×

පෝලන්තයේ කුදු ගැසුණු පයින් වනයේ අබිරහස

පෝලන්තයේ කුදු ගැසුණු එසේත් නැතිනම් බකල ගැසුණු පයින් ගස්වලින් සුසැදි වනාන්තරයක් තිබේ. මෙහි වැවෙන පයින් ගස් මෙසේ කුදු ගැසී තිබෙන්නේ ඇයි ?


බටහිර දිග පෝලන්තයේ ග්‍රිෆිනෝ නගරයට ආසන්නයේ අරුම පුදුම වනාන්තරයක් තිබේ. මේ වනාන්තරය දුටුවන් තුළ භයංකර හැඟීමක් ඇතිවීම වැළක්විය නොහැකිය. ඒ හැඟීම පළවන්නේ එහි ඇති පයින් ගස් සෑම එකක්ම උතුරු පැත්තට කරකැවී බකල ගැසී ඇති නිසයි. බකලය හටගෙන තිබෙන්නේ සෑම පයින් ගසකම අංශක 90ක නැවුමක් නැත්නම් වංගු ගැහීමක් ඇතිවන පරිද්දෙනි. සියලුම පයින් ගස් වංගු ගැහී තිබෙන්නේ ද එකම දිශාවකට වීම තවත් පුදුමයකි. වනාන්තරයෙහි ඇති හාර සියයකට අධික මුළු පයින් ගස් ප්‍රමාණයම මෙවැනි විපර්යාසකට ලක්ව තිබීම කෙනෙකුට විශ්වාස කරන්නට බැරි තරම් ය.

මේ වන අරඹේ පයින් ගස් රෝපණය කර තිබෙන්නේ එක්දහස් නවසිය තිහට ආසන්න කාලයකදී බැව් වාර්තාවල සඳහන් වේ. එකල පයින් ශාක සියයකට වඩා වැඩි ගණනක් එහි තිබී නැත. ශාක, කුදු ගැසුණු හෙවත් බකල ශාක බවට පත්වන්නේ කවර අවධියකදීද යන්න අපැහැදිලි ය. කෙසේ වුවත් වනාන්තරය සාමාන්‍යය ජනයාගේ අවධානයට ලක් වනවිටත් බකල ගැහුණු පයින් ගස්වලින් හෙවන වුණු එකක් බවට පත්ව තිබිණ.

පයින් ශාකවල විකෘති ස්වභාවය හෙවත් බකලය පටන් ගෙන තිබෙන්නේ පොළොව මට්ටමට ආසන්නයෙනි. ඇදවීම සිදු වන්නේ යට කීවාක් මෙන් උතුරු පැත්ත බලාගෙන ය. මේ ඇදය ශාක දේහයේ මීටරයත් මීටර තුනත් අතර උස පරාසයක් පුරා පවතී. අනතුරුව ශාකය එතැන් සිට ඉහළට වැඩී ඇත. මේ වන ඇරඹේ ශාක සංඛ්‍යාව කාලයත් සමඟ සියයේ සිට හාර සියයක් පමණ වන තෙක් වැඩි වී තිබෙන්නේ බකලයත් සමඟිනි. කලින් කලට ඊට අලුතින් එකතු වුණු සෑම පයින් ගසක්ම පළමුව කී බකලය උරුම කරගෙන තිබීම විශ්වාස කරන්නට බැරි තරමේ පුදුමයකි.

පයින් ශාක හාර සියයකට ආසන්න ගණනක් මේ අන්දමට වක ගැසුණේ කවර හේතුවක් නිසාද යන්න සොයා බලන්නට කිසිවකු සෑහෙන කලක් උත්සාහ නොගත්තේ දෙවන ලෝක සංග්‍රාම හේතුවෙනි.

දෙවන ලෝක සංග්‍රමය ඇතිවීමත් සමඟ යට කී වනාන්තරය ද ඇතුළත් නගර ගණනාවක් මිනිසුන්ගෙන් තොර පාළු සොහොන් පිටියක් තත්ත්වයට පත් වූයේය. දෙවන ලෝක යුධයේ උණුසුම මේ ප්‍රදේශවලට වඩාත් තදට දැනෙන්නට පටන් ගත්තේ එම ප්‍රදේශය ජර්මානු – පෝලන්ත දේශ සීමාවට ආසන්නයෙනි පිහිටා තිබූ බැවිනි. අනෙක් අතට, එම පෙදෙස ජර්මනියට යටත්ව ද පිහිටා තිබීම හේතුවෙනි. යුද්ධය නිම වී දශක කිහිපයක් ගතවන තුරු එනම් – එක්දහස් නවසිය හැත්තෑ ගණන් වනතුරුම “බකල වනාන්තරය” ආශ්‍රිත ප්‍රදේශවල මිනිසුන්ගේ පදිංචිය පමා වූයේය. එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලදී මේ වනාන්තරයට ආසන්නයෙන් නව විදුලි බලාගාරයක් ස්ථාපනය කෙරෙන්නට පටන් ගැනිණ. ඒ සමඟම එහි ආ ගිය කාගේ කාගේත් අවධානය බකල ගැහුණු පයින් ගස් වෙත යොමුවීම ඇරඹුණේය.

ඉංග්‍රීසියේ එන “J” අකුරේ හැඩයට පයින් ගස් හැඩ ගැසී තිබෙන්නේ කලක් පැවැති යුධයේ ප්‍රතිඵලයක් හැටියට යැයි සමහරු පැවසූහ. ඔවුන්ට අනුව පැළ අවධියේ පැවැති පයින් වගාව උඩින්, සතුරු යුධ ටැංකි පෙළක් යන්නට ඇත. එමඟින් තැලී පොඩිවුණු පයින් ශාක කලකට පසු මේ අන්දමට බකල ගැහී නැඟිටින්නට ඇතැයි කියා ඔවුහූ පෙන්වා දෙති. කොහොම වුණත් දෙවන ලෝක යුධයේ උණුසුම පෝලන්තයට ළඟා වුණු අවධිය ගැන සිතන විට එහෙව් දෙයක් සිදුවුණේයැයි කියා සිතීම බෙහෙවින්ම උගහටය. තවත් ඇතැම් අය කියා සිටින්නේ පිටසක්වල ජීවීන්ගේ බලපෑමකින් මෙවැනි තත්ත්වයක් ඇති වී තිබෙන බවකි.

මේ මත දෙකම බැහැර කළ අය පයින් බකල ගැහිල්ල විග්‍රහ කළේ කාලගුණයේ බලපෑමක් නිසා සිදු වුණු දෙයක් හැටියටය. පයින් ගස් ළපටි අවධියේදී ඇතිවුණු දරුණු හිම පතනයක් හේතුවෙන් ගස් බිමටම සමතලා වන්නට ඇතැයි කියා ඔවුහූ පෙන්වා දෙති. එසේ වුවත් හිම හේතුවෙන් පයින් ශාක මුළුමනින්ම විනාශ වී නොයන්නට ඇත. හිම දිය වී ශාක යළිත් වර්ධනය වීම අරඹන විට ඒවා මේ අන්දමට හැඩගැසෙන්නට ඇතැයි කියා එම මතය දරණ පිරිස් පවසති.

ගුරුත්වාකර්ෂණ බලයෙහි විචලනයන් හේතුවෙන් පයින් වගාව බකල ගැහූ බව කියන්නට තවත් පිරිසක් මැලි නොවන්නෝය. එකී මතය දරණ ඇතැමුන් පවසන්නේ මේ කියන පයින් වගාව සහිත ප්‍රදේශයේ ගුරුත්වාකර්ෂණ බලයේ කිසියම් වෙනසක් එකල තිබෙන්නට ඇතැයි කියාය. කොහොම වුණත් මේ එකදු මතයක්වත් සහසුද්ධයෙන්ම පිළිගත හැකි තැනෙකට පමුණුවන්නට ඒවා ඉදිරිපත් කළ අයට නොහැකි විණ.

උද්භිද විද්‍යාව සහ තවත් බොහෝ විෂයය ක්ෂේත්‍ර පිළිබඳ හසල දැනුමක් ඇති විද්වතුන්ගේ අවධානය පයින් ගස්වල බකලය වෙත යොමු වන්නට පටන් ගත්තේ මේ අතර වාරයේදී ය.

බකල පයින් ගස් ගැන පර්යේෂණ පැවැත් වූ එවැනි සමහර විද්වතුන් පවසන්නේ මිනිසුන් ඒවායෙහි වර්ධනය වෙනස් කරන්නට ඇතැයි කියාය. ඒ සඳහා ඔවුන් කිසියම් තාක්ෂණයක් භාවිතයට ගන්නට ඇති බැව් එම විද්‍යාඥයෝ පෙන්වා දෙති. පයින් ශාකවලට එම නැවුම ලබා දෙන්නට ඇත්තේ කිසියම් මෙවලමක් භාවිතයෙන් වන්නට ඇතැයි කියාද සැක කෙරේ. ශාකවල දේහ මේ අන්දමට විකෘතියකට ලක් කළේ ඒ කාලයේ ජීවත් වුණු මිනිසුන් තමන්ට අවශ්‍ය ගෘහ භාණ්ඩ තනා ගනීම සඳහා දැව ලබා ගැනීමේ අරමුණෙන් විය හැකි යැයිද විද්‍යාඥයෝ පවසති. විශේෂයෙන්ම බෝට්ටු සහ නැව් සැකසීම සඳහා එම ශාකවල දැව භාවිතයට ගන්නට හැකි අන්දමට ශාකවල දේහ සකස් කළා ද යන්න ගැන සැකයක් ඇත. කෙසේ වුවත් ගස් බකල ගස්සවන්නට පාවිච්චි කළ එම තාක්ෂණය කුමක්ද? ඒ සඳහා කවර අන්දමේ මෙවලමක් භාවිතයට ගත්තේ ද යන්න ඒ කිසිදු විද්වතෙකුට අනාවරණය කරගන්නට බැරිව ගොස් ඇත. පයින් ගස්වලට සිදුවුණු දෙය මේ නිසා අදටත් අභිරහසකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි