×

රුසියානු ස්පුට්නික් එන්නත ගත් ආර්ජන්ටිනාවේ ජනපති කෝවිඩ් පොසිටිව් වෙයි!

සමස්ත ආර්ජන්ටිනාවටම ආදර්ශයක් සැපයීම පිණිස තමන් මුලින් එන්නත ගත යුතු බව ඔහු සිතුවේය.


ඒ අනුව, මෙයට මාස දෙකකට පෙර ආර්ජන්ටිනා ජනපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් රුසියාවෙන් ආනයනය කළ ‘ස්පුට්නික් V‘ එන්නත ලබාගත් රටේ ප්‍රථමයා බවට පත් විය.

සිකුරාදා සන්ධ්‍යාවේ ට්විටර් සටහන් මාලාවක් තබමින් ආර්ජන්ටිනා නායකයා මෙසේ කියයි.

‘‘මම දැනටමත් හුදෙකලාවී සිටිනවා. වර්තමාන ප්‍රොටෝකෝලය අනුගමනය කරමින්..‘‘

‘‘මගේ පුද්ගලික වෛද්‍යරයා ලබාදෙන උපදෙස් අනුගමනය කරනවා..‘‘

‘‘ගතවූ පැය 48 ඇතුළත මා හමුවූ සියලු දෙනාව නැවත අමතනවා..‘‘

එය ඔහුගේ උපන් දිනය ද විය.

එන්නත ගෙන මාස 2කට පසු ඔහු කෝවිඩ්-19 පොසිටිව් වී සිටියි.

ගතවූ සති අන්තයේදී PCR පරීක්ෂණයකට අමතරව ඇන්ටිජන් පරීක්ෂාවකට ද ජනපතිවරයා මුහුණ දුන්නේය. ඔහු ආසාදිතයෙකු බවට පත්ව ඇති බව තහවුරු වූයේ ඒ අන්දමිනි. 62 හැවිරිදි නායකයාගේ සෞඛ්‍ය තත්වය ස්ථාවර යැයි මේ අතර රජය කියයි.

මාත්‍රා මිලියන 25 ක් මිලදී ගෙන

රුසියාවේ නිෂ්පාදිත Sputnik V වැක්සිනය ලබාගත් ප්‍රථම ලතින් ඇමරිකානු රට ආර්ජන්ටිනාවයි. එය මාත්‍රා මිලියන 25 ක් මිලදී ගත්තේය. ජනවාරි 21 වැනිදා පළමු මාත්‍රාවද, පෙබරවාරියේදී දෙවැනි මාත්‍රාවද ආර්ජන්ටිනා නායකයා ලබාගත්තේය.

මෙම වැක්සින් වැඩසටහන ද ආරම්භයේදී මතභේදාත්මක තත්වයකට මුහුණ දුන්නේය. 70 දෙනෙකුගේ කණ්ඩායමකට මුලින් වැක්සින ලබාදී ඇති බව හෙළිවීමත් සමග එරට සෞඛ්‍ය අමාත්‍ය ගිනේස් ගොන්සාලේස් ගාෂියාට ඉල්ලා අස්වීම ටද සිදුවිය. මෙම කලින් ලබාදුන් වැක්සින “VIP vaccinations” නමින් ද හැඳින්වුණේය.

රුසියාව ඉක්මන් සුවය පතයි

ආර්ජන්ටිනාවේ ජනගහනයෙන් 1.5%ක් දැනටමත් එන්නත්කරණයට ලක් කර ඇත. මේ අතර ලෝකයේ කෝවිඩ් බහුලතම රටවල් සේ සැලකෙන බ්‍රසීලය, චිලී සහ මෙක්සිකෝවේ සිට කිසිවෙකුට පැමිණීම ද ආර්ජන්ටිනාව විසින් තහනම් කර තිබේ. ඉරිදා දිනය වන විට ආර්ජන්ටිනාවේ 56,106 දෙනෙකු මිය ගොස් ඇති බවත්, ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 2.3 ක් බවත් තහවුරු කරනු ලැබීය.

වැක්සිනය ලබාගත්ත ද කෝවිඩ්-19 පොසිටිව් තත්වයට පත් වීමට ඉඩ ඇති බව සත්‍යයකි. එන්නත්කරණය මගින් රෝගය වැළඳීමේ ඉඩ කඩ අඩු කරන බව ද සත්‍යයකි. නමුත් රුසියානු එන්නත පිළිබඳ විශාල මතභේදාත්මක බවක් මුල පටන්ම පැවතුණේය.

රුසියාවේ ගමාලෙයා ආයතනය විසින් නිෂ්පාදනය කරන Sputnik V එන්නත 91.6%ක ආරක්ෂාවක් ලබාදෙන බව පැවසේ. දැන් ඔවුන් ජනපතිවරයාට ඉක්මන් සුවය පතා තිබේ.

ශ්‍රී ලංකාවේදී ලබාදෙන ඉන්දියානු කෝවිඩ් එන්නතේ සාර්ථකත්වය 60%කි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි