×

ලොව පළමු බෝයිං 777 යානාවත් ගුවන් යානා සුසානයට!

ලොව පළමු බෝයිං 777 වර්ගයේ ගුවන් යානය විශ්‍රාම ගන්වනු ලැබිණ. දැන් මෙය ඉසිඹුලන්නේ ගුවන් යානා කෞතුකාගාරය හෙවත් ගුවන් යානා සුසානයේ යැයි ද කිව හැක.


ලෝක ප්‍රකට බෝයිං සමාගම නිෂ්පාදනය කළ 777 වර්ගයේ පළමු යානයේ අයිතිය පැවැතියේ හොං කොං හි කැතී පැසිපික් සමාගමටයි. 1994 වසරේදී නිෂ්පාදනය කෙරුණු එම 777-200 වර්ගයේ යානය කැතී පැසිපික් සමාගම මිලදී ගෙන තිබෙන්නේ 2000 වසරේදී බව සඳහන් වේ. එසේ වුවත් යානයේ මංගල ගුවන් ගමන සිදුවුණේ 1994 වසරේ ජුනි 14වැනිදාය. එවක් පටන් කැතී පැසිපික් සමාගම මිලදී ගන්නා තුරු ම යානය පරීක්ෂණ ධාවනයන් සඳහා යොදා ගැනුන බව සඳහන් වේ.

CNN

CNN

කැතී පැසිපික් සමාගම මිලදී ගැනීමෙන් පසු මේ යානය මඟී ප්‍රවාහනය සඳහා යොදවනු ලැබිණ. විශ්‍රාම ගන්වන මොහොත එළඹෙන විට යානය ගුවන් ගමන් වාර 20,519කට යොදාගෙන තිබුණේ ය. වසර විසි හතරකට ආසන්න කාලය තුළ එය පැය 49,687ක කාලයක් ධාවනයෙහි යොදවා තිබුණු බව සඳහන් වේ.

යානයෙහි විශ්‍රාමික කාලය ගත වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනාහි පිමා ගුවන් සහ අභ්‍යවකාශ කෞතුකාගාරයෙහිය. ඒ සඳහා යානය හොංග් කොංග්හි සිට ඇමෙරිකාවේ ටක්සන් වෙත පසුගියදා පියාසර කර තිබිණ.

ඇරිසෝනා හි පිහිටා තිබෙන ගුවන් යානා සුසානය

ඇරිසෝනා හි පිහිටා තිබෙන ගුවන් යානා සුසානය

” … 777-200 ගුවන් යානය පසුගිය දශක දෙක පුරා ඉතාමත් ඉහළ මට්ටමෙන් ධාවනය වුණා. අපි මේ යානය විශ්‍රාම ගැන්වූවා. මහත් ආශාවෙන් අප දැන් බලා සිටින්නේ නව 777-9 යානය 2021 වසරේදී පිළිගන්න. …” යැයි කියා කැතී පැසිපික් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී රූපර්ට් හොග් මාධ්‍යයට පවසා තිබිණ.

777-9 යනු බෝයිං සමාගමේ නවතම යානා මාදිලියයි. එකී මාදිලියේ යානයක් පළමුවෙන්ම ගුවන් ගත කෙරෙනු ඇත්තේ 2019 වසරේදී ය.

බෝයිං 777 යානය යොමු කෙරුණු පිමා ගුවන් සහ අභ්‍යාවකාශ කෞතුකාගාරයේ ගුවන් යාන 350කට ආසන්න සංඛ්‍යාවක්‍ විශ්‍රාමික සුවයෙන් පසුවන බව සඳහන් වේ. සිවිල් සහ මිලිටරි ආකාශ තරණ ඉතිහාසය පුරා නිෂ්පාදනය කෙරුණු සුවිශේෂ යානා විශාල සංඛ්‍යාවක් එහිදී දැක බලාගන්නට පුළුවන. සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා මේ කෞතුකාගාරය මහජනයා සඳහා විවෘතව තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි