෆ්‘ යන්න මේ බිළිඳාගේ පළමු නම නොව මැද නමයි.

මේ මාපිය යුවළ National Action නමැති අන්ත දක්ෂිණාංශික ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් ය. ‘නැෂනල් ඇක්ෂන්‘ සංවිධානය ත්‍රස්ත සංවිධානයක් සේ සලකා බ්‍රිතාන්‍යය තුළ තහනම් කෙරුණේ 2016 වසරේදී ය.

බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් පළාතේ පදිංචි මේ දෙදෙනාගෙන් එක් අයෙක් 22 හැවිරිදි ඇඩම් තෝමස් (Adam Thomas) නමැති තරුණයෙකි. ඔහුගේ සහකාරිය, 38 හැවිරිදි ක්ලෝඩියා පැටාටාස් (Claudia Patatas) ය. 2016 නොවැම්බරයේදී අන්තර්ජාලය හරහා හමුවූ මේ දෙදෙනා, එයින් මාස 6කට පසුව එකට ජීවත් වීමට පටන් ගෙන ඇත.

මේ දෙදෙනා අතරින් ඇඩම් තෝමස්, හිට්ලර්ව ‘අදහන‘ තරමට ඔහුව භක්තියෙන් පුදන අයෙක් බවට ඔහු විසින්ම පාපොච්චාරණය කර තිබේ. බර්මින්හැම් ක්‍රවුන් අධිකරණයේ පුරා සති 7ක කාලයක් විභාග වූ මේ නඩුවේදී ජර්මනියේ නාසි නායකයාට තමන් බෙහෙවින් ගරුකරන බව තෝමස් ජුරි සභිකයන් හමුවේ කියා සිටියේය.

ඔවුන් දෙදෙනා විසින් හිට්ලර්ගේ ධජය වන ස්වස්තිකය සහිතව අලුත උපන් බිළිඳා ද සමග ඡායාරූපවලට පෙනී සිට ඇත. තමන්ගේ නාසි අනන්‍යතාවය සංකේතවත් කරන ඡායාරූප ඇල්බමයක් ද ඔවුන්ගේ නිවසේ තිබී හමුවිය. එම ෆැමිලි ඇල්බමයේ, ඇමරිකාව කේන්ද්‍රකරගෙන නිර්මාණය වූ ‘කූ ක්ලුක්ස් ක්ලැන්‘ (KKK) සුදු අන්තවාදී සංවිධානයේ නිල ඇඳුම තෝමස් විසින් හැඳගෙන සිටින අයුරු ද දැක්වෙයි.

ඊට අමතරව The Anarchist Cookbook නමැති බෝම්බ සාදන අත්පොතක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ද ඔහු චෝදනා ලබා සිටියි.

පෘතුගීසි ජාතික කාන්තාවක් වන ක්ලෝඩියා, වරක් එම සංවිධානයේ සාමාජිකයන් සමග, ‘සියලු යුදෙව්වන් මරාදැමිය යුතු‘ බවට කළ සඳහන් ද නඩු විභාගයේදී සැලකිල්ලට ගැනිණි.

ඇය කලක් විවාහ මංගල උත්සවවල ඡායාරූප ශිල්පිනියක ලෙස කටයුතු කළ අයෙකි. වරක් ඇය සිය උපන්දිනය සමරා තිබෙන්නේ හිට්ලර්ගේ රූපය සහිත කේක් ගෙඩියක් කැපීම මගිනි. ‘‘මට ඔහුගෙ මුහුණ කෑලිවලට කපන්න අසීරු වුණා. ඇඩොල්ෆ් තවම ජීවමානයි“ යනුවෙන් පසුව ඇය නැෂනල් ඇක්ෂන් සංවිධානයේ සාමාජිකයන්ට ලිපියක් යවමින් කියා තිබිණි.

මේ අතර, තෝමස් විසින් විවිධ අවස්ථාවලදී පෝස්ට් පළ කර තිබෙන්නේ සරණාගතයන්, කළු ජාතිකයන්, මිශ්‍ර සම්භවය ඇති දරුවන් සහ සමරිසියන් මරා දැමිය යුතු බව කියමිනි.

ත්‍රස්ත මර්දන පොලිසිය විසින් ඔවුන් ජීවත් වූ නිවස වටලෑ අවස්ථාවේදී නාසි ධජ, කූ ක්ලුක්ස් ක්ලැන් කල්ලියේ ඇඳුම් මෙන්ම ෆැසිස්ට්වාදී සංකේත රැසක් ද සොයා ගැනිණි. ඒ අතර ස්වස්තික සලකුණ සහිත කුෂන් කවර සහ පේස්ටි කටර් ද විය.

නඩු විභාගය අවසානයේ නැෂනල් ඇක්ෂන් සංවිධානයේ මිඩ්ලන්ඩ්ස් ශාඛාවේ ප්‍රධාන සාමාජිකයා වශයෙන් හඳුනාගත් 27 හැවිරිදි ඩැනියෙල් බොගුනොවික් නමැති තවත් අයෙක් ද වරදකරු කෙරිණි.

මේ අය දැනට ඇප මත නිදහස් කර ඇතත්, නුදුරේදීම දිනයකදී නඩුව නැවත කැඳවා සිර දඬුවම් නියම කරනු ඇත.

බ්‍රිතාන්‍යය තුළ නැෂනල් ඇක්ෂන් සංවිධානය තහනම් කිරීමට හේතු වූයේ 2016 අගභාගයේදී ලේබර් සභික ජෝ කොක්ස් (Jo Cox) ව අන්ත දක්ෂිණාංශික ත්‍රස්තවාදියෙකු විසින් ඝාතනය කිරීමෙන් පසුව ය. තෝමස් -ක්ලෝඩියා යුවළ මෙම සංවිධානය තහනම් කිරීමට පෙර අවස්ථා ගණනාවකදී එම සංවිධානයේ රැස්වීම්වලට ද සහභාගි වී ඇති බව තහවුරු වෙයි.

තහනම් කර තිබුණ ද නැෂනල් ඇක්ෂන් සංවිධානය නොයෙක් නම්වලින් තවමත් රට තුළ ක්‍රියාත්මක ය. ‘සුදු ජිහාඩ්‘ යනුවෙන් ද මෙම සංවිධානය හඳුන්වයි. ඔවුන් පවසන්නේ සුදු ජාතියන් ශ්‍රේෂ්ඨ ය යන මතය පැතිරවීම සඳහා ශුද්ධ වූ යුද්ධයක් ප්‍රකාශයට පත් කිරීමට තමන් සූදානම් වන බවයි.

මෙම සිදුවීම, තවත් එක් හුදෙකලා සිදුවීමක් නොවේ. සුදු ජාතිකයන් ශ්‍රේෂ්ඨ බවට හැඟීම, සුළුතරයන් නොඉවසීම, මිශ්‍ර ජාතීන් හා සංක්‍රමණිකයන් කෙරෙහි වෛරය යනාදිය අන්තවාදිත්වයේ නිසැක ලක්ෂණයන් ය. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ‘සුදු ජාතිකයන් ශ්‍රේෂ්ඨයි‘ යනුවෙන් ගෙන ප්‍රොපගැන්ඩාව සහ බටහිර යුරෝපය හා ලතින් ඇමරිකාව පුරා පැතිර යමින් තිබෙන අන්ත දක්ෂිණාංශික රැල්ල විසින් මෙවැනි ප්‍රවණතාවලට ගිනි පිඹිමින් සිටියි.

නීතියේ රැහැනට හසු වූ තෝමස්-ක්ලෝඩියා යුවළ මෙන්, අලුත උපන් දරුවාගේ මුහුණින් පවා හිට්ලර් දකින පුද්ගලයන් තව කී දෙනෙක් මේ ලෝකයේ සිටිනවාද? ලෝකයේ සාමය, සහජීවනය හා සංහිඳියාව බිඳී යන්නේ මෙවැනි අන්තගාමීන් නිසා ය.

මෙම යුවළ විසින් ජාතිවාදී නත්තල් සුබපැතුම් පවා පරිහරණය කර තිබේ. එයින් එකක දැක්වෙන්නේ KKK සාමාජිකයන් ගේ ඡායාරූපයකි. එම ඡායාරූපය සමග මෙම පණිවුඩය ද දැක්වේ. “May All Your Christmasses Be White” – ‘‘ඔබේ සියලු නත්තල් සුදු වේවා!“

නත්තලේ සැබෑ පණිවුඩය වන සාමය ලොවට බෙදූ ජේසු බිළිඳා, ඒ සාමයේ පණිවුඩය ජාතීන්, ජනවර්ග අතර බෙදීම් ඇතිකිරීම සඳහා මෙසේ විකෘති කර තිබෙන ආකාරය දුටුවා නම් ඉපදෙන එකක් ද නැත!

හිට්ලර්ම ආත්මය කොටගත් එංගලන්තයේ නූතන නාසියෝ – හිට්ලර් අදහන උමතු මිනිසුන් ගැන විශේෂ ලිපියක් බලාපොරොත්තු වන්න.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි