මී මැස්සන් විසි දහසකට අධික සංඛ්‍යාවක් ගුවන් යානයක ඇන්ජිමට රිංගා ගැනීම නිසා දකුණු අප්‍රිකාවේ ඩර්බන්හි කින්ග් ශාකා අන්තර්ජාතික ගුවන්තොටුපොළ කටයුතු පැය ගණනකට අඩපණ වූ බව පසුගිය දා වාර්තා විණ. ගුවන් ගමන් වාර කිහිපයක් ප්‍රමාද කරන්නටත් ගුවන්තොටුපොළ බලධාරීහූ පියවර ගත්හ.
මී මැස්සන් කරදර කර තිබුණේ දකුණු අප්‍රිකාවේ මැන්ගෝ ගුවන් සමාගමට අයත් ගුවන් යානයකටයි. කලබගෑනිය සමතයකට පත්ව ගුවන් තොටුපොළ කටයුතු නැවත ඇරඹුණේ මී මැසි පාලනයෙහි යෙදෙන සමාගමක සේවකයකු පැමිණ මී මැස්සන් යානයේ ඇන්ජිමෙන් ඉවත් කිරීමෙන් පසුවයි.
මී මැස්සන් සමූහය ඇන්ජිමට රිංගා ගන්නට ගත කර තිබෙන්නේ මිනිත්තු 25කටත් වඩා අඩු කාලයක් බව සඳහන් වේ. එසේ වුවත් කින්ග් ශාකා අන්තර්ජාතික ගුවන්තොටුපොළේ කටයුතු පැය තුනකට අධික කාලයකින් ප්‍රමාද කරන්නට මේ මී මැසි රැළ සමත්ව සිටියහ.
වසර අටකට අධික තම සේවා කාලය තුළදී මෙවැනි අසාමාන්‍ය සිදුවීමක් කිසිදු අවස්ථාවක දැක නොතිබුණු බව මැන්ගෝ ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක සර්ජි ඩොස් සැන්ටොස් මාධ්‍යට පවසා තිබිණ.
මී මැස්සන් පලවා හැරීම සඳහා, මී මැසි පාලනයෙහි යෙදෙන ඒ බී සී (A Bee C) සමාගමේ සේවකයකුට ගුවන් ධාවන පථයට යෑමට සිදුවිණ. ඒ සඳහා ගුවන්තොටුපොළ බලධාරීන්ගෙන් විශේෂ අවසරයක් ලබා ගන්නට සිදු වූ බව සඳහන් වේ. ඊට තරමක කාලයක් ගත වී ඇත. එම සේවකයා ගුවන් යානයේ ඇන්ජිමේ සිටි සියලුම මී මැස්සන් එකට එකතු කරගෙන සිය නිවෙසේ ඇති ගොවිපොළට රැගෙන ගිය බව සඳහන් වේ.
“… ගුවන් යානයක ඇන්ජිම ග්‍රීස්වලින් යුක්තයි. තෙල් ආදියෙන් නැඟෙන ගන්ධයන් එය තුළ බහුලයි. ඒ වගේම එහි උෂ්ණත්වයත් වැඩී. මේ වගේ තැනකට එකතු වෙන්න මී මැස්සන් යොමුවුණේ කවර කාරණයක් නිසාද කියලා හිතන්නවත් බැහැ …” කියා දකුණු අප්‍රිකා මී මැසි පාලන සංගමයේ සභාපති මයික් මිලෙස් පවසයි.