ඒ දෙවන සුනාමියෙන් ඒ යමහල් දූපතේ වෙසෙන මිනිසුන් වඳ වී යන එකක් නැත. නමුත්, මිහිපිට වෙසෙන, වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින අවසන් ජාවා රයිනෝවා ද එ් සුනාමියෙන් වඳ වී යාමට නියමිත ය. Javan rhinos
මේ ‘ජාවා රයිනෝ‘ හෙවත් ‘ජාවා රයිනෝසිරස්‘ සතුන් මුළු ලෝකයටම අද ඉතිරිව සිටින්නේ 67 දෙනෙක් පමණි. උන් සියලුම දෙනා ජීවත් වන්නේ උජුන්ග් කුලොන් ජාතික වනෝද්‍යානයේ ය. ඒ වනෝද්‍යානය පිහිටා තිබෙන්නේ අනක් ක්‍රැකටු දූපතේ ය.
පසුගිය සෙනසුරාදා ඇති වූ සුනාමිය ද මෙම වනෝද්‍යානයට බලපෑ නමුත්, වනෝද්‍යාන නිලධාරීන් ද දෙදෙනෙක් එයින් මිය ගිය නමුත් කිසිදු රයිනෝවෙකුට එයින් හානි සිදු වූයේ නැත.
‘‘නමුත් දෙවැනි වතාවටත් සුනාමි ආවොත් මේ සතුන් මිහිමතින් අතු ගෑවී යනවා..“ යැයි සත්ව සංරක්ෂකයෝ කැට තබමින් කියති.
උන් සාමාන්‍යයෙන් ජීවත් වන්නේ වනෝද්‍යානයේ දකුණු වෙරළ අවට ය. පළමු සුනාමිය කඩා වැදුණේ උතුරු වෙරළ සීමාවට ය. උන් එවර දිවි බේරාගැනීමේ රහස වූයේ එයයි.
නමුත් මීළඟ විපතින් බේරීමට තරම් උන් වාසනාවන්තයන් නොවනු ඇත.
මේ ලෝකයේ රයිනෝසිරස් සතුන් සිටින්නේ විශේෂ 5 ක් පමණි. උන් විශේෂ 5 ම සිටින්නේ, වඳ වී යාමේ අවදානමට ලක්ව ඇති සතුන් ශ්‍රේණිගත කරන අන්තර්ජාති රක්ත දක්ත පොතේ රතු ලැයිස්තුවේ (IUCN Red List) ය. ඒද, ‘අතිශයින් අවදානමට ලක්ව ඇති‘ – Critically Endangered නමැති කාණ්ඩය යටතේ ය.
එක් කලෙක ඉන්දියාව සහ ගිණිකොණ දිග ආසියාවේ කැලෑපෙත්වල ද සැරිසැරූ මේ සොබාදහමේ අලංකාර සාමාජිකයා, එම ප්‍රදේශවලින් සදහටම වඳවී ගියේ සිත් පිත් නැති ලෙස ඝාතනය කිරීම නිසා, නිකේතන විනාශය සහ කෘෂිකර්මාන්තය වැනි මිනිස් මැදිහත් වීම් නිසා ය.
වැදගත්ම කාරණය, ජාවා රයිනෝ සතුන් මේ ලෝකයේ කිසිදු සත්වෝද්‍යානයක පවා නොමැති වීමයි. ඒ අනුව, දෙවන සුනාමියක් පැමිණියොත්, මේ විශේෂය, මිහිතලයට සදහටම අහිමි වීමට විශාල ඉඩක් තිබේ.
ඉන්දුනීසියානු බලධාරීන් සහ ලෝක වනජීවී අරමුදල, මේ සතුන්ගේ ඉරණම මෙසේ අවසන් නොවිය යුතු බව විශ්වාස කරති. ඒ අනුව කළ හැකි එකම දේ වශයෙන් ඉතිරිව තිබෙන්නේ උන්ව වෙනත් ස්ථානයකට ගෙන යාමයි.
නමුත් එය සිතන තරම් ලෙහෙසි කටයුත්තක් නොවේ.
එසේ වෙනත් තැනකට ගෙන යන්නට නම් එම රයිනෝ සතුන් මනා සෞඛ්‍යයෙන් සිටිය යුතුය. එයට අමතරව නව ස්ථානය උන්ට සිය ප්‍රජා සාමාජිකයන් සමග සමීප සම්බන්ධතා ගෙන යා හැකි ස්ථානයක් විය යුතුය. තවද, උන් එම නව ස්ථානයේදී ප්‍රජනනය කරන්නට සමත් විය යුතුය.
තවත් සලකා බැලිය යුතු කරුණු රාශියකි.
ජාවා රයිනෝවන්ට එහිදී ආහාර හිඟයකට මුහුණ නොපෑමට නම්, නව නිකේතනයේ අවම වශයෙන් ශාක විශේෂ 200 ක්වත් තිබිය යුතුය. එසේම ඇති තරම් ජලය තිබිය යුතුය. උන්ට ගැළපෙන පසක් ද තිබිය යුතුය. වසර පුරාම තෙත් කාලගුණයක් තිබිය යුතුය.
‘‘මේ සියලු අවශ්‍යතා සපුරාලන තැනක් හොයාගන්න ඉතාම අමාරුයි. අපි ඇත්තටම 2017 අවුරුද්දෙ ඉඳන් ඒ වගේ තැනක් හොයනවා..“ යැයි බලධාරීහු කියති.
ඔවුහු තවත් බොහෝ දේ කියති. මේ වන විට සුදුසු ස්ථාන 10 ක් පමණ තමන් විසින් අධීක්ෂණය කර ඇති බව කියති. ඒ අතරින් සුදුසු යැයි පෙනී යන තැනකට යන්තමින් හමු වී තිබෙන්නේ දැනට බටහිර ජාවා හි සිකෙප් රක්ෂිතය (Cikepuh Wildlife Reserve) යි.
නමුත් ඒ රක්ෂිතයේ භූමිය, හමුදා සන්දර්ශන පෙරහුරු පැවැත්වීම සඳහා වෙන් කර ඇති එකකි. ඒ අනුව රයිනෝවන් එහි ගෙන යාටම පෙර, අලුත්ම වර්ගයේ පරීක්ෂණයක් බලධාරීන් විසින් කළ යුතුව ඇත. ඒ, ජාවා රයිනෝවන් වෙඩි සහ කාලතුවක්කු හඬට ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි සොයාගැනීමයි. එය දවසින් දෙකකින් කළ හැකි දෙයක් නොවේ.
මේ අතර මෙම රක්ෂිතය අවට මිනිස් ක්‍රියාකාරකම් බහුල ය. එය ද බාධකයකි. පැහැදිලිවම ජාවා රයිනෝවන්ට, ඔවුන් මෙතෙක් ජීවත් වන සාමකාමී පරිසරය ඒ අනුව අහිමි වීමට නියමිත ය.
ඇතැම්විට, ඒ අවදානම ගෙන හෝ මේ ජාවා රයිනෝවන් එහි ගෙන යාමට පෙර, දෙවන සුනාමිය පැමිණීමට ද ඉඩ තිබේ.
පෙර ලිපිය:
ඉන්දුනීසියාව දෙවන සුනාමියක් බලාපොරොත්තුවෙන් -ක්‍රැකටෝවා දිගටම පුපුරයි.