×

ඇමරිකාවේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් ට පනවා තිබූ හමුදා තහනම ඉවතට!

ධවල මන්දිරය විසින් මේ පිළිබඳ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ හමුදා සේවය ලබා දීමට පුද්ගලයකුගේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව කිසිවිටකත් බාධාවක් නොවිය යුතු බවට ජනපති බයිඩන් මහතා විශ්වාස කරන බවයි.


ට්‍රම්ප් පරිපාලනය විසින් එක්සත් ජනපදයේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් ට පනවා තිබූ හමුදා තහනම ඉවත් කිරීමට නව ජනපති ජෝ බයිඩන් මහතා කටයුතු කර තිබේ.

ඒ අනුව සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ට හමුදාවට බැඳීමට තිබූ අයිතිය අවහිර කරමින් පනවා තිබූ නීතිය බයිඩන් විසින් අහෝසි කර තිබේ.

ඉකුත් තහනම හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා තිබුණේ ඔහුගේ ධුරයේ පළමු වසරේදී ය.

බයිඩන්-හැරිස් පරිපාලනය සතු ධවල මන්දිරය විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවසා තිබෙන්නේ සංක්‍රාන්ති සමාජභාවී හමුදා නිලධාරීන් ඔවුන්ගේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත තනතුරින් පහ කිරීම හෝ සේවයට බඳවා ගැනීමෙන් වැළකී සිටීම තවදුරටත් සිදුනොවනු ඇති බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා 2017 වර්ෂයේදී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියේ ඇමරිකාව තවදුරටත් සංක්‍රාන්ති අනන්‍යතාවක් සහිත පුද්ගලයින් හමුදාවට බඳවා ගැනීමට හෝ පිළි ගැනීමට කටයුතු නොකර සිටීමට තීරණය කර ඇති බවයි.

ට්‍රම්ප් විසින් ගත් මෙම පහත් තීන්දුව 2019 වර්ෂයේදී බලාත්මක කර තිබිණි.

ඒ වන විටත් හමුදා සේවයේ නියුත් වී සිටි සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් හට තම රැකියාවේ තවදුරටත් රැඳී සිටීමට රජය විසින් අවසර ලබා දුන් මුත්, නවක බඳවා ගැනීම් සිදුනොකිරීමට කටයුතු කරන ලදී.

එවකට සිටි ආරක්ෂක ලේකම් ජිම් මැටිස් විසින් “ස්ත්‍රී-පුරුෂ සමාජභාවී වියවුල්භාවයකින්” (gender dysphoria) හෝ ජීව විද්‍යාත්මක ලිංගයට අනන්‍යතාව නොගැළපීමක් දක්වන වෛද්‍ය ඉතිහාසයක් සහිත පුද්ගලයින් හමුදාවට බඳවා නොගැනීමට ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට කටයුතු කරන ලදී.

ස්ත්‍රී-පුරුෂ සමාජභාවී වියවුල්භාවය, හෝ ජෙන්ඩර් ඩිස්ෆෝරියා යනු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා බැහැර කොට ඇති යල්පැන ගිය මනෝවිද්‍යාත්මක සංකල්පයකි.

එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2019 වර්ෂය වන විට එරට හමුදාවේ සේවයේ යෙදෙමින් සිටි සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාවක් සහිත හමුදා නිලධාරීන් ගණන 8,980 වන අතර, ඔවුනට හිමි වරප්‍රසාද, සෞඛ්‍ය පහසුකම් හා අවශ්‍යතා කප්පාදු කර දැමීමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කර තිබිණි.

සංක්‍රාන්ති සමාජභාවී හමුදා නිලධාරීන් ට අවශ්‍ය හෝමෝන ප්‍රතිකාර ඇතුළු සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට රජයට හැකියාවක් නොමැති බව සඳහන් කරමින් ට්‍රම්ප් පරිපාලනය විසින් එම තීන්දුව සාධාරිණීකරණය කිරීමට කටයුතු යොදා තිබිණි.

ට්‍රම්ප් ගේ මෙම තීන්දුව දෙස් විදෙස් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ මෙන්ම රාජ්‍ය නායකයින් ගේ පවා අප්‍රසාදයට තුඩු දී තිබිණි.

කෙසේ වෙතත්, ට්‍රම්ප් පරිපාලනය විසින් පැනවූ මෙම මානව විරෝධී තීන්දුව අහෝසි කර දැමීමට නව බයිඩන්-හැරිස් ප්‍රමුඛ පරිපාලනය කටයුතු කර තිබීම ඇමරිකාවේ නව රජය බලයට පත්වීමත් සමඟ ගනු ලැබූ බොහෝ ප්‍රගතිශීලී තීන්දු අතර විශේෂයෙන් ඇගයීමට ලක්කළ යුතු කරුණකි.

ධවල මන්දිරය විසින් මේ පිළිබඳ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ හමුදා සේවය ලබා දීමට පුද්ගලයකුගේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව කිසිවිටකත් බාධාවක් නොවිය යුතු බවට ජනපති බයිඩන් මහතා විශ්වාස කරන බවයි.

එක්සත් ජනපදයේ නව ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් හට තම ස්වයං-අනන්‍යතාව සමඟ හමුදා සේවයේ කිසිදු ගැටළුවකින් තොරව සේවයේ යෙදීමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට ආරක්ෂක දෙපාර්තමේන්තුව වහා කටයුතු කරන බවයි.

එක්සත් ජනපද සන්නද්ධ හමුදා බැඳී සිටින්නේ තම දේශයේ පුරවැසියන් දේශීය හා විදේශීය සතුරන් ගෙන් ආරක්ෂා කිරීමට බවත්, එම මෙහෙයුම තුළදී සියළු පුරවැසියන්ගේ නියෝජනය පැවතීම එම කාර්යභාරය වඩාත් ඵලදායීව සිදුකිරීමට උර දෙනු ඇති බවත් වත්මන් ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි