×

හදවත සමග ආසියාවේ යුද්ධය

ආසියානු කලාපයේ හෘදයාබාධ නිසා සිදුවන මරණ ප්‍රමාණය දිනෙන් දින ඉහළ යයි. එහෙත් ‘මද පමණ පිළිවෙත’ හෘදය සමග ආසියාව ගෙන යන යුද්ධයේ බරපතල බව අඩුකර දමනු ඇත. වඩා වැදගත් වන්නේ හදවතට වින කරන ජීවන රටාව කුමක්දැයි හඳුනාගෙන එය අත්හැරීමයි.


ජපානයේ ඔකිනාවා දූපත්වාසීන්ට වඩා නිරෝගී හෘදයන් ඇති මිනිසුන් මෙලොව සිටින්නේ අල්පයක් පමණක් විය යුතුය. මිහිමත වෙසෙන දීර්ඝායු වළඳන ජපන් ජාතිකයන්ගේ නිජබිම යැයි විරුදාවලි ලබන්නේ ඔකිනාවා දූපත ය. දැන් තත්වය වෙනස් වී ඇතත්, මෙයට දශක කිහිපයකට පෙර ඔකිනාවා වැසියන්ගේ ආහාර වේලේ ප්‍රධාන වශයෙන් තිබෙනුයේ මුහුදු මාළුය. බත් සහ එළවළු සාමාන්‍ය පමණකට තිබුණ ද සන්තෘප්ත මේදය එහි නැති තරම්ය. එහෙත් වසර කිහිපයක පෙර ඔකිනාවා දූපතට ගොඩ බැසි ඇමරිකානු හමුදා භටයෝ එම ආහාර වේලට හරක්මස් ද ගැඹුරු තෙලේ බදින ලද බැදුම් හා කටගැස්ම ද අඩංගු කළහ. අද ඔකිනාවා හි, ක්ෂණික කෑම සංස්කෘතියේ රජු ලෙස සැලකෙන මැක්ඩොනල්ඩ්ස් අවන්හල් 44 ක් තිබේ.

Okinawa Island | Japan Times

ඔකිනාවා දූපතේ පළඹු මැක්ඩොනල්ඩ්ස් අවන්හල විවෘත කළේ 1976 වසරේය. 2002 වන විට එම දූපත්වාසීන් ඇමරිකානුවන් තරමටම මේදය බහුල ආහාර වේලක් ගන්නේ යැයි සංඛ්‍යාලේඛන වාර්තා කළේය. දැන් වයස අවුරුදු 20-60 කාණ්ඩයේ ඔකිනාවා පුරුෂයින්ගෙන් 47% ක් දෙනා අධික තරබාරුකමින් පීඩා විඳිති. “අවුරුදු 27 ක සිට අප ඇමරිකානු ආහාර වේලට ඇබ්බැහි වී තිබෙනවා’’ ජීවිතයේ සැඳෑ සමය ගෙවන මියාගි පවසයි.

“මගේ පරපුරේ ඇතැම් කෙනෙක් තම ජීවිතයේ වැඩි කොටස ගෙවා දමා ඇත්තේ ඒ ආකාරයටයි.’’

මේ අතර ඔකිනාවා වැසියන් හෘදය ආශ්‍රිත රෝගාබාධවලින් මිය යන ප්‍රමාණයේ ද සැලකිය යුතු තරම් ඉහළ යාමක් දැකිය හැක. පසුගිය අගෝස්තුවේ උරහිසේ හා හදවතේ වේදනාවක් දැනුණෙන් මියාගි ප්‍රාදේශීය රෝහලක් වෙත ගියේය. එහිදී හෙදිය ඔහුට හෘදයාබාද වැළඳීමේ අවදානමක් තිබේදැයි පිරික්සීමට ECG හෙවත් විද්‍යුත් කන්තුක රේඛන පරීක්ෂණයකට ඔහුව ලක් කළාය. “ඇය ECG යන්ත්‍රයෙන් කඩදාසි පටිය ඉරාගෙන වෛද්‍යවරයා වෙත දිව ගියා. එයින් වටහා ගත්තේ කුමන හෝ වැරැද්දක් සිදු වී ඇති බවයි.’’ මියාගි ප්‍රබල හෘදයාබාධයකට ලක්ව සිටියේය. බැලුන් ආධාරයෙන් කරන ඇන්ජියෝ ප්ලාස්ටි සැත්කම් 3 කට මුහුණ දී තෙමසකට වඩා රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට ඔහුට සිදු විය. මරණයට මුහුණ දී සිටියදී ඔහුට වඩාත් ප්‍රබල ලෙස දැනුණේ ජීවත් වීමේ ආශාවයි. තම ජීවන රටාව වෙනස් කරගත යුතු බව ඔහු වටහා ගත්තේය. නිරන්තර ව්‍යායාම හා වඩාත් පෝෂ්‍යදායී ආහාර වේල් එතැන් පටන් ඔහුගේ ජීවිත අරමුණු බවට පත් විය. එහෙත් මේ ආකාරයේ සාර්ථකත්වයක් ලබාගැනීමට සමත් වන්නේ කිහිපදෙනෙකු පමණි. “රෝගීන් සිය දෙනෙකුට තමන්ගේ බර අඩු කරගන්න කියා මා කීවොත් එම උපදෙස් පිළිගෙන දේහ බර අඩු කර ගන්නේ එයින් එක් අයෙක් පමණයි’’ මියාගිට ප්‍රතිකාර කළ හෘද විශේෂඥ වෛද්‍ය කියෝෂි තකෂිබා පවසයි. “මම ඔවුන්ට දියවැඩියා හා හෘදයාබාධ ගැන නිතර අනතුරු අඟවනවා. නමුත් ඔවුන් එය තම ජීවිතයට අදාළ කාරණයක් ලෙස දකින්නේ නැහැ.’’

ආසියානුවන්ගෙන් බහුතරය හෘදයාබාධ කෙරෙහි දක්වන සැලකිල්ල එබඳුය. බොහෝ අය සිතන ආකාරයට හෘදයාබාධ යනු ධනවත් බටහිර ජාතිකයින්ට ආවේණික සියදිවි නසාගැනීමේ මාර්ගයකි. ආසියාවට ආවේණික සෞඛ්‍ය ගැටලුවක් ලෙස බොහෝ විට හෘදයාබාධ පිළිබඳ නොකියවෙයි. එම තැන අත්පත් කරගෙන ඇත්තේ මන්දපෝෂණය, වයෝවෘද්ධ බව සමග ඇතිවන ආසාදන රෝග හා කාන්තා රෝග විසිනි. එහෙත් සංවර්ධනයත් සමග හාදයාබාධ විසින් ඔකිනාවා වැසියන් පමණක් නොව සකල ආසියාතිකයන්ම ගිල ගනිමින් තිබේ.

අඩු හා මධ්‍ය ආදායම් ලාභී ආසියාතික රටවලට ඉහළ අවදානමක්

1960 දශකයේ පටන් සංවර්ධිත රටවල් බහුතරයක හෘදයාබාධවලින් සිදුවන මරණ ප්‍රමාණය 50%කින් ඉහළ ගියේය. මේ වන විට හෘද රෝගවලින් සිදුවන මරණවලින් 80%ක්ම සිදුවෙමින් පවතින්නේ අඩු හා මධ්‍යම ප්‍රමාණයේ ආදායම්ලාභී ආසියානු රටවලය. ආසියාවේ රටවල් අතිබහුතරයක තත්ත්වය එයයි. ඉන්දියාවේ නාගරික ජනගහනයේ ගත වූ 50 වසර තුළ හෘද රෝග නිසා සිදුවන මරණ ප්‍රමාණය 4% සිට 11% දක්වා ඉහළ නැග ඇත. චීන නාගරිකයෝ 1988 සිට 1996 දක්වා එම ප්‍රමාණය 53.4% කින් ඉහළ නැග තිබේ. “මට සිතෙන්නේ ඉදිරි අනාගතයේදී අපට ආසියානු රටවල් තුළ හෘද රෝග හා ආඝාතය (Stroke) මහ පරිමාණයෙන් දැක ගැනීමට හැකිවනු ඇත කියායි.’’ එසේ පවසන්නේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ලෝක හෘද සමුළුවේ මහාචාර්ය පිලිප් පූල්ය. “මෙය පෙර සූදානමක් මගින් වළක්වා ගත හැකි බවට ආසියාතිකයින්ට අවවාද දීමට අපි සූදානම්. නමුත් හෘදයාබාධයක් අන් රෝගවලට වඩා වෙනස්. එය විදුලි ස්විචයක් ක්‍රියා විරහිත කිරීමකින් වැනි දෙයකින් වළක්වා ගත හැකි දෙයක් නොවන බව ඔවුන් වටහා ගත යුතුයි.’’

හෘදය ආශ්‍රිත රෝගාබාධ (Cardiovasular diseases) සම්බන්ධයෙන් දිය හැකි එක් හොඳ ආරංචියක් ද තිබේ. එය නම් ජීවන රටාවේ විකරණය (වෙනස් කර ගැනීම්) මගින් හා හොඳ ඖෂධ මගින් මෙම අවදානම අඩුකර ගත හැකි බවයි. කුමක් දෝ අහේතුවකට අපෙන් බහුතරයක් දෙනා ස්වල්පයක් ආහාරයට ගෙන තෘප්තිමත් වීමට (මද පමණ ආහාර සංකල්පය) අකමැත්තෝය. දුම්වැටිවලින් මිදීම හා නිරන්තර ව්‍යායාම්වල යෙදීම ද ඒ ආකාරයටම බොහෝ අය සලකන්නේ ඉතා අසීරු දේ හැටියටය. අනෙක් අතට ආසියාවේ බොහෝ වැසියන්ට, නවීන ඖෂධ ලබා ගැනීමට අසීරුතාවකය් පවතියි. එක්කෝ ඒවා මිලෙන් අධිකය. තවත් විටක අධික මිලට හෝ වෙළෙඳපොළේ සොයා ගැනීමට නොහැක. ඒ නිසා නිවාරණ අධ්‍යාපනය ළදරු වියේ සිටම ආසියාතිකයන්ට ලබා දීම කෙතරම් වැදගත්ද යන්න පසක් කරගත හැක.

ඉන්දියාව මාරක ළිඳේ ගැට්ටේ

SlideShare

PREVENTION AND TREATMENT OF HEART DISEASES | Slide Share

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටා ඇති එස්කෝට් හෘද නිවාරණ මධ්‍යස්ථානයේ ලොවට වඩාත්ම කාර්යබහුල වෛද්‍ය මධ්‍යස්ථාන අතරින් එකකි. එමගින් ඉන්දියාව පුරා පවත්වාගෙන යන සායන මගින් දිනකට හෘද රෝගීන් 350 දෙනෙකු පමණ හඳුනා ගනියි. වසරකට එම ආයතනයට අනුබද්ධ හෘද චිකිත්සක වෛද්‍යවරුන් අතින් හෘද ශල්‍යකර්ම 4000 කට වැඩි ප්‍රමාණයක් ද, ඇන්ජියොග්‍රෑම් පරීක්ෂණ 12,000 ක් පමණ ඇන්ජියෝප්ලාස්ටිස් ශල්‍යකර්ම 3000 ක් පමණ ද සිදුවෙයි. මෙම ප්‍රවණතාවය දිගින් දිගටම පැවතුණහොත් ඉක්මනින්ම එහි කාර්යබහුලත්වය තවත් උග්‍රවනු ඇත. එහෙත් එයින් පලක් තිබේද?

මේ ආකාරයට හෘද රෝගවල ගොදුරු බවට පත්වන බහුතරය වයෝවෘද්ධයන් නම් නොවේ. බටහිර රටවල වයස අවුරුදු 70ට අඩු පුද්ගලයන් හෘද රෝගවලින් මියයන ප්‍රතිශතය 22%ක් වන විට ඉන්දියාවේ එම අගය 50% කට ආසන්නය. සමාජ විද්‍යාඥයන් පමණක් නොව වෛද්‍ය විද්‍යාඥයන් පවා ප්‍රකාශ කරන ආකාරයට එයට හේතු වී ඇත්තේ ඉන්දියානු සමාජය මෑත කාලයේ අත්පත් කරගත් අධිවේගී ආර්ථික රටාවයි. මුදල් යහමින් අතමිට ගැවසෙන විට මුදල් ඉපයීම උමතුවක් හෝ ඇබ්බැහි වීමක් බවට පත්වෙයි. කය වෙහෙසා කරන රැකියාවන්ගේ සමාජ උපයෝගිතාවය ජනප්‍රියතාවය අනුක්‍රමිකව ගිලිහෙයි. දිනයෙන් වැඩි කොටසක් පුටු රත් කරමින් මුදල් පසුපස ආර්ථික සමෘද්ධිය හඹා යාමේදී, ව්‍යායම ගැන සිතීමද විහිළුවකි. එය සිතීමට කාලයක් ද නැත. ඉන්දීය වෛද්‍ය විශේෂ නරේෂ් ට්‍රිහාන් ප්‍රකාශ කරන ආකාරයට ඉන්දියානුවන් අතර හෘද රෝග මෙතරමට බහුල වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඔවුන් ව්‍යායාම්වලට අඩුම වශයෙන් ලක්වීමයි. “අපේ ඉන්දියානුවන්ට නිවසේ නාන කාමරය දක්වා රිය පදවාගෙන යාමට හැකි නම් ඔවුන් එයත් කරාවි. මිනිසුන් සෙලවීමටත් කම්මැලි වී තිබෙනවා’’ ඔහු පවසයි.

ඉන්දියාව මුහුණ දී ඇති හෘදයාබාධ අවදානම කොතරම් උග්‍ර අතට හැරී තිබෙන්නේදැයි කිවහොත් මෙම ව්‍යසනයට ප්‍රවේණික පදනමක්ද තිබිය හැකි යැයි ඇතැම් විද්‍යාඥයෝ සැක පහළ කරති. ඩොක්ටර් රෙඩී පර්යේෂණායතනයේ වෛද්‍ය සක්සේනා ද එම මතයෙහි එල්බ සිටින්නෙකි. ඔවුන් විසින් නිකුත් කරන ලද එක් වෛද්‍ය ජර්නලයකින් අනාවරණය වන ආකාරයට ඉන්දියානුවන්ගේ ප්‍රවේණික සංයුතිය (ජාන) හා රුධිරවාහිනී අවහිර කරන රුධිර කැටි කාරක රසායන ද්‍රව්‍ය සිරුර තුළම නිපදවීම අතර යම් සම්බන්ධතාවක් තිබේ. මෙම රුධිර කැටිකාරක රසායන ද්‍රව්‍යවලට LDL හෙවත් අඩු ඝනත්ව ලිහේ ප්‍රෝටීන් (අහිතකර කොලෙස්ටරෝල් ලෙසට ද මෙය හඳුන්වයි.) මෙන්ම ට්‍රයිග්ලිසරයිඩ ද අයත්ය. ට්‍රයිග්ලිසරයිඩ රුධිරවාහිනීවල ඇතුල් බිත්තියේ මේද තැන්පතු ඇති කරයි. ඉණ වටා මේද තැන්පතු වැඩි ප්‍රමාණයක් ඇති පුද්ගලයින් හෘද රෝගවලට ගොදුරු වීමේ අවධානම අධික බව හෙළි වී තිබේ. රෙඩීස් පර්යේෂණ පත්‍රකාවලින් තවදුරටත් හෙළිවන කරුණක් වේ. එය නම් ගර්භනී සමයේ පෝෂණයෙන් ඌන ආහාර වේලක් ගැනීම හේතුකොට ගෙන ඉන්දියානු මව්වරුන් බිහිකරන අඩු බරින් යුත් දරුවන්ද පසුකාලීනව හෘදයාබාධවලට ලක්වීමට වැඩි ඉඩක් ඇති බවයි. මෙයම වැඩිහිටි දියවැඩියාවට ද හේතු වෙතැයි රෙඩී පර්යේෂණායතනය ප්‍රකාශ කරයි.

වෙනත් ජන කොට්ඨාසවලට වඩා දකුණු ආසියාතිකයින් හෘදයාබාධවලට ගොදුරු වීමේ අවදානම අධික බව විද්‍යාඥයෝ පවසති. 2000 ලැන්සෙට් පර්යේෂණ පත්‍රිකාවෙන්, කැනඩාවේ සිටින දකුණු ආසියාතිකයින් සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණයකින් මේ බව හෙළි වී තිබේ. ඒ අනුව සියලුම හෘද රෝග කාරක සාධක පාලනය කර තිබියදීත් කැනඩාවේ ජීවත් වන දකුණු ආසියාතිකයින් එහි වෙසෙන චීන හා යුරෝපීය ජාතිකයින්ට වඩා හෘද රෝගවලට ගොදුරු වන බව සොයාගෙන තිබේ. මෙම තත්ත්වය ඇතැම් වෛද්‍යවරු සකසුරුවම් හෙවත් පිරිමහින ජානය සංකල්පයෙන් පැහැදිලි කෙරෙයි. පරම්පරා ගණනක සිට දකුණු ආසියාතිකයන් හුරු වී සිටින්නේ ආහාර වේල් පිරිමසා ගන්නටය. “ඔවුන් දිනපතා ආහාර වේල් ගන්නේ ප්‍රමාණවත් ආකාරයට නෙවෙයි. මෙම කුස නොපිරෙන ආහාරයට ගැනීම තුළ ශරීරයට තමාට හැකි ප්‍රමාණය ඉක්මවා ශක්තිය නිපදවීමට සිදුවනවා.’’ එස්කෝට්හි වෛද්‍ය ට්‍රිහාන් ප්‍රකාශ කරයි. මේ වන විට බොහෝ දකුණු ආසියාතිකයින්ගේ ශරීර පිටතට දිස්වන්නේ ඔවුන් ගනු ලබන ආහාරයට සමානුපාතිකව නෙවේ. අතීතයේ ඉතා සුළු ආහාරයකින් යැපීම නිසා ප්‍රවේණිකව පිරිමැසුම් ජාන දරමින් සිටි දකුණු ආසියාතික සිරුර, ඉතා මෑත කාලයේදී එම සිරුරේ හිමිකරු විසින් මහ ගොඩක් ආහාර එකවර ගිල දැමීමට පටන් ගැනීමත් සමග තාන්තු සිටිනවා වැන්න. එනම්, වැඩිමනක් ආහාර තොග පිටින් ආමාශය කරා ඇදී ආවද ඒවා පරිවෘත්තීය දහනයට ලක් කළ විට නිපදවන අතිමහත් ග්ලූකෝස් ප්‍රමාණය යාමනය කිරීමට තරම් ඔවුන්ගේ රුධිරයේ තිබෙන ඉන්සියුලින් හෝමෝන ස්වල්පය ප්‍රමාණවත් නොවේ. එම ඛේදවාචකයේ ප්‍රතිඵලය ලෙස කලාපය පුරා දියවැඩියාව මෙන්ම ස්ථුලත්වය හෙවත් තරබාරුකම ශීඝ්‍රයෙන් හිස ඔසවමින් තිබේ. “ජානය තවමත් හැසිරෙන්නේ පෙර පුරුදු ආකාරයටමයි’’ ට්‍රිහාන් ප්‍රකාශ කරයි. “එය අවශ්‍ය තරම් ඉන්සියුලින් නිපදවීමට පටන් ගැනීමට තවත් පරම්පරා දෙකක පමණ කාලයක් අවශ්‍ය වනු ඇති.’’

“හාදයාබාධ ඇතිවීම සඳහා ජනවාර්ගික පදනමක් ඇත?’’

ලොව හෘද රෝගී ක්ෂේත්‍රය වරක් අතිශය කළඹවා ලූ “හාදයාබාධ ඇතිවීම සඳහා ජනවාර්ගික පදනමක් ඇත’’ යන ප්‍රකාශය කළ කැනඩාවේ මැක් මාස්ටර් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සහීම් යුසුෆ් දැන් තම අදහස් වෙනස් කරගෙන ඇත්තේ පහත ආකාරයටය. “දැන් ඉතා පැහැදිලිව පෙනෙන ආකාරයට හෘද රෝග ඇතිවීමේ විවිධත්වය ඇති කරනු ලබන්නේ ජීවන රටාවේ විවිධතාවය මගින්’’ ඔහු තවදුරටත් මෙසේ ප්‍රකාශ කරයි. “හෘද රෝග අවදානමෙන් 80%ක් පමණම ඇති වන්නේ අප හඳුනාගත් සාධකවලින්. ඒවා නම් දුම්පානය, තරබාරු බව හා අධි රුධිර පීඩනයයි. මේවා එක එල්ලේම ඇති වන්නේ අපේ ආහාර පුරුදු හා ජීවන පුරුදු මගින්. ඒ අනුව සිතුවහොත් ප්‍රවේණික පදනමට හිමිවන්නේ ඉතා සුළු ස්ථානයක් පමණයි’’ යුසුෆ් පවසන ආකාරයට හෘදයාබාධ පවුල් ඉතිහාසයක් ඇත්තවුන්ට එය ප්‍රවේණිගත වන්නේ ජානවලින් නොවේ. එකම පවුලක් තුළ පරම්පරා කිහිපයක් යනතෙක්ම සමාන ජීවන රටා හා ජීවන පුරුදු දැකිය හැකි වීම එයට හේතුවයි. ජපන් සංක්‍රමිකයන් ඇසුරෙන් කළ පර්යේෂණවලින් ද හෙළි වී ඇත්තේ ඔවුන් ජපානයෙන් එන විට ඔවුන්ගේ හෘද රෝග අවදානම ඉතා අඩු මට්ටමක පැවතුණු නමුත් බටහිර ජීවන රටාව සමග මුහු වීමේදී එම අවදානම ඉතා අඩු මට්ටමක පැවතුණු නමුත් බටහිර ජීවන රටාව සමග මුහුවීමේදී එම අවදානම ක්‍රමයෙන් ඉහළ නැග ඇති බවයි.

චීනයටත් අසාධ්‍යයි

තරබාරුව චීනයට අනිසි විපාක ගෙන ප්‍රතිවිපාක දෙකම මරණීයය. එකක් නම් හෘදයාබාධයයි. අනෙක නම් අඝාතය(stroke) යි. බෙයිජිහිංහි ෆු වාසි ආරෝග්‍ය ශාලාවේ ප්‍රධානතම හෘද චිකිත්සකයෙකු වන වෛද්‍ය ගු ඩොන්ග්නෙන්ග් පවසන ආකාරයට චීනයේද හෘද රෝග වසංගතයට හේතු වී ඇත්තේ චීන ජාතිකයින් මෑතකදී අත් කරගත් වේගවත් ආර්ථික සමෘද්ධිය සමග අත්වැල් බැඳගත් සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටාවයි. “මෙයට දස වසරකට පෙර අපේ රෝහලේ වෛද්‍යවරුන් සතුව පවා මෝටර් රථ තිබුණේ හතරයි. සියලුම දෙනා බයිසිකල් පැදීම කළා. ඔබ අද අපේ ආරෝග්‍ය ශාලාව දුටුවහොත් පුදුමයට පත්වේවි. තත්ත්වය වටහා ගැනීමට එදෙස බැලීම ප්‍රමාණවත්.’’ ඔහු පවසයි. අද එම ආරෝග්‍ය ශාලාවේ පිවිසුම් දොරටුව අසල නිතර පාහේ මෝටර් රථ තදබදයකි.

පෘථිවියේ සිටින වඩාත් තරබාරු පුද්ගලයින් අතර ඇමරිකානුවන් වන බව ඇත්තකි. එහෙත් ක්‍රම ක්‍රමයෙන් චීන ජාතිකයෝ එම ස්ථානය ද ආක්‍රමණය කරමින් සිටිති. 1980 දශකයේ මුල සිට 1990 දශකයේ අගභාගය වන විට චීන ජාතිකයන්ගේ තරබාරු බව ස්ත්‍රින්ගේ හා පුරුෂයින්ගේ පිළිවෙළින් 132% සහ 95% වශයෙන් ඉහළ නැග තිබිණි. තත්ත්වය මේ ආකාරයටම පැවතුණහොත් වසර 2035 වන විට චීන ස්ත්‍රියන්ගෙන් 40% ක් ද පුරුෂයින්ගෙන් 37% ක් ද අධි තරබාරුකමින් පීඩා විඳිනු ඇත. වඩාත්ම භයානක දෙය වන්නේ චීන සමාජයේ පිළිකාවක් මෙන් ඔඩුදුවන දුම්බීමේ ඇබ්බැහිකමයි. මේ වන විට චීන ජාතිකයින්ගෙන් 60% ක් දෙනා දුම්වැටියට ඇබ්බැහි වූවන්ය. හෘදයාබාධ ඇති කිරීමේ අංක 1 කාරකය ලෙස දුම්පානය සැලකෙන්නේ හේතු රැසක් නිසාය. එහි අන්තර්ගත ප්‍රධානතම සංඝටකය වන නිකොටින් රුධිර පීඩනය ඉහළ නංවා රුධිරවාහිනීවලට තුවාල සිදුකර, කොලොස්ටරෝල්වලින් සිදුවන අහිතකර බලපෑම දෙගුණ තෙගුණ කරයි. “එක් දුම්වැටියකින් පවා ඔබේ හදවතට සැලකිය යුතු බලපෑමක් සිදුවනවා.’’ හොංකොංහි චීන විශ්වවිද්‍යාලයේ භෘත් චිකිත්සක අංශයේ ප්‍රධානී මහාචාර්ය ජෝන් සැන්ඩර්සන් ප්‍රකාශ කරයි.

චීනයේ විපථ හෙවත් බයිපාස් හෘද සැත්කමට පවා ඇති පහසුකම් ඉතා සීමිතය. සාමාන්‍යයෙන් විපථ හෙවත් බයිපාස් හෘද සැත්කමකදී හෘද ප්‍රණාල පෙණහළුවල සම්බන්ධතාවයෙන් මුක්ත කර ඒවා හෘත් පෙණහළු යන්ත්‍රයකට (Heart Lung Machine) සම්බන්ධ කරයි. ඉහත කී හෘත් පෙනහළු යන්ත්‍රයක් භාවිත කළ හැක්කේ එක්වරක් පමණකි. එම හෘද සැත්කමට යන වැයපස මෙතරම් අධික වන්නේ ඒ නිසාය. බෙයිජිං මහජන විශ්වවිද්‍යාලයේ වෛද්‍ය වැන් ෆෙන්ග් මොස් පවසයි. “රුසියාවේ ජනපති හෘදයේ බයිපාස් සැත්කමකට මුහුණ දෙන ආකාරයක මා දැක තිබෙනවා. නමුත් රුසියාවේ අපට සත්‍ය වශයෙන්ම බයිපාස් සැත්කම් කිරීමට තරම් පහසුකම් තිබෙනවාද?’’ ඒ නිසාම වෛද්‍ය වැන් ඇතුළු පර්යේෂකයින්ට සිදුවී ඇත්තේ එයට ආදේශක ලෙස යෙදිය හැකි අඩු මිල හෘත් සැත්කම් ක්‍රමයක් අනාවරණය කර ගන්නටය.

හදවත ඇතුළත

පහත දැක්වෙන්නේ ඔබේ හදවත ද අව ක්‍රියාකාරීත්වයට ලක්වූ විට ඇති විය හැකි සුලබ අහිතකර ප්‍රතිඵලයන්ය. ඒවාට කුමක් කළ යුතුද? මේ වන විට යොදන ප්‍රතිකාර විධි මොනවාද?

හෘදයාබාධ

හෘදයාබාධයක් ඇති විය හැකි ප්‍රාථමික ආකාරය නම් හෘත් නාලවල අභ්‍යන්තරයේ මේද පටල ඇති වී ඒවා ප්‍රසාරණය වී පුපුරා ගොස් එම රුධිර නාලය තුළින් රුධිරය ගලනය අඩු වීමයි. මේ ආකාරයට හෘත් පේශියට සැපයෙන රුධිර සැපයුම අඩු වීමෙන් එක්කෝ හෘදයෙන් සිදුවන රුධිර පොම්ප කිරීමේ ක්‍රියාවලිය අක්‍රමවත් වෙයි. නැත්නම් හෘදය වස්තුවම නැවතීමට ද ඉඩ තිබේ.

ප්‍රතිකාරය

හෘද වස්තුවේ ධමනියක් මේ ආකාරයට දිගින් දිගටම මේද තැන්පතු නිසා අවහිර වේ නම් එහි අරුත හෘත් පේශිය නැවත ප්‍රකෘති කළ නොහැකි ආකාරය හානියට පත්වීම විය හැක. ප්‍රථමයෙන්ම කළ යුත්තේ රෝගියා රෝහල්ගත කිරීමයි. රුධිරය තුනී කරන (ඝනත්වය අඩු කරන) ඇස්ප්‍රීන් පෙත්තක් ප්‍රථමාධාරය වශයෙන් ලබා දීම උචිතය. රුධිර කැටි දිය කරන ස්ට්‍රෙප්ටොකයින්ස් වැනි ඖෂධ නිතර භාවිතය රුධිර නාලවල අවහිරතා අඩු කිරීමට හේතු වෙයි. එය ප්‍රමාණවත් නොවන්නේ නම් සුළු හෘදයාබාධ සඳහා බැලුම් ආධාරයෙන් සිදුකරන ඇන්ජියෝප්ලාස්ටි ශල්‍ය කර්මයක් කළ යුතු වනු ඇත.

ඇන්ජයිනා

මෙම රෝගී තත්ත්වය ‘උරස් සම්බාධය’ ලෙසද හඳුන්වයි. මෙහිදී සිදුවන්නේ හෘදයේ ක්‍රියාකාරීත්වයට ප්‍රමාණවත් තරම් රුධිරය හා ඔක්සිජන් නොලැබෙන විට ළය දෙපසින් වේදනාවක් නැග ඒමයි. හෘදය වස්තුව ලෙස නිවාඩු දැමීමට ආසන්න බව හඟවන ප්‍රථම සංඥාව ඇන්ජයිනා රෝගී තත්ත්වය වීමට පුළුවන.

ප්‍රතිකාර

ඇන්ජයිනා තත්ත්වය ප්‍රකට වන විට නයිට්‍රොග්ලිසරින් පෙති භාවිතයට ගැනීම උචිතය. මෙම ඖෂධය රුධිර නාල පුළුල් කරන අතර හෘදය වස්තුවට අවශ්‍ය තරම් ඔක්සිජන් ලබා දීමට ක්‍රියා කරයි. බීටා බ්ලොකර් ඖෂධ කාණ්ඩයද ඇන්ජයිනා ප්‍රතිකාරයකි. මෙහිදී සිදු කරන්නේ හෘදයේ ක්‍රියාකාරීත්වයේ වේගය අඩුකර එමගින් හදවතට අවශ්‍ය කරන ඔක්සිජන් හා රුධිර ප්‍රමාණය අඩු කිරීමයි.

ආඝාතය

මෙය මොළයේ ලේ නහර පිපිරීම ලෙසද හඳුන්වයි. ආඝාතයේ සුලබම ආකාරය මෙය වන නමුදු හෘදය වස්තුවේ රුධිරවාහිසී ආරම්භ වන ස්ථානය අසලින්ම රුධිර කැටි ඇතිවී ඒවා අවිහිර වීමෙන්ද ආඝාතය ඇතිවීමට පුළුවන. දිගු වේලා හෘත් සෛලවලට ඔක්සිජන් නොලැබී තිබුණහොත් ඒවා මිය යන්නට පටන් ගනියි. එසේත් නැත්නම් මොළයේ ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් අඩාල කිරීමට පටන් ගනියි. අවසන් ප්‍රතිඵලය මරණය හෝ සදාකාලික අංශභාග තත්ත්වයයි.

ප්‍රතිකාරය

ලේ කැටි නිසා මොළයේ රුධිරවාහිනී අවහිර වීම, එවැනි ලේ කැටි දියකර හරින TPA වැනි ඖෂධ මගින් වළකා ගත හැක. එහෙත් මෙම ඖෂධය ගත යුත්තේ ආඝාතය හටගෙන මුල් පැය 3ක කාලය ඇතුළතය. මෙය තාවකාලික සහනයකි. මොළයේ නහර පිපිරී අධිකව ලේ වහනය වේනම් ශල්‍යකර්මයක් මගින් පුපුරා ගිය රුධිර වාහිනියේ පත්ලට ලෝහ චිපයක් බහාලීමෙන් මෙය සුව කිරීමට හැකියාවක් ඇත.

LIFEINISM

LIFEINISM

අත්‍යාධික හෘද ක්‍රියාකාරීත්වය

පමණ ඉක්මවා ක්‍රියා කිරීම නිසා හෘදය අවසානයේ පීඩාබර වෙයි. ධාරිතාව ඉක්මවා ශරීරයේ එක් එක් අවයවයන්ට අවශ්‍ය රුධිරය සැපයීමට සිදුවීම මෙයට හේතුවයි. ඒ අනුව හෘදය වෙතට පැමිණෙන රුධිරය ඒ හා සමාන පරිමාවකින් පිටතට ගලා නොයයි. එයින් හෘදය තුළ අමතර රුධිර පරිමාවක් එක් රැස්වීමේ ප්‍රතිඵලය ලෙස පටක සෛලවල පටක තරලය ද එක් රැස්වීමට පටන් ගනියි. මෙම අකර්මණ්‍යතාවය බාහිරින් පළවන ප්‍රධානතම ආකාරය වන්නේ දෙපා හා දණහිස්වල ප්‍රදාහ තත්ත්වයක් ඇතිවීමයි.

ප්‍රතිකර්මය

මෙයට නිශ්චිත, නිත්‍ය ප්‍රතිකාරයක් නොමැති අතර ඖෂධ භාවිතයෙන් හෝ ශල්‍යකර්මයක් මගින් පාලනය කිරීම පමණක් කළ හැක. ‘ඩියුරෙටික්ස්’ ඖෂධ පටකවල පටක තරලය එක් රැස් වන ප්‍රමාණය අඩු කර දමයි. ACE නිෂේධක ඖෂධ මගින් එම සිහින් වූ රුධිර නාලවල විශ්කම්භය විශාල කිරීම කළ හැකියි. එයින් දුර්වල තත්ත්වයට පත්ව තිබෙන හෘදය වස්තුව වෙත රුධිරය ගලා ඒම යළි ක්‍රමවත් කිරීමට පුළුවන.

ශල්‍යකර්ම අත්‍යවශ්‍යද?

මේ ආකාරයට හෘදයාබාධ සම්බන්ධ නවතම ප්‍රතිකාර ක්‍රම අත්හදා බැලීමට නිරන්තරව උත්සුක වන්නේ චීනය පමණක් නොවේ. හෘදයාබාධ ප්‍රතිකර්ම පිළිබඳ මුළු ලොවම පසුවන්නේ අවදියෙනි.

බ්‍රිස්ටල් මයර්ස් ස්ක්විබ් පර්යේෂණායතනය එවැනි අතිශය වැදගත් පර්යේෂණ ප්‍රතිඵලයක් ප්‍රකාශයට පත් කළ අතර, එය ප්‍රකාරව ස්ටැටින් නමැත් ඖෂධ කාණ්ඩය මගින් රුධිරයේ LDL මට්ටම (අහිතකර කොලෙස්ටරෝල් මට්ටම) නියත වශයෙන්ම බිඳ හෙළයි. මෙහි අනිවාර්ය ප්‍රතිඵලය ලෙස හෘදයාබාධ අවදානම ද පහත වැටෙයි. එසේම ජනවාරි මස පැවැත්වූ ආසියා පැසිපික් හෘත් විශේෂඥ සමුළුවේදී ඉතා වැදගත් ඖෂධ කාණ්ඩ කිහිපයක් කරළියට පැමිණියේය. ඒවා නම් (ACE Inhibitors) සහ ARB නිෂේදකයි. මෙම ඖෂධ අධි රුධිර පීඩනය අඩු කිරීමට ඉතා සාර්ථක ලෙස සමත් වෙයි. හඳුනාගෙන ඇති ආකාරයට කලාපයේ හෘද රෝගී ආසියාතිකයන්ගෙන් බහුතරය අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නන්ය. එය එක් එල්ලේ ආඝාත රෝගී තත්ත්වය සමගද සම්බන්ධය.

මේ සම්බන්ධ ඉතාම වැදගත් පර්යේෂණය කර ඇත්තේ එච්.කේ.යූ. (HKU) හෙවත් හොංකොං විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ට්සේ හුන්ග් ෆැට් ප්‍රමුඛ වෛද්‍ය පර්යේෂක කණ්ඩායමයි. ඔවුන්ගේ පර්යේෂණයේ අරමුණ, දර්ශීය, එනම් සාමාන්‍ය ඖෂධ කාණ්ඩවලට පිළිතුරු නොදෙන, එමෙන්ම හෘත් ශල්‍යකර්ම සඳහා සහභාගි වීමට හෘදයාබාධ ප්‍රතිකාරයක් සොයා ගැනීමයි. රෝගියාගේම අස්ථිවලින් ලබාගත් ඇටමිදුළු කඳ සෛල, හෘත් පේශියට එන්නත් කිරීම සාර්ථක ක්‍රමයක්දැයි ඔවුහු විමසා බැලූහ. මෙය ‘පියවි සෛල ප්‍රතිකාරය’ ලෙසද හඳුන්වයි. හෘදයාබාධයක් වැළඳුණු පසු බොහෝ රෝගීන්ට විපථ හෙවත් බයිපාස් ශල්‍යකර්මයක් මිස අන්මගක් නැතිවීමට විශේෂිත හේතුවක් තිබේ. එය නම් රුධිර කැටි මගින් අවහිර වූ හෝ තුවාල වූ හෝ තුවාල වූ රුධිර වාහිනීවලට ‘විහින් සුව වීමේ’ හෙවත් ස්වයං පියවි තත්ත්වයට පත්වීමේ හැකියාවක් නොමැති වීමයි. එහෙත් HKU පර්යේෂකයින් හෙළිදරව් කරගෙන ඇති ආකාරයට කැතීරටයක ආධාරයෙන් මෙම කඳ සෛල, හෘත් පේශිය (Heart muscle) ට එන්නත් කළ විට අවහිර වූ රුධිරවාහිනී වෙනුවට එම කාර්යයම ඉටු කිරීමත් සමත් (සමකාර්ය) නව රුධිරවාහිනී ජනනය වන බවයි. ඉඳින් මෙය කෙතරම් වැදගත් පර්යේෂණයක් ද යන්න විස්තර කිරීමට තවත් අටුවා ටීකා අවශ්‍ය ද?

HKU කඳ සෛල පර්යේෂණ කණ්ඩායම සමග සම්බන්ධ වීමට පෙර, තීව්‍ර ගණයේ ආඝාතයකට ගොදුරු වී සිටි හෝ ක්වොන්ග් හට තම ජීවිතය රැක ගැනීම සඳහා සතියකට බෙහෙත් පෙති 20 ක් ගිල දැමීමට නියම වී තිබිණි. තත්ත්වය මෙතරම් බරපතල වීමට හේතුවක් වූයේ මෙම රෝගියා ඒ සමගම තම පළමු හෘදයාබාධයට ද ගොදුරු වී සිටීමයි. වෙහෙස නොදැනී පියවර කිහිපයක් හෝ ඇවිදීම ඔහුට අසීරු කාරියක් විය. “ජීවිතය පෙර පැවති සුපුරුදු ආකාරයෙන්ම පවත්වාගෙන යාමට අපොහොසත් වුණා’’ එහෙත් කඳ සෛල චිකිත්සාවට ලක් වීමෙන් පසු ඔහුට අතීත නිදහස් ජීවිතයම යළි ලැබිණ. “දැන්මට මිතුරන් සමග පිටතට ගොස් විනෝද වීමට පුළුවන. කැරෝකේ ගීත ගැයීමට – සතුටු වීමට පුළුවන්’’

කඳ සෛල හෙවත් පියවි සෛල ප්‍රතිකර්මය හෘදයාබාධයට අත්දුටු ප්‍රතිකාරය නොවන්නේ එයින් හෘත්පටකය පුනර්වර්ධනය නොවන නිසාය. එහෙත් වෛද්‍ය ට්සේ පවසන පරිදි සහස් සංඛ්‍යාත රෝගීන්ට මෙම ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ පුවත ද අස්වැසිල්ලකි.

පාකිස්තානයේ මුල්ටාන්හි නිෂ්ටාර් ආරෝග්‍ය ශාලාවේ හතළිස්පස් හැවිරිදි කැනීස් ෆැටිමා නමැති රෝගී කාන්තාව හෘද රෝග සායනය කරා ඇදෙන ආකාරය නිතර දෙවේලේ දැකීමට පුළුවන. මෙහි වෛද්‍යවරු, ඇයට එක් හෘත් කපාටයක් හැකි ඉක්මනින් බද්ධ නොකළහොත් ඇයට මරණය නියත යැයි කියති. ඇගේ සැමියා, පේෂකර්ම මෝලක සේවය කරන, වාර්ෂිකව ඩොලර් 600ක පමණ වේතනයක් උපයන හාජි මොහොමඩ් අක්රම් මේ වනවිට තම බිරිඳගේ වෛද්‍ය ගාස්තු පියවීම සඳහා ඔවුන්ගේ නිවස ද විකුණා දමා ඇත. කිලෝමීටර 400 ක් ඈතින් පිහිටි ලාහෝරය බලා ඔහු මේ වන විට තෙවරක්ම ගමන් කර ඇත්තේ රජයේ රෝහලක බිරිඳගේ ශල්‍යකර්මය සිදු කිරීමට අවස්ථාවක් ලබාගන්නටය. මෙම සෑම ගමන් වාරයක් සඳහාම ඔහුට තම මාසික වැටුපට සමාන මුදලක් වියදම් වෙයි. එහෙත් ඔහුට ඉවසා සිටීමට වඩාත්ම අපහසු දෙය අධි වියදම නොවේ. පොරොත්තු ලේඛනයේ (Waiting List) වසර ගණනක් බලා සිටීමට සිදුවීමයි. පුද්ගලික රෝහල්වල පොරොත්තු ලේඛන නැත. එහෙත් වියදම සැරය. අවම වශයෙන් එය ඩොලර් 7,000 ඉක්මවයි. අක්‍රම්ගේ පසුම්බියට එය කෙසේවත් ඔරොත්තු නොදෙයි. “මේ තරම් මුදල් කොහෙන් හොයන්නද?’’

සියල්ලටම පෙර දැනුවත් බව

වෛද්‍ය නිෂ්ටාර් 1998 දී ‘හාට්ෆයිල්’ සේවය ආරම්භ කළේ පාකිස්තානයේ ගම්බද දුගී ජනයා ඉලක්ක කරගෙනය. ඈ සහ ඇගේ වෛද්‍ය කණ්ඩායම දකුණු පන්ජාබයේ ලෝධරන් අසල පිහිටා ඇති බැස්ටි ජන්ධවලා වැනි අන්ත දුගී ගම්මානවලට ගොස් හෘදයාබාධයක මුල් ලකුණු පිළිබඳ එහි ගම්වැසියන් දැනුවත් කරති. එම සංවිධානය මේ වන විට 2000 කට අධික සෞඛ්‍ය සේවකයින් හා ස්වේච්ඡා සේවකයින් පිරිසක් පුහුණු කර තිබේ. පාකිස්තානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ද ලෝක සෞඛ්‍ය සංවිධානය ද සමග සමීප සබඳතා පවත්වන එය, හෘදයාබාධ මැඩලීමේ ජාතික වැඩසටහනක් තැනීමේ භාරදූර කාර්යයට ප්‍රශංසනීයව උර දී සිටියි. පාකිස්තාන ජනමාධ්‍යයන්ට හෘද රෝග පිළිබඳ තොරතුරු නිරන්තර සැපයීමට එය අමතක නොකරයි.

එහි ප්‍රතිඵල විස්මයජනකය. හාට්ෆයිල් සාමාජිකයන්ගේ ආගමනයෙන් පසු බැස්ටිජන්ධවාලා හි ගොවියෙකු වූ සලීම් ඛාන් තම මහලු පියාගේ ජීවිතය හෘදයාබාධ මරුවාගෙන් රැකගත්තේය. හැට හැවිරිදි මහලු මිනිසා දිනක් උදෑසන නින්දෙන් අවදි වී තිබුණේ වම් උරහිසේ හා පපුවේ හටගත් සුළු වේදනාවක් සමගය. එය හෘදයාබාධයක පෙරනිමිත්තකැයි හාට්ෆයිල් සාමාජිකයින් සලීම්ට උගන්වා තිබිණි. “මම පියාට, ලේ තුනී වීමට ඇස්ප්‍රීන් පෙත්තක් දුන්නා. වහාම ඔහුව රෝහල් ගත කළා’’ පියාගේ ජීවිතය රැකුණේ එම ප්‍රථමාධාරය නිසා යැයි රෝහලේ දී වෛද්‍යවරු ඔහුට කීවෝය. අද සලීම් ඛාන් ද හාට්ෆයිල් ක්‍රියාකාරියෙකි.

නිතරම සිදුවන පරිදි අයහපත් ආර්ථිකය, යහපත් සෞඛ්‍යයට විනකටියි. ගිතෙල් වෙනුවට එළවළු තෙල් යොදා ආහාර පිසීම වඩාත් සෞඛ්‍ය රක්ෂිත යැයි හාට්ෆයිල් සේවකයෝ ජන්ධවාලා ගැමියන්ට කීහ. එහෙත් එළවළු තෙල් කිලෝග්‍රෑමයක් ගිතෙල් එම ප්‍රමාණයට වඩා ශත 52 ක් මිලෙන් වැඩිය. වාර්ෂික ආදායම ඩොලර් 600 කට වඩා නැති ගම්මුන් බහුතරයකට මෙම වෙනස අතිශය සැලකිය යුත්තකි. “ආහාර වේල වෙනස් කරගන්නා ලෙසත් නිතරම රුධිර පීඩනය පරීක්ෂණයට ලක් කරගන්නා ලෙසත් ඉල්ලා සිටි විට එය අධි වියදම්කාරී දෙයකැයි කියා ගැමියන් චෝදනා කළා’’ හාට්ෆයිල් හි පුහුණු සෞඛ්‍ය සේවිකාවක වන ජමිලා පර්වීන් ප්‍රකාශ කරයි. “ඔවුන් අප කියනා දෙයට ප්‍රවේශමෙන් ඇහුම්කන් දෙනවා. ඉන්පසු එය තමාට ඔරොත්තු නොදෙන බව පවසනවා.’’

එහෙත් වාසනාවකට මෙන් ආසියාතිකයන් බහුතරයකට නිරෝගී හෘදයක් සඳහා පහත සෞඛ්‍ය පුරුදුවලින් කිහිපයක් හෝ අනුගමනය කිරීමට හැකියාව තිබේ.

දුම් නොබොන්න

ඔබට හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම දුම්පානය මගින් තෙගුණයකින් ඉහළ දමයි. එහෙත් ඇබ්බැහිය අතහැර දැමුවහොත් එම අවදානම දෙවසරක් තුළ අඩකින් අඩු වෙයි. දස වසරකින් සාමාන්‍ය තත්ත්වයට පත්වෙයි.

වැඩි බර අගුණයි

දේහයේ මැද ප්‍රදේශයේ (බඳ, ඉඟටිය හා උදරය වැනි ප්‍රදේශවල) අතිරේක මේදය තිබීමෙන් සිරුරු බර අතිශය ඉහළ යයි. එයින් ආඝාතයට හෝ හෘදයාබාධයකට ඇති අවදානම ද එම අනුපාතයෙන්ම ගුණ වෙයි. එසේම තරබාරුව, දියවැඩියාව ඇති කරන ප්‍රධානතම සාධකයක් ද වෙයි. හැකි තරම් මේදය අඩුකර ඒ වෙනුවට ආහාර වේලට එළවළු, ධානය හා පලතුරු හැකි තරම් එක්කර යැයි වෛද්‍යවරු උපදෙස් දෙති. දිනකට මිනිත්තු 30 ක් පමණ ස්වායුක ව්‍යායාමය කළ හැකි නම් අගය කියා නිම කළ නොහැක.

කොලෙස්ටරෝල් අතේ දුරින්

කොලෙස්ටරෝල් හා ට්‍රයිග්ලිසරයිඩ වැනි උසස් (සන්තෘප්ත) මේද ප්‍රධානතම හෘද රෝග කාරකයි. වර්තමාන වෛද්‍ය වාර්තාවලින් කියැවෙන ආකාරයට අනතුරුදායක නොවන අහිතකර කොලෙස්ටරෝල් (LDL) අනුපාතය ඩෙසිලීටරයට මිලිග්‍රෑම් 100 කි. එහෙත් පර්යේෂණ ගණනාවකින් දැන් දැන් හෙළි වන කරුණුවලින් පෙනී යන්නේ එයට වඩා අඩු ප්‍රමාණයක් ඔබ ආහාර වේලට එක් කරගන්නා තරමට ඔබේ හදවතේ ආයුකාලය වැඩි වන බවයි.

රුධිර පීඩනය ගැන අවධානයෙන්

අධිරුධිර පීඩනය ඇති විට හෘදයට දේහ පටක පුරා සාමාන්‍ය ක්‍රමවත් ආකාරයෙන් රුධිරය සංසරණය කරවීමට අපහසු වෙයි. එනම් ඒ සඳහා දැඩි ආයාසයක් දැරීමට හෘදයට සිදු වෙයි. හෘදයාබාධ මෙන්ම ආඝාතය ඇති වීමේ අවදානමද මෙම ක්‍රමයෙන් ඉහළ නගියි. වෙහෙස වී වැඩ කිරීමේ දී හුස්ම ගැනීමේ අපහසුවක් ඔබට දැනේ නම් එය සුළු කොට නොතැකිය යුතුය. වහා වෛද්‍යවරයකු හමුවන්න. ඔබට තිබෙන්නේ අධිරුධිර පීඩනය නම් එය ආහාර පුරුදු මගින් පමණක් නොව අවශ්‍ය නම් භාවනා කිරීම් මගින් පවා සාමාන්‍ය කරගැනීම වැදගත්ය.

හෝමෝන ගැන විශ්වාසය නොතබන්න

තරුණ කාන්තාවන්ගේ ලිංගික හෝමෝනයක් වන ඊස්ට්‍රජන්, හෘදයාබාධවලට වැට බඳින බව ඇත්තකි. එහෙත් ඔසප්වීම නැවතුණු හෙවත් ආර්තවහරණයට ලක්වූ (menapaused) කාන්තාවන්ට එවැනි වාසියක් අත් නොවෙයි. එයින් නොනැවතී, දැනටමත් හෘදයාබාධයකින් පෙළෙන කාන්තාවකට දෙවැනි හෘදයාබාධයක් ඇතිවීමට තිබෙන ඉඩකඩ ඉහළ නංවයි. එසේම උපත් පාලන පෙතිවල ප්‍රධාන වශයෙන් ඊස්ට්‍රජන් හෝමෝන අඩංගු නිසාම දුම්පානය කරන කතුන්, වයස අවුරුදු 35ට වැඩි කතුන් හා අධි රුධිර පීඩනයෙන් පෙළෙන කතුන් උපත් පාලන පෙති ගැනීම සුදුසු නැත.

අවම ආතතිය කෝකටත් තෛලයක්

දුම්පානය වැනි පුරුදු නිසා කිරීටක ආතතිය වැඩි වෙයි. එයින් හෘදයාබාධ අවදානම ඉහළ යයි. මත්පැන් හා අහිතකර ක්ෂණික ආහාර ගැනීමට පුරුදු වූවන්ගේ ද ඒ ආකාරයට කිරීටක ආතතිය ඉහළ යයි. ශාරීරික ව්‍යායම, යෝග හා භාවනාවලට ආතතිය අඩු කළ හැක. ඔබට රාත්‍රිය පුරා සුව නින්දක් ලැබිය නොහැකි නම් එහි අරුත ඔබ ආතතියේ ගොදුරක් බවට පත්ව ඇති බවයි. මුලින් ඒ බව හඳුනාගන්න. නිතර මානසික අවපීඩනය හෙවත් විෂාදයට පත්වන්නෙකු නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා එම තත්ත්වය සමනය කරගන්න.

උතුරු ඇමරිකාවේ මැක් මාස්ටර් සරසවියේ වෛද්‍ය පර්යේෂක, මහාචාර්ය යූසූෆ් නිරීක්ෂණය කර ඇති ආකාරයට අඩු හෘද රෝග අවදානමක් දරන්නන්ගේ ආහාරවේල අමතර කිරි මේදයෙන් නිතර පොහොසත්ය. එවැන්නෝ දිනකට සාමාන්‍ය වශයෙන් පියරව 18,000 ක් පමණ ඇවිද යති. (ඇමරිකානුවෙක් සාමාන්‍යයෙන් පයින් ඇවිද යන්නේ පියවර 3000 – 5000 අතර ප්‍රමාණයකි.) ඔකිනාවා දූපත් වැසියන් ද ඉදිරියේ තම අවදානම හඳුනාගෙන අතීත ජීවන රටාවට හුරුවේ නම් එය අතිශය ප්‍රගතිගාමී පියවරක් වනු ඇතැයි එහි පෝෂක නිලධාරියෙක් පවසයි. “පඩිපෙළ භාවිතය යළි ප්‍රචලිත කළ යුතුයි. දිනකට පියවර 10,000 ක් තබා ඇවිද යන පුද්ගලයා හෘද රෝග හැකිතාක් ඈත් කර තබාගන්නවා.’’

යොෂිෆියුසා මියාගි දිනකට පියවර 10,000 ක්ම නොඇවිදින බව ඇත්තකි. එහෙත් හෘදයාබාධය වැලඳීමෙන් පසු මේදය අධික හරක් මස් සහ තෙල් අධික ආහාර, තම කෑම පිඟානට නොගැනීමෙන් ද ඔකිනාවානු මත්පැන් 80% කින් සීමා කිරීමෙන් ද, දිනකට හැකි තරම් වේලා පයින් ඇවිදීමෙන් ද ඔහු තම දේහබර කිලෝග්‍රෑම් 8 කින් අඩු කරගෙන තිබේ. “ප්‍රංශ බැදුම්, හැම්බර්ග් හෝ ක්ෂණික කෑමවලට ඇබ්බැහි වෙන්න එපා කියා මම මගේ මිත්‍රයින්ට නිතරම කියනවා’’ මියාගි පවසයි. “ඔවුන්ටත් මට වූ දෙයම වනවාට මා කැමති නැහැ.’’ සත්‍ය වශයෙන්ම කලාපීය වසංගතයක් ලෙස ආසියාව පුරා පැතිරගෙන යන හෘදයාබාධ අවදානමෙන් මිදීම සඳහා ආසියාවට කරන්නට සිදුව ඇත්තේ යුද්ධයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි