×

දෙවියන් ඉදිරියේ නිර්දෝෂී වුවත් මිනිසුගෙන් තැලුම් කන ගැහැනියක්!.

දේවාපහසය පිළිබඳ නීති දැඩි කරන්නැයි ඉල්ලමින් පාකිස්තාන ඉස්ලාමික ජනයා වීදී බසිති. රටේ නොසන්සුන් වාතාවරණයක්!


මේ තත්ත්වය උද්ගත වූයේ දේවාපහාසය සඳහා වැරදිකාරිය වී සිටි ආසියා බිබි නමැති කාන්තාවට නියම වූ මරණ දණ්ඩනය පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභා කිරීමත් සමඟයි. Asia Bibi: Imran Khan attacks

ඉස්ලාමික දහමේ නිර්මාතෘ මුහම්මද්තුමන්ට අපහස කළේයැයි කියන චෝදනාව මත ක්‍රිස්තියානි භක්තික ආසියා බිබිව අත්අඩංගුවට ගැනුණේ 2009 වසරේදී ය. එකල ඈ ජීවත් වුණේ පාකිස්තානයේ ලාහෝර් නුවර සිට කිලෝමීටර 30ක් ඈතින් පිහිටි ගම්මානයකයි. ඈ එහි ගොවිපොළක සේවය කරමින් සිටි බව සඳහන් වේ. සිද්ධියට මුල් වූයේ ආසියා බිබී අසල්වැසි ගැහැනුන් පිරිසක් සමඟ ගොවිපොළේ පළතුරු කැඩීමට ගිය අවස්ථාවකදී ඇතිකර ගත් සුළු බහින් බස් වීමකි. ඔවුන් සතුව පැවැති ජලය බාල්දියකින් ආසියා බිබී වතුර කෝප්පයක් ගැනීම, ඈ සමඟ සිටි සෙසු ගැහැනුන් සැලකුවේ වරදක් හැටියටයි. ජලය බාල්දිය අපවිත්‍ර වූ බව පවසමින් ඔවුහු ආසියා බිබිට දොස් පවරන්නට වූහ. ඒ අවස්ථාවේදී එක ගැහැනියක ආසියාට බැන වැදී තිබෙන්නේ ආසියා වහාම ඉස්ලාමික ආගම වැළඳ ගත යුතු බව පවසමිනි. දේවාපහාසයක් සිදු වුණේ යැයි කියන වරද ආසියා බිබී අතින් සිදුව තිබෙන්නේ ඒ අවස්ථාවේදී ඊට ප්‍රතිචාර ලබා දෙන්නට යෑමේදී ය. ගැහැණුන් පිරිස ආසියා බිබිට එහිදීම පහර දී ඇත. මුහම්මද් තුමන්ට අපහාස කළේයැයි කියමින් එහි සිටි ගැහැනු දෙදෙනෙක් ආසියාට එරෙහිව පෙත්සමක් ගොනු කළහ. පොලිසියට පැමිණිලි කරන්නටත් ඔවුන් නොමැළි වූහ. ඒ හරහා ඇතිවුණු පරීක්ෂණවලදී ආසියා බිබිව අත්අඩංගුවට ගැනිණ.

EPA

EPA

ආසියා බිබිට එරෙහි නඩුව විභාග කෙරුණේ පාකිස්තානයේ ෂෙඛුපුරාහි අධිකරණයේදී බව සඳහන් වේ. 2010 වසරේ නොවැම්බර් මාසයේදී නඩු විභාගය අවසන් වූ අතර එමඟින් ඇයව වරදකාරිය ලෙස ප්‍රකාශයට පත් කෙරිණ. ඒ මුහම්මද්තුමන්ට පරිභවාත්මක ප්‍රකාශයක් කිරීමේ වරදට ය. ඊට වරදකාරිය වූ බැවින් ආසියා බිබිව එල්ලා මරා දැමිය යුතු බවත් එම අධිකරණය තීරණය කරන ලදී. දේවපාහාසය සම්බන්ධයෙන් පාකිස්තානය තුළ ක්‍රියාත්මක වත්මන් නීතිවලට අනුව දේවාපහාසයේ යෙදීමට වරදකරු වී එල්ලා මරා දැමීම නියම කෙරුණු පළමු කාන්තාව ආසියා බිබී බැව් සඳහන් වේ.

Bergen Record

Bergen Record

ආසියා බිබිට 2010දී නියම වූ මරණ දණ්ඩනය සම්බන්ධයෙන් ලෝකයේ විවිධ සංවිධාන එකල සිටම හඬක් නඟන්නට පටන් ගත්තේය. ඒ අතර ප්‍රධාන වුණේ අන්තර්ජාතික මට්ටමේ කතෝලික සංවිධානයි. අසියා බිබිව නිදහස් කරන ලෙස ඉල්ලා එම සංවිධාන අත්සන් හාර ලක්ෂයකින් සමන්විත පෙත්සමක් පාකිස්තාන බලධාරීන් වෙත ඉදිරිපත් කරන ලදී. ඇයට එල්ල කර ඇති චෝදනා ඉවත් කළ යුතු බව 16 වන බෙනඩික්ට් පාප්වහන්සේ මෙන්ම වත්මන් ෆ්‍රැන්සිස් පාප්වහන්සේත් විටින් විට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ. දරුවන් කිහිපදෙනෙකුගේ මවක වන ආසියා බිබී කෙරෙහි සහනුකම්පාවෙන් යුතුව ඇගේ අසල්වැසියෝ සහ පාකිස්තානයේ ඉස්ලාමික ඇතැම් නායකයෝ පසුගිය කාලයේදී කටයුතු කළහ.

සිය දියණියන් දෙදෙනා සමග | Aleteia්‍ර

සිය දියණියන් දෙදෙනා සමග | Aleteia

එසේ වුවත් බහුතර ඉස්ලාමික ජනයා කියා සිටියේ ආසියා බිබිව එල්ලා මරා දැමිය යුතු බවකි. ඈ වෙනුවෙන් කතා කළ සහ දේවාපහාස නීතියට එරෙහිව ක්‍රියා කළ සුළු ජාතිකයන්ගේ කටයුතු පිළිබඳ අමාත්‍යය ෂහ්බන් භාටි සහ පන්ජාබයේ ආණ්ඩුකාර සල්මාන් ටාසීර් ඝාතනයට ලක් වූහ. දේවාපහාසය සහ ආසියා පිළිබඳ කතා කරන තවත් බොහෝදෙනෙකුට තර්ජන එල්ල වන්නටත් පටන් ගත්තේය. ආසියා බිබි නිදහස ලැබුවහොත් ඇගේ පවුලේ සියලුදෙනා මරා දමන බවට තර්ජන එල්ල විණ.

ගෙවුණු වසර අටක කාලය තුළ ආසියා බිබිව හුදකලා කර රඳවා තබා තිබිණ.

ඒ අතරතුර කාලයේදී ඇගේ අභියාචනය පාකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරිණ. නිස්සාර සාක්ෂි සහිතව පෙත්සම ගොනුකර ඇති බවත් ආසියාට එරෙහිව නඟා ඇති චෝදනාව ඔප්පු කළ නොහැකි බවත් එය විහාග කර බැලූ තිදෙනෙකුගෙන් සමන්විත විශ්චය මණ්ඩලය ඊයේ ප්‍රකාශ කළේය. මේ නිසා ඇයව නිදහස් කරන බවද ප්‍රකාශයට පත් කෙරිණ. තීන්දුව ප්‍රකාශයට පත්වන අවස්ථාවේදීවත් ආසියා ශ්‍රේෂ්ඨාධිකරණ තුළ නොසිටි බව සඳහන් වේ. දුරකතන ඇමතුමකින් තීන්දුව ගැන දැනගත් මොහොතේ ඈ පුදුමයෙනුත් පුදුමයට පත්ව ඇත.

සිය ජීවිතවලට තර්ජන එල්ල වී ඇතැයි ආසියාගේ සැමියා පවසයි. | AFP

සිය ජීවිතවලට තර්ජන එල්ල වී ඇතැයි ආසියාගේ සැමියා පවසයි. | AFP

තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමඟ ම, ඊට එරෙහිව පාකිස්තානයේ ඇතැම් ඉස්ලාමික ජන කොටස් වීදී බසින්නටත් උද්ඝෝෂණ පවත්වන්නටත් පටන් ගත්හ. කරාචිය, පෙෂාවෝර්, ලාහෝරය,මුල්ටාන් යන නගරවල තදින්ම උද්ඝෝෂණ පැවැත්වෙන බව සඳහන් වේ. උද්ඝෝෂකයන් පොලිසිය සමඟ ගැටුම්ද ඇති කර ගෙන තිබේ. මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට පණ දෙන ඉස්ලාමික ටෙහ්රීක් -ඉ -ලබයික් පක්ෂයේ නායක අෆ්සාල් ක්වඩ්‍රි සඳහන් කරන්නේ තීන්දුව ලබා දුන් ශ්‍රේෂඨාධිකරණ විනිශ්චයකාරවරුන් තිදෙනාම ඝාතනය කළ යුතු බවකි. ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටි ඉස්ලාමාබාද් නුවර රතු චතුරශ්‍රය ආශ්‍රිත පෙදෙස තුළ දැඩි උණුසුම් වාතාවරණයක් ඇති වී තිබෙන බව පකිස්තානයෙන් ලැබෙන වාර්තාවල සඳහන් වේ. එනිසා එහි ආරක්ෂාව තර කර ඇත.
පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

“… මේවායින් අන්තිමට පීඩා විඳින්නේ කවුද?. අපේ පාකිස්තානය. අපේ රටේ සාමන්‍යය ජනයා. අපේ රටේ දුගී දුප්පත් ජනයා. ඔබ මාර්ග අවහිර කරනවා. සාමාන්‍ය ජනයාගේ ජීවනෝපයන්ට බාධා කරනවා. ඒ වගේ වැඩවලින් ඉස්ලාමික ධර්මයට වෙන සේවයක් නැහැ. මේක රටට කරන එදිරිවාදීකමක්. රාජ්‍ය විරෝධී අන්දමට කතා කරනවා. විනිශ්චයකාරවරුන් ඝාතනය කරන්න ඕන කියනවා. ……” යනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සඳහන් වේ.
මෙවැනි වැඩ පිළිවෙල දියත් කිරීම හරහා සිදුවන්නේ දේශපාලන වාසි ලබා ගැනීමක් පමණක් බව අග්‍රාමාත්‍යයවරයා වැඩි දුරටත් පෙන්වා දෙයි.

මේ සතිය අග භාගයේදී ආසියා බිබී නිදහස් වීමට නියමිත බව සඳහන් වේ. නිදහස් වීමෙන් පසු ඈ කුමක් කිරීමට සැලසුම් කර ඇත් ද යන්න ගැන කිසිවකු මේ වනතුරු ප්‍රකාශයක් නිකුත් කර නැත. ඇගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සයිෆුල් මුලෝක් කියා සිටියේ ඈ දැන් කළයුතුව තිබෙන්නේ බටහිර රටකට සංක්‍රමණය වීම බවයි. ආරක්ෂාව පතා ඈ කළයුතු හොඳම දෙය එයයැයි කියා නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබිණ. ආසියා බිබිට සහ ඇගේ පවුලේ සාමාජිකයන්ට ආරක්ෂාව ලබාදීමට රටවල් රාශියක් මේ වනවිට ඉදිරිපත් වී ඇති බව සඳහන් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි