ලෝ පුරා සිටින මිලියන 400කට අධික පිරිසක් සතියකට පැය 49ක් හෝ එයට වැඩ වැඩි පැය ගණනක් සේවයෙහි නිරත වන බව අන්තර්ජාතික කම්කරු සංවිධානයේ නවතම සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වේ. ලෝක ජනගහනයෙන් මිලියන 1.8ක පමණ පිරිසක් රැකියාවන්හි නිරත වෙති. ඒ අනුව බලනවිට ඉන් මිලියන 400ක් යනු සැලකිය යුතු තරමේ ප්‍රමාණයකි. ඒ නිසා මේ ගැටළුකාරී තත්ත්වය කෙරෙහි විශේෂ අවධානයකින් කටයුතු කිරීම අවශ්‍යම කාරණයක් වී තිබේ. Nonstop Working
ශ්‍රමිකයන් විවේකයක් නොලබමින්, පැය විශාල සංඛ්‍යාවක් සේවය කිරීම අපේක්ෂා කරන තරමේ ධනාත්මක ප්‍රතිඵල අත්කර කර නොදෙන්නක් බව සඳහන් වේ. ඒ බව පර්යේෂණවලින් ද තහවුරුව ඇත. අතිකාල සේවයෙන් ඵලදායිතාවය පහළ වැටෙන බව 2014 වසරේදී ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් කරන ලද පර්යේෂණයකින් තහවුරුව ඇත. රැකියාව තමාගේ සෞඛ්‍යයට බලපාන අන්දම සමාජ පරිසර විද්‍යා දෘෂ්ටිකෝණයෙන් විග්‍රහ කෙරෙන තවත් පර්යේෂණයකින් තහවුරුව තිබෙන අන්දමට අතිකාලය, ශ්‍රමිකයාගේ සෞඛ්‍යට හොඳ නැත. මේ පර්යේෂණයෙන් අනාවරණය කෙරෙන තතු අනුව, අතිකාල වැඩ කිරීම සේවකයා තුළ සියලු ආකාරයේ රෝග වර්ධනය වන්නට හේතුවකි.
අධික ලෙස වැඩ කරන සේවකයා පහසුවෙන්ම වෙහෙසට පත් වෙයි. මේ නිසා වැඩ අතරතුර ඔහු අනතුරකට වුවත් පත් වන්නට ඉඩ තිබේ. එසේ වුවත් අවාසනාවකට මෙන්, මේ තත්වය සේවකයන්ට අවබෝධ කරවන්නට නොහැකි වී ඇත. අවදානම් සහගත රැකියාවල වැඩි කාලයක් නිරත වන්නට කෙරෙන ඉල්ලුම ඉහළ මට්ටමක පවතින බව සනාතව තිබේ; එනම්, අන්තරාදායක සේවාවන්හි වැඩිපුර සේවකයන් පිරිසක් නියැලෙන බව මෙයින් ගම්‍යය වේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ විවිධ සේවාවන්ට සම්බන්ධ වසර දහ තුනක දත්ත විශ්ලේෂණය කරමින් අධ්‍යනයක් සිදුකර ඇත. එමඟින් තහවුරුව තිබෙන්නේ අතිකාල පහසුකම් සහිත සේවාවන්හි නියැලෙන අයට, එවැනි පහසුකමක් නැති සේවාවන්හි නියැලෙන අයට වඩා, තුවාල ආදී උපද්‍රව සිදුවන්නට 61%ක පමණ ඉහළ ඉඩක් ඇති බවකි. මෙවැනි අවදානම් වැඩි වන්නට ප්‍රාථමික හේතුව වී තිබෙන්නේ සේවකයා දැඩි වෙහෙසකාරී තත්ත්වයකට පත්වීම බැව් පර්යේෂකයෝ පෙන්වා දෙති.
ඔබ පෙරවරු 8ට අවදි වී පසු දා අලුයම 1 දක්වා කාර්යයෙහි නිරතව සිටින්නේ යැයි සිතන්න. ඒ අනුව ඔබ පැය 17ක් එක දිගට වැඩ කරමින් සිට ඇත. එවැනි අවස්ථාවකදී ඔබේ ශාරීරික ක්‍රියාකාරීත්වය ඉතාමත් අයහපත් තැනකට වැටේ. එහිදී ඔබේ සිරුර වැඩ කරන්නට පටන් ගන්නේ ඔබේ රුධිරයේ 0.05% සාන්ද්‍රණයක් සහිත මධ්‍යසාර ඇතිවාක් මෙනි. වඩාත් විස්තර ඇතිව කිවහොත් එම ශාරීරික වෙනස සමාන වන්නේ, කිලෝග්‍රෑම් 73ක් බරැති පුරුෂයකු මිලි ලීටර 355හි බීර බඳුන් දෙකක් හිස් කර දැමූ විට ශරීරය තුළ ඇතිවන වෙනස්වීමට ය. ඔබ පසුදා අලුයම 5 වනතුරු වැඩ කළා යැයි කියා සිතන්න. එවිට ඔබේ සිරුර ක්‍රියාකරන්නට පටන් ගන්නේ 0.1% මධ්‍යසාර ශරීර ගත වූ විට ඇතිවන තත්ත්වයට සමානව ය. එය රථයක් පැදවීමේදී සිරුරේ තිබිය හැකි යැයි කියා නිත්‍යානුකූලව පිළිගන්නා මධ්‍යසාර ප්‍රමාණයට වඩා 0.08%කින් වැඩි තත්ත්වයකි.
මේ නිසා රාත්‍රී සේවාවන්හි නියැලෙන පිරිස් අවධානයට ගත යුතු වැදගත් කාරණයක් තිබේ. නිදි වැරීමකදී ඔබගේ සිරුර ක්‍රියාකරන්නේ බීමත් පුද්ගලයකුගේ සිරුර ක්‍රියාකරන්නාක් මෙන්ය යන්න එකී කාරණයයි. එවැනි පුද්ගලයකුට රිය පදවන්නට පුළුවන්කමක් නැත. එසේ නම් එවැනි තත්ත්වයකට පත් ඔබට ආරක්ෂා සහිතව සේවයක නියැලෙන්නට හැකි යැයි කියා ඔබ සිතන්නේ ද?.
බොහෝ දෙනෙකු අතිකාල සේවයේ නිරත වන්නේ තමන්ගේ වියහියදම් පියවා ගැනීමට මුදලක් හරිහම්බ කරගැනීමේ අරමුණ ඇතිව ය. අතිකාල සේවයේ නිරත වීම නිසා ඉපයීම් මට්ටම ඉහළ යන බව සැබෑවකි. බ්‍රිතාන්‍යයේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ හෝ යුරෝපයේ හෝ පිහිටි ආයතන, ගිනිකොණ දිග ආසියාතික සහ අප්‍රිකා කළාපවල ශ්‍රමිකයන් කුළියට ගැනීම සුලභ දෙයකි. ශ්‍රමිකයන් මේ ආයතනවල සේවය කරන්නේ ස්වාධීන ශ්‍රමිකයන් හැටියටය. වෙබ් අඩවි වර්ධනය, සමාජ මාධ්‍ය කළමනාකරණය ආදී සේවාවන්හි ඔවුහූ නියැලෙති. ඉහළ තරාතිරමක සේවය කරන්නකු නම් ඔහුට හෝ ඇයට හෝ වඩ වඩාත් කුලී සේවයේ යෙදෙන්නට ඉඩ ලැබේ. එසේ වුවත් තම සේවාලාභීන්ගේ අවශ්‍යතා ඉස්පාසුවක් නැතිව සපුරා දෙන්නට මේ ශ්‍රමිකයන්ට සිදු වේ. “ ශ්‍රමිකයන් තම සේවාලාභීන්ට අවශ්‍ය හැම වෙලාවකම සන්නිවේදනය කිරීම සඳහා සූදානමින් සිටිය යුතුයි. සේවාලභියට කිසියම් නිශ්චිත වෙලාවකදී ශ්‍රමිකයාගේ සේවය අවශ්‍යය නම් ශ්‍රමිකයා එය ඒ අන්දමින්ම ලබාදිය යුතුයි. එහෙම නැති වුණොත් ශ්‍රමිකයාට ලැබෙන්නේ නරක ඇගැයුමක්. …” කියා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් අන්තර්ජාල ආයතනයේ පර්යේෂක ඇලෙක්ස් ජේ වුඩ් පවසයි.
ශ්‍රමිකයා ඉහළ තානාන්තරයක් නොදරන්නේ නම් ඔහු හෝ ඇය හෝ මත පැටවෙන පීඩනය ඉහළ යයි. මේ නිසා ඇතැම් අය අඩු වැටුපක් ලබමින් වැඩි වැඩ ප්‍රමාණයක් කිරීමට පෙළඹෙති. වැඩි කාලයක් වැඩ කරමින් සුළු මුදලක් ඉපැයීම එහි අවසන් ප්‍රතිඵලයයි. ඇතැම් ශ්‍රමිකයන් පැය 20 පවා සේවයෙහි නිරත වන බව ඇමරිකාවෙන් ලැබෙන වාර්තාවල සඳහන් වේ. මේ තත්ත්වය වැඩිපුරම දැකිය හැකි වන්නේ කුලී පදනම මත වාහන සපයන සමාගම්වල රියැදුරන් අතර ය. කෙසේ වුවත් බ්‍රිතාන්‍යයයේ ඌබර් වැනි ආයතනය, තම ආයතනවල රියදුරන්ට අඛණ්ඩව පැය 10කට වඩා සේවය කරන්නට ඉඩ සලසා නැත.
පර්යේෂක වූඩ් පවසන අන්දමට ශ්‍රමිකයන්ට නින්ද අවශ්‍යය ය. නින්දට අවහිර කර, විවේකය අඩුවෙන් ලබමින් එක දිගට පැය ගණනාවක් වැඩ කිරීම ඵලදායී නැත. ඇතැම් ව්‍යාපාර ආයතනවල ශ්‍රමිකයෝ තම ආයතනවල ඉලක්ක සපුරා දෙන්නට මධ්‍යම රාත්‍රිය ද ඉක්මවා යන තුරු සේවයේ නිරත වෙති. මේ අවාසනාවන්ත තත්ත්වයට වැඩිපුරම ගොදුරු වන්නේ ආයතනවලට නොබැඳී ස්වාධීනව සේවය කරන ශ්‍රමිකයන් බැව් වූඩ් පවසයි. විශේෂ නිපුනතාවලින් හෙබි එවැනි නිදහස් ශ්‍රමිකයන්ට යුරෝපයේත්, බ්‍රිතාන්‍යයේත් ඇමෙරිකාවේත් පවත්නා වාතාවරණය සුබදායි බව වූඩ්ගේ අදහස වේ. ශ්‍රමිකයන්ට මිල හෙට්ටු කිරීමේ පහසුකම එකී රටවල ඉහළ මට්ටමක පැවැතීම එයට හේතුවයි. වුඩ් සහ ඔහුගේ පර්යේෂණ කණ්ඩායම සමඟ සාකච්ඡා කළ ශ්‍රමිකයන්ගෙන් 60%ක්ම ප්‍රකාශ කර තිබෙන්නේ තමන් සේවය කරන්නේ ඉලක්ක සපුරා ගැනීමේ “තදියමෙන්” ඉතා වේගවත්ව යැයි කියාය. මේ පිරිසෙන් 22%ක් තම රැකියාව හේතුවෙන් ශාරීරික වේදනාවන් උසුලන බවත් අනාවරණය වී ඇත.
සේවය නිම කර ශ්‍රමිකයන් නිදහස් හිතෙන් කාර්යාලය හැර යන යුගය නිමා වී දැන් බොහෝ කල් ය. රැකියාවට සම්බන්ධ පණිවුඩ ලැබීම සහ ඒවාට පිළිතුරු යැවීම කරන්නට ශ්‍රමිකයන්ට සිදුව තිබෙන්නේ වෙලාවක් අවේලාවක් නැතිව ය. තමන් සමඟ සමාන තනතුරුවල සිටින සමකාලීනයන්ට හොඳ තරගයක් දෙන්නට එය කදිම අවස්ථාවක් බැව් කෙනෙකුට ඒත්තු යන්නට පුලුවන. එසේම තම පවුලේ උදවිය සමඟ එකට එකතු වී හිඳිමින්ම රාජකාරි කටයුතුවල නියැලෙන්නට ලැබීමත් වාසියක් හැටියට තවත් කෙනෙකුට පෙනී යා හැකිය.
කැනඩාවේ ඉයන් ටවර්ස් පාසලේ පර්යේෂකයන් පිරිසක් 2006දී පෙන්වා දුන් පරිදී ජංගම දුරකතන තාක්ෂණය හේතුවෙන් කළමනාකරුවන් සහ ඔවුන්ගේ කාර්යය මණ්ඩලවලට සෑම මොහොතකම රාජකාරි වැඩවල නිරතවන්නට සිදුව තිබේ. ඇමතුමක් ලද සැණෙන් සේවයට වාර්තා කළයුතු තාලයේ රැකියාවන්වල (ඔන් කෝල් ඩියුටි) නිරතවීමත් සේවා මුරය නිම කිරීමෙන් පසු රාජාකාරිය ගැන අවධානයෙන් පසුවීමත් ආකාර දෙකකි. ඒ අවස්ථා දෙකේදී මනුෂ්‍ය දේහ ක්‍රියා කරන්නේ දෙආකාරයකට බව පර්යේෂණවලින් තහවුරුව ඇත. “ඔන් කෝල් ඩියුටි” හෙවත් ඇමතුමක් ලද සැණෙන් සේවයට වාර්තා කළ යුතු අයගේ දේහවල කෝර්ටිසෝල් නමැති හෝර්මෝනය උදෑසන කාලයේදී බෙහෙවින් ඉහළ මට්ටමක පවතින බව අනාවරණය වී තිබේ.
පුද්ගලයකු උදෑසන අවදි වන විට එම පුද්ගලයාගේ දේහය තුළ ඉහළ කොර්ටිසෝල් හෝර්මෝන සාන්ද්‍රණයක් දැකිය හැකි වීම සාමාන්‍ය තත්ත්වයකි. දවසේ සෙසු කාලයේදී එම හෝර්මෝන සාන්ද්‍රණය ක්‍රමානුකූලව පහළ වැටේ. සාමාන්‍ය පුද්ගලයකුගේ දේහයෙහි කෝර්ටිසෝල් හෝර්මෝනය ක්‍රියා කරන අන්දම එයයි. මේ චක්‍රයේ ක්‍රියාකාරීත්වය විවිධ හේතු නිසා බිඳ වැටෙන්නට පුළුවන. මානසික ආතතිය වැඩි දවසක් අපේක්ෂා කරන පුද්ගලයකුගේ දේහයේ කෝර්ටිසෝල් හෝර්මෝන මට්ටම උදෑසනින්ම ඉහළ යන බව විද්‍යාඥයෝ පවසති. නිදන්ගත රෝගී තත්ත්වයක් ලෙස මානසික ආතතිය වැඩි නම්, එවැනි අවස්ථාවකදීත් කෝර්ටිසෝල් හෝර්මෝන මට්ටම වැඩි වේ. “ඔන් කෝල් ඩියුටි” සිටින කෙනෙකුගේ කෝර්ටිසෝල් හෝර්මෝන ප්‍රමාණය ඉහළ යන්නට හේතුව මතු දැක් වූ කරණය විය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
නව නිර්මාණකරුවකු, ඉංජිනේරුවරයකු සහ ව්‍යාපාරිකයකු වන එලන් මස්ක් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී කියා තිබුණේ සතියකට පැය 120ක් තමන් සේවයේ නිරත බවකි. වේදනා නාශක ඖෂධ භාවිතයට ගන්නා බවත් ඔහු එහිදී පෙන්වා දී තිබුණේය. ඔහු එසේ සේවය කළත් ඔහුගේ ටෙස්ලා සමාගමේ කොටස් 8.8.%කින් පහළ වැටී ඇති බව පසුගිය දා අනාවරණය විණ. මෙවැනි තත්ත්වයක් ඇතිවුණේ මස්ක්ගේ දුර්වල මානසික සෞඛ්‍ය තත්ත්වය නිසා වන්නට ඇතැයි කියා විචාරකයෝ පවසති. මධ්‍යස්ථව බලන විට පැහැදිලි වන්නේ විරාමයක් නොලබමින් නොනවත්වා සේවයේ යෙදීම සෞඛ්‍යයට හොඳ නැති බවයි. එමෙන්ම, එපරිද්දෙන් වැඩ කළායැයි කියා ඵලදායිතාව ඉහළ යෑමක් සිදුවන්නේ ද නැත.
අන්තරාකාරී මට්ටමේ සිටින ස්වාධීන ශ්‍රමිකයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක තත්ත්වයත් වෙනස් විය යුතුව ඇත. ස්වාධීන ශ්‍රමිකයකු අන්තර්ජාලය හරහා (ඔන් ලයින්) සේවයේ යොදවා ගැනීමේ හැකියාව සේවා යෝජකයකු සතුවේ නම් එයත් මේ ගැටලුවට හොඳ විසඳුමකි. එය එවැනි ශ්‍රමිකයකුට හොඳින් වැඩ කරන්නට හේතුවක් වනවාට සැකයක් නැත. එම ස්වාධීන ශ්‍රමිකයන්ගේ ජීවිත එමඟින් යහපත් තත්ත්වයකට හැරීම ද නිසැක බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති
ඡායාරූප සබැඳුම
http://www.bbc.com/capital/story/20180823-how-bad-for-you-is-working-non-stop