×

වසරකට පසු බාලි දූපත් විදෙස් සංචාරකයන්ට විවෘතයි – රටවල් 19 ලැයිස්තුවේ ලංකාව නැහැ!

දෛනික කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1000 ක් ව පැවතියත්, බාලි දූපත් අන්තර්ජාතික සංචාරකයන් සඳහා විවෘත කිරීමට තීරණය කර තිබේ.


ඉන්දුනීසියානු ජනපති ජොකෝ විඩෝඩෝ, ජූලි මාසයේදී වාර්තා වූ දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව එන්නත්කරණය හරහා 56,000 සිට 1,000 දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් කීර්තිය ද දිනා සිටියි.

වෛරස් වසංගතය නිසා පාළුවට ගොස් තිබූ බාලි දූපත් වෙරළ තීර © Copyright 2021 The Associated Press

බාලි දූපතේ න්ගුරා රායි අන්තර්ජාතික ගුවන් තොටුපොළ රටවල් 19 කින් පැමිණෙන සංචාරකයන් සඳහා මෙම අවස්ථාව ලබාදෙයි. පූර්ණ වශයෙන් (දෙවරක්) එන්නත්කරණයට ලක් වී සිටීම, නෙගටිව් බව නැවත සනාථ කිරීම සහ දින 5 ක් නිරෝධානයට ලක් වීම යන කොන්දේසි මත මෙම අවස්ථාව ලබාදේ.

මෙහිදී සංචාරකයන්, ඉන්දුනීසියානු බලධාරීන් විසින් නම් කරන හෝටල්වල සිය වියදමෙන් නිරෝධානයට ලක් විය යුතුය.

බාලි දූපත හැඳින්වෙන්නේ ‘දෙවියන්ගේ දූපත‘ යනුවෙනි. මේ අති සුන්දර දූපත, සමස්ත ඉන්දුනීසියාවට වඩා බොහෝ සෙයින් වෙනස් ය. ඉන්දුනීසියාවේ බහුතරය මුස්ලිම් ජාතිකයන් වන විට බාලි දූපතේ වෙසෙන මිලියන 4 ක ජනතාවගෙන් අති බහුතරය හින්දු බැතිමතුන් ය.

කෝවිඩ් වසංගතයට පෙර බාලි දූපත් වෙත වසරකට විදෙස් සංචාරකයන් මිලියන 6කට වැඩි පිරිසක් ඇදී ආවේය.

ලංකාවට තහනම්!

බාලි දූපත් විසින් පිළිගනු ලබන්නේ ලෝකයේ රටවල් 19 කින් පැමිණෙන සංචාරකයන් පමණි. ඉන්දුනීසියානු බලධාරීන්ට අනුව, ‘ලෝක සෞඛ්‍ය සංවිධානයේ තේරීම් කාණ්ඩවලට යටත්ව එන්නත්කරණය සම්පූර්ණ කළ රටවල් ය.

බාලි දූපත් ශ්‍රී ලාංකික සංචාරකයන් අතරද ජනප්‍රිය නිවාඩු නිකේතනයකි. නමුත් කිසියම් හේතුවක් නිසා, මේ රටවල් 19 අතරට ලංකාව ඇතුළත් නොවේ.

පහත දැක්වෙන්නේ බාලි (Bali and Riau) දූපත්වල සුදු වැලි තීරය වෙත පය තැබීමට අවසර දී ඇති රටවල් 19 ලැයිස්තුවයි.

  1. සෞදි අරාබිය
  2. එක්සත් අරාබි එමීර්
  3. නවසීලන්තය
  4. කුවේට්
  5. බහරේන්
  6. කටාර්
  7. චීනය
  8. ඉන්දියාව
  9. ජපානය
  10. දකුණු කොරියාව
  11. ලෙයිෂෙන්ස්ටයින්
  12. ඉතාලිය
  13. ප්‍රංශය
  14. පෘතුගාලය
  15. ස්පාඤ්ඤය
  16. ස්වීඩනය
  17. පෝලන්තය
  18. හංගේරියාව
  19. නොර්වේ

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි