×

මම මා ලෙස පිළිගන්න – ඉන්දීයාව සමරිසිභාවය තවදුරටත් නීතිමය අපරාධයක් නොවන බවට තීන්දු කරයි!

බිලියන 1.3 ක ජනතාවක්, ලෝකයේ විශාලතම ආගම් ප්‍රමාණය, ලෝකයේ විශාලතම සංස්කෘතික අනන්‍යතා ප්‍රමාණයක් ඇති අසල්වාසී රට ඊයේ දිනය ලෝක සිතියමට ඓතිහාසික දිනයක් එක් කළේය.


ඒ ඉන්දියාව බ්‍රිතාන්‍ය කොළණියක්ව, යටත් විජිතයක්ව පැවතියදී 1861 වර්ෂයේදී හඳුන්වා දුන් දණ්ඩ නීති සංග්‍රහයේ අමානුෂිකම නීතිය බල රහිත කරවමිනි. බ්‍රිතාන්‍යයින් විසින් ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි වැනි රටවල් යටත් කරගෙන පාලනය කළා පමණක් නොව, මිනිසුන්ගේ ආදරය කිරීමේ, ජීවත්වීමේ, ජීවිතය බෙදාගැනීමේ අයිතිවාසිකම් පවා උල්ලංඝණය කළේ විවිධ නීති දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කර එමගින් මනුෂ්‍ය චර්යාව පාලනය කිරීම මගිනි. ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය මගින් උදුරාගත් මිනිස් ජීවිත ප්‍රමාණය මෙතෙකැයි පැවසිය නොහැකිය. කොතරම් මිනිසුන් ප්‍රමාණයක් ආදරයේ නාමයෙන් හිරිහැරයට, දණ්ඩනයට, කායික හා මානසික පීඩනයට පත්වන්නට ඇත්දැයි පැවසිය නොහැකිය.

උපතින් හිමිවන ලිංගික දිශානතිය මත තමන්ගේම ලිංගිකත්වයට අයත් මිනිසෙකුට ආදරය කිරිමට පැවති අයිතිය හෙවත් සමරිසි සම්බන්ධතා නීතිමය වශයෙන් තහනම් කරමින් අපරාධයක්ව පැවති ඉන්දීය සමාජය අද සැනසුම් සුසුම් හෙළන්නේ, ලේ, කඳුළු, දහඩිය මැදින් සියවස් එකහමාරක් පමණ ඔවුන් විඳි වේදිනා සියල්ලටම නීතිමය සාධාරණයක් ලැබීම නිසාය. ඒ, ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සමරිසිභාවය අපරාධයක් නොව මිනිසුන්ට ආදරය කිරීමට හා ස්වභාවිකව ජීවත් වීමට ඇති අයිතියක් බව තහවුරු කරමින් ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය බල රහිත කිරීම මගිනි. ඒ අනුව ඉන්දියාව දකුණු ආසියානු කලාපය තුළ පමණක් නොව ආසියාතික කලාපය තුළද සමරිසි මිනිසුන්ගේ මානුෂීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය වෙනුවෙන් විශාල ඉදිරි පිම්මක් පැන්න රටක් වශයෙන් ඉතිහාසගත වනු ඇත. එය ලෝකයේ බොහෝ රටවල් වලට ආදරය කිරීම හා නිදහස් ලිංගිකත්වයට බාධා ඇති කළ එංගලන්තයට කනේ පහරක් ගැසීමක් පමණක්ම නොවේ. තාක්ෂණික වශයෙන්, ආර්ථික වශයෙන්, සමාජමය වශයෙන් කෙමෙන් කෙමෙන් දියුණුවේ හිනි පෙත්තට නගිමින් සිටින, විවිධ පරාසයකින් යුත් සංස්කෘතික හා ආගමික විෂමතාවයකින් පෙළෙමින් සිටින ඉන්දියාව වැනි රටක් ශ්‍රී ලංකාව වැනි දූපත් මානසිකත්වයෙන් පිරුණු මිනිසුන් සිටින රටකට ද එල්ල කළ කනේ පහරක් වන බැවිනි. එය නියමම නියම කනේ පහරක් වන්නේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය, ලෝකයේ ඇති අති උත්තම හා පරම අයිතිය බව සැලකීමට තරම් ප්‍රබුද්ධ ස්වාධීන අධිකරණ ක්‍රමයක් හා නිදහස් මනසින් හා උණුසුම් ළෙංගතුකමින් පිරුණු හදවත් සහිත විනිශ්චය කරුවන් සිටින රටක් ඔවුන්ට හිමිව තිබියදී, තවමත් එකිනෙකා සමග කා කා කොටාගනිමින් ටොයිවාදය හා බයිවාදයට උරණ වන, ලිංගික යන වචනය ඇසුණු ඇසින් ශුක්‍රාණු සමග ඩිම්බ සිහිනෙන් පෙනෙන මිනිසුන් සිටින රටක අප ජීවත් වන බැවිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මොනවා කියූව ද, අන්තර් ජාතික මනෝ විද්‍යා සංගමය සමරිසිභාවය යනු සාමාන්‍ය මිනිස් හැසිරීමක්ය යනුවෙන් පැවසූවද, එය ටොයිවාදයෙන් එහාට සිතීමට තරම් මොළ නොමැති, බයිවාදයෙන් සියල්ල දකින්නට උත්සාහ කරන විට සමරිසියන් අමුතුම අමුතු සත්තු කොට්ඨාශයක් ලෙස පෙනෙන අමුතුම අමුතු කරුම කොදෙව්වක අප ජීවත්වනවාය යන අපුල අද දිනයේදී දැනෙන්නට වූයේ ඉන්දියානු අධිකරණ තීන්දුවත් සමග ලංකාවේ සමහර උන්මතකයින් හැසිරුණ ආකාරය හා මුහුණු පොත ඇතුළු විවිධ සමාජ ජාල වල හැසිරුණු ආකාරය දකින විටය. ජාතියක් වශයෙන් අප මහා ගෝත කරුම ජාතියක් වන්නේ ගරු කළ යුතු තැනට ගරු කිරීමටවත් නොදන්නා කම නිසාම පමණක් නොවේ. ගරු කිරීම යන වචනය පවා නොදන්නා ඔලමොට්ටලකම් වලින් හිස උදුම්මාගෙන සිටින නිසාය.

බ්‍රිතාන්‍යය විසින් යටත් විජිත බවට පත්ව තිබූ සියලුම රටවල් වල පාහේ සමරිසිභාවය අපරාධයක් ලෙස සලකනු ලැබූ අතර පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් අතුරින් අද දිනයේදී ඉන්දියාව ඇතුළු රටවල් 17 ක් සමරිසිභාවය නීතියෙන් තහනම්ය යන්න ඉවත් කරගෙන තිබේ. තවමත් සිංගප්පූරුව, කෙන්යාව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 36ක පමණ සමරිසිභාවය නීතියෙන් අපරාධමය වරදක් ලෙස සලකනු ලබයි. මෙම රටවල් 36 ඇතුළු ලෝකයේ සමරිසිභාවය අපරාධයක් ලෙස සලකන සියලුම රටවල් වලට අද දිනයේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව විශාල පාඩමක් බවට පත් කරගත හැකිය. නඩු තීන්දුව ලබාදෙමින් ඉන්දීය අගවිනිසුරු දීපක් මිශ්‍රා අපුර්ව ප්‍රකාශයක් කළේය. “ මම මා ලෙස පිළිගන්න”

“ලිංගික ක්‍රියාකාරකම් සාපරාධිකරණයට ලක් කිරීමම අපරාධයක්. එය අන්තනෝමතික පමණක් නොවෙයි. පැහැදිලිවම ව්‍යවස්ථා විරෝධීයි.”

ඔබ ආදරය කරන්නේ කා හට ද? ඔබ ලිංගිකව හැසිරෙන්නේ කා සමගද යන්න ඔබගේ අතිශය පෞද්ගලික කාරණාවක් වන නිසා මිනිසෙකු වශයෙන් උපත ලබා ඇති ඔබගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය ජන සමාජය තුළ ආරක්ෂා කාරී විය යුතුය, තහවුරු විය යුතුය. අද දින ඉන්දීයාවේ විසිරී සිටින ලක්ෂ සංඛ්‍යාත සමරිසි ප්‍රජාව දිනාගත්තේ ආදරය කිරීමේ නිදහස් අයිතිය පමණක්ම නොවේ. ඔවුහු මිනිසුන්ගේ අතිශය පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් නීතියට හා රාජ්‍යයට පවා අත පෙවිය හැකි සීමාවක් පවතින බව ලෝකයට ඒත්තු ගැන්වීමේ සටන ජය ගත්හ. එමෙන්ම එකා මෙන් නැඟී සිටිය හොත් ජය ගත නොහැක්කක් නොමැත යන්න නැවත නැවත ලෝකයට ඔප්පු කර පෙන්නූහ. ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තියත් ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365අ වගන්තියත් අතර වෙනසක් ඇත්නම් ඒ කෙස් ගසක පමණ අකුරු ප්‍රමාණයක වෙනසක් පමණි. එහෙත් ඉන්දියාවට ඇති මොරාල් එක අපට නැත. ඉන්දියාවේ සමරිසි ප්‍රජාවගේ බිඳ දමා තිබුණු කොන්ද ආදරයේ හා බලාපොරොත්තුවේ තෙල් බෙහෙත් ගල්වා සෘජු කළා සේ සුව කිරීමට තරම් හපන් සිවිල් සමාජ බලයක් අපට නැත. කෙටියෙන්ම පැවසුවහොත් ඉතිහාසයේ සිටම නිදහස පවා නිකම්ම ලැබෙනකම් දත කට පූට්ටු කරගෙන ටොයි බයි සෙල්ලම කරමින් සමරිසි නිදහසත් නිකම්ම නිකම්ම දවසක ලැබෙනකම් සිටීම තරම් ලල් එකක් අපට තවත් නැත.

චක් දේ ඉන්ඩියා!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි