×

තවමත් අබිරහසක් වූ චීනයේ අඟුටුමිට්ටන්ගේ ගම්මානය

විද්‍යාව දියුණු වූවාට අනාවරණය කරගන්නට බැරි කාරණා ලෝකයේ ඕනෑ තරම් ඇත. චීනයේ අඟුටු මිට්ටන්ගේ ගම්මානයේ අබිරහසත් විද්‍යාවෙන් පවා විස්තර කරගන්නට බැරිවුණු එවැනි රහසකි.


අඟුටුමිට්ටන්ගේ මේ ගම්මානය පිහිටියේ නිරිත දිග චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ ය. ඒ ගම්මානය නමින් යැන්ග්සිය. dwarf village yangsi

යැන්ග්සි, හුදකලා සහ දුෂ්කර ගම්මානයක් හැටියට හඳුන්වා දුන්නාට වරදක් නැත. ඟුටු මිටි මිනිසුන් නිසා ලෝක ප්‍රකට වුණු මේ ගමේ ජීවත්වන උසම ගම්වැසියාගේ උස අඩි තුනයි අඟල් දහයකි. වාර්තාවන අන්දමට එහි වෙසෙන මිටිම පුද්ගලයා අඩි දෙකයි අඟලක් උසැතිය. ගමේ සමස්ත ජනගහනයෙන් සියයට හතළිහක පිරිසකගේ උස මේ අතර පරාසයේ ඇති බව සංඛ්‍යා ලේඛනවලින් දැක් වේ. සංඛ්‍යාත්මකව දැක්වුවහොත් එහි වසන අඟුටු මිටි මිනිසුන් සංඛ්‍යාව අසූවක් පමණ ය. මේ පිරිස අද වනවිට එවැනි සංඛ්‍යාවකට අඩු වුවත්, 1997 වසරේදී කුරු පුද්ගලයෝ 119කට ආසන්න සංඛ්‍යාවක් එහි විසූහ. මේ කාරණය සමඟ තවත් දෙයක් සඳහන් කළ යුතුව ඇත. එනම්, මෙහි පදිංචිව සිටින කුරු මිනිසුන් චීනයේ විවිධ ප්‍රදේශවලින් පැමිණ මෙහි පදිංචි වී නැති අයවළුන්ය යන්නය. වෙනත් විධියකට කිවහොත් ගමේ ජනගහනයෙන් සියයට හතළිහක් තරම් වන ඒ කියන පිරිස යැන්ග්සි ගමේම ඉපිද ඒ ගමේම හැදුනු වැඩුනු අයය යන්නයි. ඒ වගේම ගමේ පරම්පරා කිහිපයක සාමාජිකයන්ගේ තතු විවරණය කරගත්ත ද ඔවුනුත් යැන්ග්සිහිම ඉපිද එහිම හැදුනු වැඩුණු අය බව අනාවරණය කර ගත හැකිව තිබේ.

PanArmenian

PanArmenian

යැන්ග්සිහි ජීවත්වන මිටි මිනිසුන් ගැන සමාජය කතාකරන්නට පටන් ගත්තේ දැනට සෑහෙන් කලකට ඉහත සිටය. ඇත්තටම කිවහොත් එහි මිටි මිනිසුන් වෙසෙන බව 1911 වසරේදීත් වාර්තා වී ඇත. නමුත් ඒ සම්බන්ධ ලිඛිත සාක්ෂි හමුවන්නේ 1951වසරේ සිටයි. එම තිබෙන්නේ ආචාර්ය කරිල් රොබින්ස් නැමැති බටහිර විද්‍යාඥයෙකි. 1947 වසරේදී ආචාර්ය කරීල්ට නිරීක්ෂණය කරන්නට ලැබුණු යමක් මේ සටහනට පදනම වී ඇත. එදා ඔහුට නිරීක්ෂණය කරන්නට ලැබී ඇත්තේ යැන්ග්සි ගම්මානයෙහි ජීවත්වන පිරිසෙන් සිය ගණනක්දෙනා මිටි භාවයෙන් පෙළෙන බවය. ගම්වැසියන්ගේ අත් පා අසාමන්‍යය ලෙස කුඩා බැව් ඔහුට පෙනී ගොස් ඇත. මේ “අමුතු” තත්ත්වය දැකීමෙන් මහත් කම්පාවට පත් ආචාර්ය කරීල් ඒ වහාම කිසිවක් නොලිව්ව ද එයින් වසර කිහිපයකට පසු – එනම් 1951 වසරේදී ඔහු ඒ සටහනක් තබන්නට අමතක කර නැත.

සාමාන්‍යයෙන් අඟුටු මිටිභාවය පිහිටන්නේ ජනගහනයේ විසි දහසකට එක් පුද්ගලයකුට බව විද්‍යාඥයෝ පවසති. එහෙව් කල මෙවැනි අසම්මත තත්ත්වයක් පවතින්නේ කෙසේ ද යන්න විග්‍රහ කරගැනීම දුෂ්කරව තිබේ. මේ දුෂ්කරතාව විද්‍යාඥයන්ව කෙතරම් ලොකු අමාරුවක දමා ඇත්දැයි කියා කිවහොත් ගමේ පර්යේෂණයට ලක් නොවුණ දෙයක් නැති තරම්ය. පුද්ගලයන්ගේ අඟුටු මිටිභාවය ගැන විද්‍යාත්මකව සොයා බලන්නට හැකි වන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ ජාන පරික්ෂා කර බැලීමෙන් නොවේදැයි කියා දැන් ඔබට සිතෙන්නට පුළුවන. නමුත් යැන්ග්සිහි පවත්නා තත්ත්වය හරියටම හෙළිදරව් කරගන්නට විවිධ අංශවල විද්‍යාඥයන් එහි පැමිණ පර්යේෂණ පවත්වා තිබේ. යැන්ග්සිහි ගස්, ගල්, පස මෙන්ම භාවබෝග, ජලය යනාදී සෑම සියලු දෙයක්ම විවිධ විෂය ක්ෂේත්‍රයන්ට අයත් විද්වතුන් අතින් ඒ අනුව පර්යේෂණයන්ට ලක්ව ඇත. ඒ විධියට පර්යේෂණ පැවැත් වූ සෑම විද්‍යාඥයකුම කියා තිබෙන්නේ එකම එක විධියක කතාවකි. එනම්, ඔවුන් පරික්ෂාවට ලක් කළ එකම කාරණයක්වත් යැන්ග්සිහි ගම්වැසියන් තුළ අඟුටුභාවය ඇතිකරන්නට ඍජුව හෝ වක්‍රව හෝ සම්බන්ධ නොවන බවය.

Eastasy

Eastasy

පර්යේෂණ පැවැත් වූ මේ විද්‍යාඥයන් සියලුදෙනාම දේශීයවිද්‍යාෂඥයන් වීම තවත් විශේෂත්වයකි. යැන්ග්සි ගම්මානයට ඇතුළු වී පර්යේෂණ පවත්වන්නට විදේශීය විද්වතුන්ට චීන රජය මං අහුරා තැබීම එයට හේතුවයි. කොහොම වුණත් අහේතුකව අඟුටු මිට්ටන් බිහිවන ගම්මානයක් තම රටේ ඇති බව නම් චීන බලධාරීහු ද පිළිගනිති. නමුත් එහි වැඩි වග විස්තරයක් බැහැරට දෙන්නට ඔවුන් කැමැත්තක් නොදක්වන බවක් මෙයින් ගම්‍ය නොවන්නේද?. එනිසාම මේ “අමුතු” තත්ත්වයෙන් පෙළෙන අය කෙරෙන් පළවන සෙසු ලක්ෂණ ගැන සවිස්තරාත්මකව කිසිවක් කොතැනකවත් පළ නොවේ.

තමන් පෙළන උස පිළිබඳ ගැටලුව ගැන යැන්ග්සිහි අය නොයෙක් තාලයේ කතා කියති. සමහරුන් නම් කියන්නේ කාලයකට ඉහත ගිම්හානයේ රැයක ගම පුරා රෝගයක් පැතිර ගිය බවකි. මේ රෝගය අත්භූත එකක් බව ඔවුන්ගේ විශ්වාසයයි. රෝගයට ගොදුරු වුණේ අවුරුදු 5ත් 7ත් අතර වයස් ඛණ්ඩවල පසුවුණු දරුවන්ය. රෝගය සුව වුණත් දරුවන්ගේ ශාරීරික වර්ධනය නැවතුනු බව ගම්මු පවසති. මේ නිසා රෝගය වැළඳෙන අවස්ථාවේ පසුවුණු උස මට්ටමෙන්ම ඉදිරි ජීවිත කාලය ගෙන යන්නට ඒ දරුවන්ට සිදු වුණු බව ඔවුන්ගේ අදහසයි. උස පිළිබඳ ගැටලුව හැරුණු විට ඒ දරුවන් තුළින් අංග විකලභාවයන් පවා මතුවුණු බව වැඩිහිටියෝ පවසති. වැඩිහිටියන් කියන මේ අංගවිකල භාවයන් ගැන වැඩිමනත් යමක් සඳහන් නොවේ.

තවත් ඇතැම් වැඩිහිටියන් මේ අද්භූත රෝගය ගැන කතා කරන්නේ දුෂ්ට බලපෑම් ඈඳා ගනිමිනි. නරක ෆෙග් ෂුයි බලපෑමක් නිසා මෙවැනි විපතක් තමන්ට අත්විඳින්නට සිදුව ඇති බව ඔවුහූ පවසති. හරියාකාරව වතාවත් නොපවත්වා මියගිය මුතුන් මිත්තන්ගේ ආදාහන කටයුතු කරන්නේ නම් මෙවැනි විපත්තිදායක තත්ත්වයන් මතුවන බව පවසන පිරිසකුත් සිටිති.

කැස්බෑවකු මරා කෑ ශාපයක් නිසා මිටිභාවය තමන් කරා පැමිණියේයැයි කියා කියන අයත් මේ ගමෙහි ජීවත්වන්නාහ. ඔවුන්ගේ පැහැදිලි කිරීම් අනුව මේ කියන විපත්තිය ඇති කරන්නට මුල් වී ඇත්තේ වැන්ග් නැමැති පුද්ගලයෙකි. වැන්ග්ට කළු පැහැති කැස්බෑවකු දක්නට ලැබී ඇත. මේ කැස්බෑවාගේ පාද කිසියම් ආකාරයක විකෘති ස්වභාවයක් සහිත බව ඔහු එකනෙහිම අවබෝධ කරගෙන තිබේ. කොහොම වුණත් මේ කැස්බෑවාට බේරී යන්නට වැන්ග් සහ පිරිසක් ඉඩ දී නැත. ඔවුන් කැස්බෑවාව මරා පුළුස්සාගෙන කෑ බව ජනප්‍රවාදයේ දැක්වේ. මේ සිද්ධියෙන් පසු ගම පුරා අමුතු රෝගයක් පැතිරෙන්නට පටන් ගෙන ඇත. රෝගයට හේතුව කැස්බෑවා මරාගෙන කෑමේ ශාපය බව වැඩිහිටියෝ ප්‍රකාශ කරන්නට වූහ. ශාපයේ ප්‍රතිතිඵලයක් හැටියට ගම්මුන් කෙරෙන් මිටිභාවය පළවන්නේ යැයි කියාද එවක් පටන් පතළ වන්නට විය. රෝගයෙන් මිදෙන්නට නම් කැස්බෑවකු නිදහස් කළ යුතුය යන මතයත් ඒ සමඟම ඇති විණ.

චීනයට ජපනුන්ගේ බලපෑම් එල්ල වුණු අතීතයේදී ජපනුන් කිසියම් විෂ වායුවක් එල්ල කළබවට චෝදනා නඟන පිරිසකුත් යැන්ග්සිහි සිටිති. කොහොම වුණත් ඉතිහාසයේ සඳහන් කරුණු සැලකිල්ලට ගත්විට පැහැදිලිවම පෙනෙන්නේ යැන්ග්සි ගම්මානය ජපනුන්ගේ බලපෑම්වලට යටත් නොවූ බවකි. ඒ නිසා මේ කියන ආකාරයේ විෂ වායුවක බලපෑමක් යැන්ග්සි වෙත එල්ල වී යැයි කියා සිතන්නට සාධාරණ සාක්ෂි නැත. අනෙක් අතට එවැනි වායුවක් යැන්ග්සි වෙත එල්ල වූවා නම් වායුවේ බලපෑම හුදෙක් යැන්ග්සි ගම්මානයට පමණක්ම සීමාවන්නේ කෙසේද යන ගැටලුවත් පැන නැඟේ.

මේ තත්ත්වය ඇති වී තිබෙන්නේ ප්‍රදේශයේ පස හේතුවෙන් යැයි යැන්ග්සිහි ගම්වැසියන්ගේ අඟුටු මිටිභාවය පිළිබඳව පර්යේෂණ පැවැත්වූ විද්‍යාඥයෝ පිරිසක් 1997 වසරේදී කියා සිටියහ. ඔවුන් දිගින් දිගටම ප්‍රකාශ කර සිටියේ පසෙහි ඇති රසදිය සාන්ද්‍රණය සාපේක්ෂව වැඩි බවය. නමුත් මේ මතය රැගෙන ඉදිරියට ගොස් තව තවත් පර්යේෂණ කරද්දී අනාවරණය වුණේ පසේ රසදිය සහ පුද්ගලයන්ගේ අඟුටුවිටි භාවය අතර සහසම්බන්ධයක් නොමැති බවකි. මේ නිසා එකී මතය ලත් තැනම ලොප් විය.

කවුරුත් යැන්ග්සි ගැන කතා කරන බවක් දැන් දැනගන්නට නැත. නමුත් එහි කුරු මිනිසුන් ඉපදීමේ ගැටලුව නම් තවමත් එතැනමය. එය විද්‍යාත්මකව පහදා දෙන්නට උගත් බුද්ධිමත් සමාජය තවමත් කල් ගනිමින් සිටී.

නූතන ලෝකයේ අබිහරස් කතා මාලාවේ පෙර ලිපි මෙතැනින් කියවන්න. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි